දෙ‍ෙවනි ඉනිමෙන් මේ දිනවල ඔබ හමුවට එන ලිහිණි -වින්ද්‍යා ඒකනායක

gossiplanka image 2
 

2022 වසරේදී පැවති දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළ දිනා ගනිමින් ඓතිහාසික සෙංකඩගල පුරවරයෙන් කලාවට එක් වූ සුන්දර රංගන ශිල්පිනියකි, වින්ද්‍යා ඒකනායක. ඇය දෙවෙනි ඉණිම සීසන් 2 හි ලිහිණිය. රසඳුන මේ සොඳුරු කතාබහ වින්ද්‍යා ඒකනායක සමඟිනි.


කොහොමද ජීවිතේ….?


ජීවිතේ සතුටින් ගතවෙනවා. සුපුරුදු විදියට කලාවේ වැඩත් එක්ක තමයි කාලය ගත වෙන්නේ. ඒ නිසා බොහොම සතුටින් කාලය ගතවෙනවා.


මේ දිනවල ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?


දෙ‍ෙවනි ඉනිම සීසන් 2 හි ලිහිණි විදියට තමයි මේ කාලයේ ප්‍රේක්ෂකයින් අතරට එන්නේ.


ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලිහිණි කියන්නේ හොඳ ප්‍රතිචාර ලැබෙන චරිතයක්. දිගටම මේ විදියට ප්‍රතිචාර ලැබෙයි කියලා මම හිතනවා .


දෙ‍ෙවනි ඉනිම සීසන් 2හි රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ…?


ඒක වාසනාවක් . මොකද කාලයක් තිස්සේ විකාශය වන ප්‍රේක්ෂක ආදරේ ඉහළින්ම ලැබෙන නාට්‍යයක්. එවැනි නාට්‍යයක් හරහා රංගනයට එන්න ලැබුණු එක ගැන නිහතමානි සතුටක් තියෙනවා.


නිළියක් වෙන්න කලින් ගුරුවරියක්නේ, ගුරු වෘත්තියට සමුදීම ගැන දුකක් නැද්ද?


ඇත්තම කිව්වොත් පොඩි දුකක් තියෙනවා. ඒ වුණාට කලාවේ වැඩ කටයුතු කරගෙන යන්නේ බොහොම ආසාවෙන් නිසා ඒ දුක නැති වෙලා යනවා.


2022 දෙරණ අවුරුදු කුමරිය තරගයට එන්නෙම නිළියක් වෙන අදහසින්ද?


අනේ නැහැ. 2022 දෙරණ අවුරුදු කුමරිය තරගයට එන්නෙ අම්මාගේ සහ පුංචි අම්මාගේ හිතේ තිබුණු ආසාවක් ඉටු කරන්න. හැබැයි දෙරණ අවුරුදු කුමරිය වුණාට පස්සේ තමයි මට රංගනයට අවස්ථාව ලැබුණේ. ඒ වෙනකම් රඟපාන්න ආසාවක් තිබුණේ නැහැ. රඟපාන්න වුණත් එන්නේ අම්මාගේ සහ පුංචි අම්මාගේ ආශාව ඉෂ්ට කරන්න.


ඒ කියන්නේ ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා කලා ගමනට……


ඇත්තෙන්ම ඔව්. මගේ අම්මගේ හීනයක් තමයි මම රංගනයට එන එක. ඒ නිසා ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


දෙ‍ෙවනි ඉනිම අවසන් වෙනකම් රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම වෙනත් ටෙලි සහ සිනමා නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්න ඉන්නවා. ළඟදීම මගේ චිත්‍රපටයක් එනවා.


ළඟදීම එන සිනමා නිර්මාණය ගැනත් කියමු….


ඔව්. ඒක සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂතුමාගේ නිර්මාණයක්. නම කල්පනා. සාරංග මෙන්ඩිස් විසින් පිටපත ලියා අධ්‍යක්ෂණය කළ පළමු සිනමා අධ්‍යක්ෂණය. මේ වෙලාවේ මම අවස්ථාවක් කර ගන්නවා මටත් එහි අවස්ථාවක් ලබා දීම ගැන. මට ලැබුණේ වෙනස්ම විදිහේ චරිතයක් . මම හිතනවා මේ අවුරුද්දේ කල්පනා තිරගත වෙයි කියලා.


චරිතයක් භාර ගන්න කලින් මොනවද බලන්නේ….?


චරිතයක් භාර ගන්න කලින් මම ගොඩක් හිතනවා. ඒ චරිතේ මට සුදුසු ද, සාධාරණයක් කරන්න පුළුවන් ද කියන එක. එහෙම විශ්වාසයක් ඇති වුණොත් විතරයි මම ඒ චරිතේ කරන්න භාර ගන්නේ. නැත්නම් කොච්චර හොඳ චරිතයක් වුණත් මට ඒ චරිතයට සාධාරණයක් කරන්න බැරි නම් භාර ගන්නේ නැහැ.


රංගනයේදී ඔබ ඔබටම පනවා ගත් සීමා තියෙනවද?


ඔව්. මම ඇඳුම් ගැන සහ මම මටම පනවා ගත්තු සීමා ඇතුව රඟපාන කෙනෙක්. මම රඟපාන චරිත නිසා මගේ පෞද්ගලික ජීවිතේට හානියක් සිදුවෙන්න බැහැ.


කලාවේ ඉන්න කෙනෙකුට කටකතා හැදෙන්න ඉඩ වැඩියි, ඒ ගැන මොකක් ද ඔබේ අදහස..?


අපිවත් දන්නේ නැති දේවල් එක්ක කටකතා හැදෙනවා. මම ඒ දේවල් ගණන් ගන්නේ නැහැ. මොකද ඒ දේවල් ගැන හිතන්න ගියොත් අපිට ගමනක් යන්න අමාරුයි. ඒ නිසා මම මගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරගෙන යනවා.


කලාවේ මේ ගමන එන්න උදවු කරපු අය ඇති


මගේ පවුලේ අය තමයි මුලින්ම මට ශක්තිය වුණේ. ඊට පස්සේ ටීවී දෙරණ සහ අපේ අධ්‍යක්ෂතුමා සාරංග මෙන්ඩිස් ඇතුළු මේ ගමනේදී වචනයකින් හරි ශක්තියක් වුණු හැමෝම මේ වෙලාවේ මතක් කරනවා.


අනාගත බලාපොරොත්තු මොනවද?


අලුත් වැඩවලින් ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙනවා. මගේ පෞද්ගලික ජීවිතේට මුල් තැන දෙමින් කලාවේ වැඩ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 1
Previous Post Next Post