මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ දේවින්දගේ චරිතයට පණ පොවන ඔහු තිර පිටපත් රචකයෙක් මෙන්ම නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් ද වෙයි. වේදිකාව හරහා රංගනයට පිවිසි ඔහු මේ වන විට ප්‍රේක්ෂකාදරය ඉහළින්ම දිනාගනිමින් සිටියි. අද අපේ කතාබහ තීක්ෂණ ශ්‍රී විජේසිංහ නම් ඔහු සමඟිනි.
ඔබ මේ දිනවල ‘පිරිමි ළමයි’ ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එනවා. මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. වේදිකාවේ හැංගිලා හිටපු මාව පුංචි තිරයේ ප්‍රේක්ෂකයන් අතරට ගෙනාපු වැඩක් තමයි ‘පිරිමි ළමයි’ කියන්නේ. රචක සද්ධාමංගල සූරියබණ්ඩාර, අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් වගේම නිෂ්පාදකවරිය වන චේතනී විජේතුංගට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මාව තෝර ගත්තට. මේ ලැබෙන ආදරයට ඇත්තටම මාත් ගොඩක් ආදරෙයි. ඒ ආදරය ඉතාම සතුටින් නිහතමානීව භුක්ති විඳිනවා.
දේවින්දගේ චරිතය කොහොමද දැනෙන්නේ?
දේවින්ද කියන්නේ වලව් මාන්නය ඔළුවෙ තියාගෙන, නිදහසේ කාල බීල හිටිය, වගකීම් නොගෙන ඉන්න ඕන කාලෙ ඇතුළේ වගකීමක් ගන්න සිද්ධ වුණු චරිතයක්. තව අවුරුදු ගාණකින් ගන්න තිබුණු වගකීමක් කරපිට වැටිලා ඒකත් එක්ක ජීවිතේට එන ආරවුල් ටිකක් තමයි දේවින්දගේ චරිතය ඇතුළේ තියෙන්නේ.
ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද ?
අධ්‍යක්ෂ සුපුන් රත්නායක නිසයි සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. දවසක් ඔහු මට කතා කළේ ‘අඩෝ’ ටෙලිනාට්‍යයේ පිටපත ලියන්න. ඒකෙන් තමයි මම ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් කියලා ඔහු දැනගන්නේ. සිරස නාළිකාවේ විකාශය වුණු ‘අඩෝ’ ටෙලිනාට්‍යය හරහා තමයි මම මුලින්ම ටෙලිවිෂනයට එන්නේ.
සෙසු රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන සහයෝගය ගැන කතා කරනවා නම්?
අධ්‍යක්ෂවරයා ඇතුළු මුළු කණ්ඩායමෙන්ම ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මෙතනදි දසුනිව මතක් කරන්නම ඕන. ඇය මගේ චරිතය ගොඩනඟන්න පුදුම සහයෝගයක් දෙනවා. ඒ වගේම මගේ අම්මටයි තාත්තටයි ඉන්නේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දෙන්නෙක්. ඒ දෙන්නත් විශේෂයෙන් මතක් කරන්න ඕනි. අපි අලුත් රංගන ශිල්පීන් කියලා හිතන්නේ නැතුව ඒ දෙන සහයෝගය ගැන ඇත්තටම සතුටුයි. මේක ටීම් වර්ක් එකක් නිසා හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා.
‘The Lake’ ගැනත් අදහසක් කියමු?
ඇත්තටම ඒ සයිකෝ ත්‍රිලර් එක සම්බන්ධව මම ඉතාම කැමතියි. මං ආසම මූඩ් එකක්. ධනුෂ්ක රේමන්ඩ් කියන්නේ කොහොමත් සයිකොලජි සම්බන්ධව දැනුමක් තියෙන කෙනෙක්. මට ආරාධනාව ලැබුණේ අශාන් ඩයස් අයියාගේ චරිතයේ තරුණ කාලය නියෝජනය කරන්න. ඇත්තටම ඒක ලොකු රිස්ක් එකක්. චැලේන්ජ් එක එන්ජෝයි කරන එක නළුවෙක්ගේ ජීවිතේ කියන එක මම විශ්වාස කරන දෙයක්. මමත් ඒක සතුටින් බාර ගත්තා. මිනිස්සුන්ට ඒ වැඩේ කියවගන්න තව ටික කාලයක් යයි කියලා මම හිතනවා. ඊට පස්සේ තේරෙයි අධ්‍යක්ෂවරයා, පිටපත් රචකයා, රංගන ශිල්පීන් ඇතුළු සිනමාකරුවන් මොකක්ද කරලා තියෙන්නේ කියලා. කොහොම වුණත් ඒ වගේ පිරිසක් එක්ක ගනුදෙනු කරන්න ලැබුණු එක වගේම නිර්මාණයට දායක වෙන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා.
The Lake කියන්නේ වෙනස් ශානරයේ ටෙලි නිර්මාණයක්. අජිත් ධම්මිකට ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
ඇත්තටම හොඳයි. රංගන ශිල්පියකුට චරිතය ගැන විනයක් තියෙන්න ඕන. චරිතයක දිග, පළල තේරුම් ගන්න ඕන. ඒකට මම උපරිමයෙන් උත්සාහ කළා. ප්‍රේක්ෂකයන්ගෙන් වගේම ක්ෂේත්‍රයේ අයගෙනුත් හොඳ ප්‍රතිචාර තියෙනවා.
ඉදිරියේ දී දායකවෙන්න කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවා ද ?
මම ඉතාම ආසාවෙන් ඉන්නවා සයිකෝ චරිතයක් කරන්න. ඒ වගේම විලන් කැරැක්ටර් එකක් කරන්නත් ආසයි. චරිතේ ඇතුළේ වැඩක් කරන්න වගේම දිගුවක් තියෙන චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා.
රංගනයට පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
හොඳ සහයෝගයක් ලැබෙනවා. ඉස්සර අපි ‘ඩ්‍රාමා‘ ඉගෙන ගන්න යන කාලේ එයාලට ලොකු අදහසක් තිබුණෙ නැති වුණත් කිසි දවසක මට බල කරලා නෑ මේ දේ කරන්න කියලා. මම කරපු දේට මට ඉඩ දුන්නා. දැන් ඒ අයත් හරි සතුටින් ඒ දේ භුක්ති විඳිනවා. ඇත්තම කතාව කලාකරුවකුට බලපෑම් කළොත් ටිකක් අමාරුයි.
තීක්ෂණට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ ?
ඇත්තටම ගොඩක් ස්තූතියි මේ දෙන ආදරේට. ඒ ආදරය අපිට ගොඩක් වටිනවා. පෞද්ගලිකව මනුස්සයෙක්ට මිනිස්සුන්ගේ ආදරය ලැබෙනවා කියන්නේ ජීවත් වෙන්න මාරම සාධකයක්. ඉතින් ඒ හයිය දෙන්නේ ප්‍රේක්ෂකයා.
ඉදිරි වැඩ කටයුතු මොනවා ද ?
අලුත් වැඩකට තියෙන්නේ චිත්‍රපටයකට සූදානම් වෙනවා වගේම තවත් සීරීස් දෙකක් තියෙනවා කරන්න. අලුත් වේදිකා නාට්‍යයක් එන්නත් නියමිතයි.
ක්ෂේත්‍රයට එන්න ඉන්න නවකයන්ට ඔබෙනුත් ගන්න දෙයක් ඇති?
ඔවුන්ට කියන්න තියෙන වැදගත්ම දේ තමයි ඉගෙන ගන්න. මේක හිතන තරම් පහසු කාර්යයක් නෙවෙයි. මේකේ වෘත්තීයභාවය රකින්න. මේක වැදගත් දෙයක් කියන එක සම්බන්ධයෙන් දැනුවත්ව ඉන්න. මේකෙන් ලැබෙන ප්‍රතිලාභවලට වහ වැටෙන්නේ නැතුව ඇයි මම නළුවෙක්, නිළියක් වෙන්නේ කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ඇතුව එන්න කියලා තමයි කියන්න තියෙන්නේ.