ඉදිරියටත් මම ළමයි-අධ්‍යාපනය ගැන කතා කරනවා -ශ්‍යාම් ප්‍රනාන්දු

gossiplanka image 2
 


ඔහු මෙරට සිනමාව, ටෙලිවිෂනය සහ වේදිකාව තුළ තම අනන්‍යතාව තහවුරු කළ රංගන ශිල්පියෙක්. එමෙන්ම තම අසහාය රංගනයෙන් ප්‍රේක්ෂක සන්තානය කැලඹූ සුවිශිෂ්ට රංගනවේදියෙක්. මේ දිනවල තිරගත වන ‘මලකි දුවේ නුඹ‘ සිනමාපටයේ මහාචාර්ය කවීන්ද්‍ර සේනානායක ලෙසත් ‘ෆාදර්’ සිනමාපටයේ මයිකල් මහත්තයා ලෙසත් ඔහු ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙනවා. අද ‘හදගැස්ම’ හා එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු.


මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දවස්වල ‘මලකි දුවේ නුඹ’ සහ ‘ෆාදර්’ සිනමාපටවල ප්‍රචාරක වැඩකටයුතුවලට සහභාගි වෙමින් කාලය ගෙවී යනවා. මට හැකි පමණින් ඒ සිනමාපට සඳහා අවශ්‍ය කටයුතුවලට දායකත්වය සපයමින් මේ දවස්වල කාලය ගෙවී යනවා.


‘මලකි දුවේ නුඹ‘ සිනමාපටයේ කවීන්ද්‍ර මහාචාර්යවරයාගේ චරිතයට ඔබ පණපොවනවා ඒ ගැන කියමු?


කවීන්ද්‍ර සේනානායක කියන්නේ මහාචාර්යවරයෙක්. ඒ වගේම ගත්කතුවරයෙක්. ඔහුට හොඳ අධ්‍යාපන පසුබිමක් තිබෙන, සමාජය පිළිබඳව යහපත් දැක්මක් තිබෙන නිර්මාණකරුවෙක්. ඔහුට දරුවන්ගේ ලෝකය ගැන ලියන්න ලැබිලා නැහැ. ඔහුට මුණගැසෙන දරුවකු හරහා නව යෞවන වියේ දරුවන්ගේ ජීවිතය විනිවිඳින්න ඔහුට හැකියාව ලැබෙනවා. ඔහු සිනමාපටය තුළ  ‘මලකි දුවේ නුඹ’ කියලා පොතක් රචනා කරනවා. වැඩිහිටියන්ට දරුවන්ගේ ලෝකය තේරුම් ගන්න මේ තුළ කියා දෙනවා. ඒ වගේම පරම්පරා අතර ඇති වෙනස්කම් මොනවාද? මානව සම්බන්ධතා ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව කවීන්ද්‍රගේ චරිතය හරහා අපට කියා දෙනවා.


රටේ අනාගතය දරුවෝ. නමුත් අද සමාජයට එය වැටහෙනවාද මේ පිළිබඳව ඔබේ අදහස?


ඒ ගැන ලංකාවේ බහුතරයකට අදහසක් නැහැ. ඔවුන් සිටින්නේ එදිනෙදා ජීවිතය ගෙනියන්න දරන අරගලයක. නමුත් මේ දේ ගැන අපි සිතන්න ඕන කියලා නිර්මාණයකින් මතක් කර දිය යුතුයි. ‘මලකි දුවේ නුඹ’ හරහා ඒ යහපත් පණිවුඩය ලබා දෙනවා. වින්දන සහ කල්පන කියන දෙසොහොයුරන් මෙය ඉතා කාව්‍යාත්මකව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනවා කියා මම සිතනවා. පෞද්ගලිකව මම  පවා ළමයි මූලික කරගත් නිර්මාණයක් සිදු කොට තිබෙනවා.


ඔබ ළමයා සම්බන්ධයෙන් නිර්මාණකරණයෙහි යෙදෙනවා. ඒ ගැන කතා කරමු?


මම අධ්‍යක්ෂණය කළ ටීච් මී කියන්නේ ළමයි පාදක කොටගත් නිර්මාණයක්. ඒ වගේම එය අධ්‍යාපනය මූලික කොටගත් නිර්මාණයක්. මම පෞද්ගලිකව මගේ ජිවිතයේ අත්දැකීම් සහ ලංකාවේ දරුවන් මෙන්ම මවුපියන් ලංකාව තුළ මුහුණ දෙන අධ්‍යාපන ගැටලු පිළිබඳව මෙම නිර්මාණය ඔස්සේ කතාබහට ලක් කරනවා. මෙවැනි දේවල්වලට ලංකාවේ වාණිජමය වටිනාකමක් නැහැ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියන තැන බොහෝ දෙනකු නැහැ. යම් පිරිසක් සිටිනවා මෙම ක්‍රමය වෙනස් විය යුතුයි කියා සිතනවා. බහුතරයකට ඒ අදහස නැහැ. මම කළ මෙම නිර්මාණය ලංකාවේ රූගත කිරීමට ඉඩ ලැබුණේ නැතත්. වෙනත් විකල්ප මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මම ඉදිරියටත් ලංකාවේ අධ්‍යාපනය සහ ළමයි ගැන කතාබහ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.


ෆාදර් සිනමාපටයේ මයිකල් මහත්තයා ගැන කතා කරමු?


මයිකල් කියන චරිතය ඒ වකවානුවේ දේශපාලනයට සහ ව්‍යාපාරවලට සම්බන්ධ වූ පුද්ගලයකුගේ චරිතයක්. මම කිසිම විටෙක එයට පාදක වූ චරිතය උදාහරණයට ගත්තේ නැහැ. අධ්‍යක්ෂවරයාටත් ඒ අදාළ පුද්ගලයාගේම චරිතය මට කියා නිර්මාණය කිරීමට අවශ්‍ය වුණේ නැහැ. අපිට අවශ්‍ය වුණේ සැබෑ සිදුවීම් නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකයාට ලබා දීමයි. රංගන ශිල්පියකු ලෙස මම ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කළා කියා මම සිතනවා.


ෆාදර් සිනමාපටය ගැන මේ දිනවල විසල් කතාබහක් ඇති වෙලා. නමුත් ඒ කතාබහ ඇති වී තිබෙන්නේ මතුපිට තලයෙන් කියා ඔබට සිතෙන්නේ නැද්ද?


අපි ෆාදර් ගැන කතාබහ කරන්නේ මතුපිට තලයකින්ද, ගැඹුරින්ද කියන එක සොයා බලන්න මේ සිනමාපටය තව කාලයක් තිරගත වනතුරු බලා සිටීමට සිදු වෙනවා. කෙසේ වෙතත් මෙය සාර්ථකව තිරගත වෙනවා. ප්‍රේක්ෂකයා මෙය ඉතා තදින් වැලඳගෙන තිබෙනවා. ලාංකේය ප්‍රේක්ෂකයා අතීතයේ බැලුවා වගේ නැවත නැවතත් චිත්‍රපට නැරඹීමට පෙලඹිලා තිබෙනවා. මෙය සකල දෙසින් සාර්ථක වීම පිළිබඳව තිබෙන්නේ සතුටක්. චමින්ද ජයසූරිය අධ්‍යක්ෂවරයාගේ කැපවීම සහ ඔහුගේ කණ්ඩායමේ ධෛර්යය මත තමයි ෆාදර් මේ තරම් සාර්ථකත්වයක් ලබා ඇත්තේ කියා මම සිතනවා.


මෙවන් සමාජයක් තුළ මිනිසා පතන යුක්තිය ඔවුන්ට ලැබෙනවා කියා ඔබ සිතනවාද?


යුක්තිය කියන දෙය කොන්ක්‍රීට් අදහසක් නෙවෙයි. එය එක් එක් සමාජ වකවානුවල අරුත් ගන්වන විධිය අනුව තීරණය වෙනවා. මීට වසර 100කට ඉහත පැවැති සමාජයේ  යුක්තිය  නෙවෙයි මීට වසර 30කට කලින් තිබුණේ. මීට වසර 30කට කලින් තිබුණු යුක්තිය නෙවෙයි දැන් තිබෙන්නේ. මේක සංයුක්ත කාරණාවක් නොවන නිසා ඒ ඒ කාලවල මිනිසුන්ගේ මතවාද අනුව මෙය වෙනස් වෙනවා. යුක්තිය ගැන මට ඇත්තටම කියන්න තේරෙන්නෙ නැහැ.


කංචුකා ධර්මසිරිගේ නුග ගසක් ගැන කතා කරමු එහි අත්දැකීම මොන වගේද?


මට මේ නාට්‍ය සඳහා කංචුකා ධර්මසිරි ආරාධනා කළේ ප්‍රියන්ත සිරිකුමාර හරහා. ප්‍රියන්ත සිරිකුමාර කියන්නේ මම ගරු කරන ආදරය කරන රංගන ශිල්පියෙක්. ඒ වගේම ලංකාවේ කලාව ගැන ගැඹුරු සවිඥානික අදහසක සිටින කෙනෙක්. කංචුකා ධර්මසිරි මේ නාට්‍ය හරහා ප්‍රේක්ෂකයාට ලබා දෙන අත්දැකීම ඉතා වෙනස්. මට මේ නාට්‍යයේ දෙවැනි දර්ශන වාරයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. මේ නාට්‍ය ගැන කිසිදු අදහසක් නැතුව තමයි අපි ඒ සමඟ සම්බන්ධ වෙන්නේ. ඒ මොහොතේ චරිතයක් සිතමින් චරිතයකට ප්‍රවේශ වෙනවාටත් වඩා යම්කිසි මොහොතකට චරිතයක් ලෙස මුහුණ දෙන්නේ කෙසේද යන්න නුග ගස වේදිකා නාට්‍යයෙන් පෙන්වා දෙනවා. මේක ඇත්තටම නැවුම් අත්දැකීමක්.


ඉදිරි වැඩකටයුතු ගැන සිහිපත් කරමු?


මේ වසරේ සිනමාපට තුනකට ආරාධනා ලැබී තිබෙනවා. සතිර ලෙව්කේ බණ්ඩාර, ජෝ දිසානායක යන අධ්‍යක්ෂවරුන්ගේ වැඩ කටයුතුවලට මෙලෙස මම රංගනයෙන් දායකත්වය සපයන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම ඉදිරියේදී මගේ අධ්‍යක්ෂ කටයුතුවල නිරත වීමටත්බ ලාපොරොත්තුවෙන් සිටිනවා.

gossiplanka image 1
Previous Post Next Post