TV දෙරණ නාලිකාවෙ විකාශය වන මං ආදරෙයි ටෙලිනාට්‍යයේ දඟකාර යෙනාරාගේ චරිතය රඟපාන උත්පලා පීරිස් ගැන මේ දිනවල ප්‍රේක්ෂකයො අතර නිතර කතබහ කරනවා. නිසාම අපි හිතුවා උත්පලා එක්ක කතා කරන්න.
උත්පලා ගැන විස්තර ටිකක් කියමුද ?
මම නමින් උත්පලා පීරිස් පදිංචිය පන්නිපිටිය වෘත්තියෙන් නිරූපිකාවක් සහ නිළියක් විදිහට වැඩ කරනවා.
මං ආදරෙයි ටෙලිනාට්‍යයේ යෙනාරා වුණේ කොහොමද ?
පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ වෘත්තීය නිරූපිකාවක් වුණාට මට පොඩිකාලෙ ඉඳලා තිබුණෙ නිළියක් වීමෙ බලාපොරොත්තුව. හැබැයි ඒ සඳහා ගැළපෙන අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඉතින් දවසක් හර්ෂ උඩකන්ද සර් facebook වල දාලා තිබුණා මං ආදරෙයි ටෙලිනාට්‍යයේ රඟපාන්න නවක නළුනිළියො තෝරගන්න තිර පරීක්ෂණයක් තියනවා කියලා. මම තිර පරීක්ෂණයට සහභාගිවෙලා රංගන හැකියාව ඉදිරිපත් කළා. හර්ෂ සර්, ශලිනි ප්‍රනාන්දු අක්කා ඇතුළු තිර පරීක්ෂණය විනිශ්චය කරපු හැමෝම මගේ රංගන හැකියාව හොඳයි කියලා මං ආදරෙයි ටෙලිනාට්‍යයේ යෙනාරගේ චරිතය රඟපාන්න මාව තෝරගත්තා.
නිළියක් වීමේ හීනය සැබෑවීම ගැන පවුලෙ අය මොනවද කියන්නෙ?
පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි අයියයි අයියා බැඳපු අක්කයි. පවුලෙ එකම ගෑනු දරුවා විදිහට පුංචිකාලෙ ඉඳලා මම හුඟක් හුරතල් විදිහට හැදුනෙ වැඩුනෙ. ඉතින් අම්මයි තාත්තයි පුංචිකාලෙ ඉඳලා මගේ කැමැත්තට ඉඩ දෙනවා. මම අද නිළියක් වෙලා පුංචි තිරයේ රඟපානවා දකිනකොට එයාලට ගොඩක් සතුටුයි කියලා හැමවෙලේම මට කියනවා.
මුල්ම ටෙලිනාට්‍ය රංගන අත්දැකීම කොහොමද?
මං ආදරෙයි මගේ පළවෙනි ටෙලිනාට්‍ය රංගනය. ඉතින් රූගතකිරීම් මුලින්ම පටන්ගත්ත දවසෙ මම ටිකක් බයවෙලා හිටියෙ. හරියට රඟපාන්න බැරිවුණ අවස්ථා කීපයකටම මම මුහුණ දුන්නා. මට වැරදුන හැම අවස්ථාවකදීම අධ්‍යක්ෂ හර්ෂ සර් සහ ශලිනි අක්කා මට ඒ ගැන පැහැදිලි කරලා හරියට රඟපාන්න ලොකු සහයෝගයක් දුන්නා.
දිගටම රඟපාන්නද අදහස ?
ඔව්. මං ආදරෙයි තුළින් රංගන ක්ෂේත්‍රයට පිවිසීමත් එක්ක රංගනය ගැන ලැබෙන අත්දැකීම් සහ හැදෑරීම් උදව් කරගෙන තවත් නිර්මාණවල රඟපාන්න මට අදහසක් තියනවා.
යෙනාරට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
ඒක පාර්ශ්වික පාසල් ප්‍රේමයක යෙනාරා ගිලිලා ඉන්න නිසා ගොඩක්දෙනාගේ අතීත පාසල් ප්‍රේමය අවදිකරන්න මම කරන රංගනයට පුළුවන්වෙලා තියනවා කියලා ගොඩක්දෙනා කියනවා. මගේ මුල්ම රංගනය ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනෙන විදිහෙ එකක් වීම ගැන සතුටුයි.
උත්පලාට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ පිරිමි ළමයින්ගෙන් කියලා ආරංචියි...
ගැහැනු පිරිමි බේදයක් නැතුව හැමෝගෙන්ම මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි පිරිමි ළමයින්ගෙන් මේ දවස්වල මට වැඩිපුර ප්‍රතිචාර ලැබෙනවා. යෙනාරාගේ චරිතෙදි මම ආතල්එකේ දඟකාරකමට ඉන්න කෙල්ලෙක් විදිහටයි රඟපාන්නෙ. හැබැයි ඒක රඟපෑමක් කියන්නත් බැහැ. සැබෑ ජීවිතයේදිත් මම ආතල්එකේ දඟකාරව විනෝදෙන් ඉන්න ගැහැනු ළමයෙක්. ඉතින් මගේ දඟකාරකමට පිරිමි ළමයි කැමැතියි කියලයි කියන්නෙ.
දඟකාරකමට අමතරව උත්පලාගේ ලස්සනට කැමැති වුණ පිරිමි ළමයිනුත් ඉන්නවද?
ඒක නම් මම දන්නෙ නැහැ. ඇඟ ලස්සන කරගන්නවත් සිහින් විදිහට තියාගන්නවත් මම කිසිම විශේෂ දෙයක් කරන්නෙ නැහැ. උපතින් මට ලැබුණ රූපය ඒ විදිහටම මම පවත්වගෙන යනවා. විලාසිතාවලදි වුණත් වැඩිය කොටට අඳින්නෙ නැතුව සරල විලාසිතා කරන්න මම පුරුදුවෙලා ඉන්නෙ. අනිත් සමහර ගෑනු ළමයි වගේ විච්චූරණ වැඩ කරන්නෙ නැතිව සරල විදිහට විනෝදෙන් ජීවිතය ගතකරන නිසා මම ගැන අනිත් අය අතරේ කැමැත්ත ඇතිවෙන්න ඒ දේවල් බලපානවා වෙන්න පුළුවන්.
පාසල් ප්‍රේමයක් තිබිලා තියනවද ?
ඔව්. පාසල් යන කාලෙදි මට ආදර සම්බන්ධයක් තිබුණා. හැබැයි ඒක පාසල් කාලෙම ඇතිවෙලා පාසල් කාලෙදිම නැති වුණා. ප්‍රේම සම්බන්ධතාවය නැවතුන මොහොතෙදි දුක හිතුනත් හැමදේම අනිත්‍යයි කියලා මම හිත හදාගත්තා.
පාසල් කාලේ ආදරය ගැන දැන් මොකද හිතන්නෙ?
පාසල් කාලෙ ආදරය බොළඳයි කියලා දැන් හිතෙනවා. හැබැයි ඒක සුන්දර අත්දැකීමක්.
උත්පලා මේ වෙද්දි ආදරය විඳිනවද?
අනේ නැහැ. දැන් මම තනිකඩ ජීවිතයක් ගතකරන්නෙ. හොඳ ගතිගුණ තියන පිරිමි ළමයෙක් හම්බවුණොත් ආපහු ආදරය කරන්න උත්සාහ කරනවා.
උත්පලා කැමති මොනවිදිහෙ ගතිගුණ තියන පිරිමි ළමයෙක්ටද?
නිතරම හොයලා බලලා ආදරෙන් මාව බලාගන්න පිරිමි ළමයෙක්වයි මම බලාපොරොත්තු වෙන්නෙ. හැබැයි ඉතින් පිරිමි ළමයා හා සමානවම එයාගේ පවුලෙ අයත් මට ආදරේ වෙන්න ඕන. පිරිමි ළමයා විතරක් ආදරේ වෙලා එයාගේ පවුලෙ අය මට අකමැති වුණහම ප්‍රශ්න වැඩියි. ඒ නිසා මට ඕන පිරිමි ළමයයි එයාගේ පවුලෙ අයයි දෙගොල්ලොම ආදරය කරන සුන්දර ආදරයක්.