දැන දැනත් කියන්නේ මේ දිනවල කාගෙ කාගෙත් මුවග රැව්දෙන ගීතයක්. ප්‍රේමයේ විරහව පිළිබඳව වෙනස් අයුරක අරුතක් ගෙන එන මේ ගීතය මේ දිනවල බොහෝ දෙනකුගේ ආදරය දිනාගෙන. ඉතින් එහි අයිතිකාරිය සමඟ අපි සොඳුරු කතාබහක නිරත වුණා. අද හ එක් වන්නේ ගායිකා තෂී ජයවීරයි.
මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කරමු?
මේ දවස්වල මගේ ව්‍යාපාරික කටයුතු සමඟ කාලය ගෙවා දමනවා. ඒ වගේම මම උපදේශක කටයුතු සිදු කරනවා. ඒ දේවල් සමඟ මගේ ජීවිතය ගෙවී යනවා.
කුඩා කාලයේ සංගීතය ඉගෙන ගත් අයුරු මතක් කරනවා නම්?
ඇත්තම කියනවා නම් පාසල් කාලයේදී මට ගීත ගායනයට අවස්ථාව ලැබී නැහැ. එයට හේතුව ලෙස මම දකින්නේ මගේ කට හඬහි තිබුණු වෙනස් ස්වභාවය. නමුත් මගේ පාසලේ සමහර ගුරුවරු සහ මගේ යහළුවෝ පන්ති කාමරය තුළ මම ගීත ගායනා කරනවා අසන්න ඉතා කැමැති වුණා. ඉතින් එවැනි අවස්ථාවන් මට ලැබුණා. මම ගෙදරදී වගේම නිදහසක් ලැබුණු හැම විටෙකම සංගීතය පසුපස හඹා ගියා. මම ගීත ගායනා කරන්න වගේම අහන්න හරිම ආශා කරන කෙනෙක්. ඒ වගේම මම වාදනයටත් ඉතා කැමැතියි. ඒ අයුරින් තමයි මගේ කුඩා කාලයේ සංගීතය ගෙවුණේ.
ඔබේ ගීතයක් මේ දිනවල වයිරල් වෙලා. ඒ ගැන කියමු. කොහොමද දැනෙන සතුට?
මේ ගීතය වයිරල් වීම සම්බන්ධයෙන් මට තිබෙන්නේ ඉතාමත් නිහතමානී ආඩම්බරයක්. ඒ වගේම ඒ ගීතය නැවත එළියට ගන්න මූලික වුණ අශේන් මල්ලි සහ එයාගේ ආදරණීය බිරියව මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. ඔවුන් මේ වගේ වටිනාකමක් මේ ගීතයට ලබා දීම ගැන මම බොහොම ස්තූතිවන්ත වෙනවා.
දැන දැනත් දුරගියා වසර ගණනාවකට පසුව මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙයි කියා ඔබ සිතුවාද?
ඇත්තටම දැන දැනත් ගීතය මේ ආකාරයෙන් රසිකයන් අතර මේ වගේ මොහොතක ජනප්‍රිය වෙයි කියා සිතුවේ නැහැ. නමුත් මගේ සිතේ යම් බලාපොරොත්තුවක් තිබුණා. ඒ වගේම සිහිනයක් තිබුණා. කවදා හෝ දිනක මේ ගීතය මගේ පියාගේ බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් ගීතය වගේ මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වෙන්න ඕන. මිනිසුන්ගේ මතකයේ රැඳෙන ගීතයක් බවට පත් වෙයි කියලා බලාපොරොත්තුවක් 2012 පටන්ම තිබුණා. මේ ගීතය නිර්මාණය කළ දිනයේ පටන් අද දක්වාම මට ඒ විශ්වාසය තිබුණා. නමුත් මේ වෙලාවේ ඒ දෙය මේ අයුරින් සිදු වේවි කියා සිතුවේ නැහැ.
දැන දැනත් ගීතය නිර්මාණය වූ අයුරු ගැන කියමු?
මේ ගීතය නිර්මාණය වුණේ 2012දී. මේ ගීතය නිර්මාණය වුණේ සත්‍ය සිදු වීමක් ඇසුරෙන්. ඒ කියන්නේ මේක ඇත්තම කතාවක් පාදක කරගෙන තමයි ලියැවුණේ. ඇත්තම කියනවා නම් මේක මගේ අත්දැකීමක්. ගීතය තුළ යම් දුකක් ගැබ් වෙලා තිබුණත් ඒ සිදු වීම හරිම ආදරණීයයි. ඒ ආදරණීයත්වය නිසාමදෝ මට ඒ ගීතය ඒ තරම්ම දැනුණා. ඒ දැනුණ හැඟීම මම වචනවලට පෙරළුවා. ඒ සිදුවීම, ඒ ආදරය, මේ ගීතය ගැන මට සදාකල්ම විශාල ගරුත්වයක් සහ ආදරයක් තිබෙනවා. මෙම ගීතය සංගීතවත් කළේ සංඛ දිනෙත්. මෙහි වීඩියෝව නිර්මාණය කළේ චමූ ශ්‍රී. ශිහාන් මිහිරංග තමයි මට ඔහුව සම්බන්ධ කළේ. ලක්නි පෙරේරා, දිනෙත් දි සිල්වා මේ ගීතයේ වීඩියෝ නිර්මාණය සඳහා විශාල ලෙස උපකාර කළා. ඉතින් දැන දැනත් නිර්මාණය වුණේ ඒ අයුරින්.
අලුත් ගීතයක් නිර්මාණය කිරීමට අදහසක් නැද්ද?
අලුත් ගීතයක වැඩකටයුතු සිදු කිරීම ආරම්භ කරලා තිබෙනවා. එවන් නිර්මාණයක් සිදු කිරීමට මේ මොහොත සුදුසුයි කියා මම සිතනවා. මගේ හඬට ආදරය කරන රසිකයන්ට මම අලුත් ගීතයක් නිර්මාණය කරමින් පවතිනවා කියා කියන්න ඕන. එය ඔබට ඉක්මනින්ම රසවිඳීමට හැකි වෙයි කියා කියනවා.
ඔබ කැමැති සංගීත ශානරය සහ ගායක-ගායිකාවන් ගැනත් කියමු?
සංගීත ශානරයන් ගැන කතා කරනවා නම් මම සෑම සංගීත ශානරයකම ගීත අහනවා. ඒ අතර රැප්, හිප්-හොප්, පොප්, රොක්, ඉලෙක්ට්‍රික්, ජෑස් වැනි ශානරවල ගීතවලට මම සවන් දෙනවා. නමුත් මම කන්ට්‍රි සහ ක්ලැසිකල් ගීතවලට විශාල ඇල්මක් දක්වනවා. ඕනෑම ශානරයක ගීත මම රසවින්දත් ඒ ශානරවලට මම විශේෂ කැමැත්තක් දක්වනවා. කැමැතිම ගායක-ගායිකාවන් ගැන කියනවා නම් මගේ පියාට මම ඉතා කැමැතියි. ඊට අමතරව පැරැණි වගේම නවක පරපුරේ ගායක-ගායිකාවන්ගේ ගීතවලට මම ඉතාම කැමැතියි. මම සිටින මූඩ් එක අනුව ගීත තෝරාගෙන මම රස විඳීම සිදු කරනවා. විශේෂයෙන් කියලා කියන්න බැහැ. මම පැරැණි හෝ නවක පරපුරේ වේවා සියලු දෙනාටම කැමැතියි.
ඔබේ පියා ගැනත් කියනවා නම්?
මම ගායනය, සංගීතය මෙන්ම ගීතය කියන දෙය මුලින්ම ඉගෙන ගත්තේ මගේ පියාගෙන්. මැක්සි ජයවීර තමයි මගේ පියා. ඔහුගෙන් තමයි සංගීත විෂය ගැන මුලින්ම මට දැනගන්න ලැබුණේ. මට තේරෙන කාලයක ඔහු තමයි මට සංගීතය සම්බන්ධයෙන් මුණ ගැසුණු විශාල පෞරුෂය.
ඉදිරි වැඩකටයුතු ගැන කියනවා නම්?
මම දැනට නියුතු වන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සහ උපදේශක ක්ෂේත්‍රයේ ඉහළට යෑමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංගීතය තුළ මට කාලයක් ගත වූවත් මෙවැනි නිර්මාණයක් කරන්න ආශාවෙන් සිටිනවා. ඉතින් ඉදිරියටත් මම සංගීතය තුළ සිටිමින් සංගීතමය වැඩකටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ශෙෂාන් සේනාධිපතිගේ මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඊට අමතරව මට වීඩියෝකරණය සහ අධ්‍යක්ෂණය සම්බන්ධව වැඩක් කරන්න ලොකු ආශාවක් තිබෙනවා. මෑත කාලයක පටන් මට ඒ පිළිබඳව උනන්දුවක් මෙන්ම ලොකු කැමැත්තක් තිබෙනවා. දැනට එවන් දේවල් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
ගිහාන් සචින්ත