පද්මලතාගේ ඇතුළාන්තය ඛේදවාචකය -දුමී වන්නිආරච්චි

gossiplanka image 1
 

චරිතයක් රඟපානවට වඩා චරිතයකට ආරූඪ වීම වෙනමම දෙයක්. බොහෝ දෙනකුට මේ ආරූඪ වීම එන්නේ ක්ෂේත්‍රය තුළ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබාගත්තාට පසුව. නමුත් දුමී වන්නිආරච්චි කියන්නේ ආරම්භයේ සිටම තමන් දායක වෙන ඕනෑම චරිතයකට ආරූඪ වෙන්න තරම් දක්ෂ රංගන ශිල්පිනියක්. උපතින් අරගෙන ආපු හැකියාවන්ගෙන් වගේම, අධ්‍යාපනය හරහා ලබාගත් විෂය දැනුමෙනුත් තමන්ගේ රංගනයට උපරිම සාධාරණයක් කරන ඇය පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන්ම කතා වෙන්නේ දොරකඩ දෙවොලේ පද්මලතාගේ චරිතය නිසා.


දොරකඩ දෙවොලේ පද්මලතා ගැන කියලම පටන් ගමු?


මුලින්ම කියන්න ඕන මේක ලලිත් රෝහිත අයියාගේ අධ්‍යක්ෂණයක්. තරංගා දිසානායක අක්කාගේ තිර රචනයක් සහ අනුර ජයසිංහ සර්ගේ නිෂ්පාදනයක්. මෙහි පද්මලතා ගැන කතා කළොත් ඇත්තටම පද්මලතා කියන්නේ සමාජ සම්මතය විසින් නිර්මාණය කරනු ලැබ තිබෙන ගැහැනිය කියන රාමුවෙන් පිටට පනින්න උත්සාහ කරන නිරන්තරයෙන් අභ්‍යන්තර සතුට වෙනුවෙන් වැඩ කරන්න උත්සාහ කරන කෙනෙක්. නමුත් ඇගේ ඇතුළාන්තය ලොකු ඛේදවාචකයක්. ඒ වගේම ඇය ඔය තැනට පත්වෙන්නත් සමාජ විසින්ම නිර්මාණය කරනු ලැබූ ඇතැම් දේවල් බලපාලා තිබෙනවා.


මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙද්දි මොකද හිතෙන්නේ?


ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මම මීට කලින් රූපවාහිනි නාළිකාවෙම විකාශය වුණු ද ලේක් වෙනුවෙන් රංගන දායකත්වය ලබා දුන්නා. ඊට පස්සේ දොරකඩ දෙවොල හරහා ඒ නාළිකාවෙම, ඒ වෙලාවෙම, ඒ දවස්වලටම විකාශය වෙන ටෙලි නාට්‍යයකට ප්‍රධාන චරිතයකින් දායක වෙන්න ලැබිලා තියෙනවා. ඒකත් එක්කම මම හිතනවා මම හරිම වාසනාවන්තයි කියලා. පද්මලතා කියන චරිතය මේ වෙද්දි ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මගේ රංගනයට ගොඩක් හොඳ කියන අය ඉන්නවා. ඒත් එක්කම ඔවුන් චරිතයට බනින්න අමතක කරන්නේ නෑ. “මේ චරිතය නම් පේන්න බැහැ හැබැයි දුමී ඒක මරුවට කරනවා” කියලා වගේ ප්‍රතිචාර ලැබෙනවා. ඒක ලොකු සතුටක්.


පද්මලතා කියන මුහුකුරා ගිය ගැහැනිය මේ තරම් සාර්ථකව ආරූඪ කරගත්තේ කොහොමද?


ඒක ලොකු අභියෝගයක් වුණා.  පද්මලතා එක්ක බලද්දි ජීවත්වන පරිසරය, පවුල, හැදී වැඩුණු ආකාරය මේ හැමදේම ලොකු වෙනසක්. කතා කරන ආකාරයේ ඉඳලම පද්මලතා මට වඩා ගොඩාක් වෙනස් කෙනෙක්. ඇත්තටම රූගත කිරීම් ආරම්භ කරපු මුල් දවස්වල පද්මලතාව නිරූපණය කරද්දි  මට චකිතයක් දැනුණා. මම ලලිත් අයියාගෙනුත් ඇහුවා මට මේ චරිතය කරන්න පුළුවන් වෙයි කියලා අයියට විශ්වාසද කියලා. ඒ වගේම මම මේ වෙලාවෙ දසුන් පතිරණ අයියා සහ උමා අසේනි අක්කව ආදරයෙන් මතක් කරනවා. මොකද ඔවුන් දෙදෙනා එක්ක තමයි මට මෙහි වැඩි වශයෙන්ම රඟපාන්න තියෙන්නේ. පද්මලතා කියන්නේ අවුරුදු 38ක වගේ දරුවෙක් ඉන්න, අනියම් සම්බන්ධයක් තියෙන ගැහැනියක්. ඇයගෙයි මගෙයි එකම සමානකම නර්ථනය පමණයි. එතැනදි මම අධ්‍යක්ෂවරයා සමඟ ඔහුගේ මනසේ ඇඳුණු පද්මලතා ගැන සාකච්ඡා කළා. ඒ වගේම පද්මලතා වෙනුවෙන් මම මගේ ශරීරයත් මහත් කර ගත්තා. මොකද අවුරුදු 40ක පමණ වයසක  කාන්තාවකගේ මුහුකුරා ගිය පෙනුම ලබා ගන්න අවශ්‍ය වුණු නිසා.


ගුරු වෘත්තියේ ආචාරධර්ම ගැන කතාබහක් තිබෙන මේ මොහොතේ, ඔබ ගුරු භූමිකාව දකින්නේ කොහොමද?


ගුරු වෘත්තිය මම දකින්නේ පූජනීය වෘත්තියක් විධියට. මොකද ගෙදරින් පස්සේ දරුවෙක් වැඩිහිටියෙක් බවට ගොඩනැඟෙන්නේ ගුරුවරු ඇසුරේ. මම කරන චරිතයත් එක්ක බලද්දී ඇය, ගුරුවරියක් නමුත් අභ්‍යන්තර සතුට වෙනුවෙන් සමාජය විසින් නිර්මාණය කරනු ලැබූ රාමුව බිඳින ගැහැනියක්. ඒක ඇතුළෙදි අපි දකින්න ආස කරන ගුරුවරිය දකින්න බැහැ. නමුත් පසුගිය කාලයේ සමාජයේ කතාබහට ලක් වුණු සිදුවීම ගත්තම ගුරු වෘත්තිය කියන්නේ සමාජයට මුදා හරින පුරවැසියා ගොඩනඟන කෙනා.  එතැනදි ඔවුන් ආදර්ශවත් විය යුතුයි සහ තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් තමන්ගේම දරුවෝ විධියට සලකන්න හැකියාව තිබිය යුතුයි.


රංගනයට තියෙන ආසාව ඇති වුණේ කොහොමද?


මම අවුරුදු 4 ඉඳන් මහාචාර්ය මුදියන්සේ දිසානායක සර් යටතේ උඩරට නර්තනය හදාරනවා. ඒකට මාව යොමු කරන්නේ මගේ අම්මා. ඒ වගේම මම රන්වල පදනමට සම්බන්ධ වුණා. මගේ අම්මාට ඕන වුණා මාව කලාවට යොමු කරන්න. නමුත් නිකම්ම ආවට ගියාට නෙවෙයි. නිසි විධියට විධිමත් අධ්‍යාපනයක් ලබාගෙන කලාවේ නියැළෙනවා දකින්න තමයි ඇයට අවශ්‍ය වුණේ. ඒ නිසා ඇය නිතරම කියපු දෙයක් තමයි ඔයා හරියට ඉගෙනගෙන කලාවේ නියැළෙන්න කියන දේ.  ඒකත් එක්ක අම්මා තමයි මේ ක්ෂේත්‍රයට එන්න ඕන අඩිතාලම දාලා මම අද මේ ඉන්න තැනට එන්න අවශ්‍ය පසුබිම හැදුවේ. උසස් පෙළ විභාගය අවසන් වෙලා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ තමයි අම්මා මට රඟපාන්න යන්න අවසර දෙන්නේ. ඇය අදටත් මාත් එක්ක මගේ පස්සෙන් හැම දේකටම ඉන්නවා.  අම්මා, තාත්තා දෙන්නාගෙම සහායෝගය තිබෙනවා. ඒ අතරිනුත් අම්මා තමයි අද මේ ඉන්න  දුමී වන්නිආරච්චි කියන රංගන ශිල්පිනිය ගොඩනඟන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කළේ.


රංගනයේ නියැළීමට ඇකඩමික් හැදෑරීම් මොනතරම් වැදගත්ද?


රංගන ශිල්පියෙක්ට, ශිල්පිනියක්ට වෘත්තීමය වටිනාකමක් ලබාගන්න නම් ඒ සඳහා නිසි අධ්‍යනයක් අවශ්‍යමයි. අද වෙද්දි ගොඩක් අය හිතන්නේ  කරන්න දෙයක් නැත්තම් පහසුවෙන් එන්න පුළුවන් තැනක් තමයි රංගනය කියලා. නමුත් එහෙම ආවට පස්සේ හෝ ඒ පිළිබඳව නිසි අධ්‍යනයක් කරනවා නම්, තමන් කළ යුත්තේ නොකළ යුත්තේ මොනවාද, තමන්ගේ ගමන කොයි ආකාරයෙන් විය යුතුද වගේ දේවල් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. මම විශ්වාස කරනවා මේ ක්ෂේත්‍රයේ නියැළෙන කෙනෙක්ට ඇකඩමික් හැදෑරීමක් අවශ්‍යමයි කියලා. මොකද චරිතයකට අවංක වෙන්න නම් රංගනයට අමතරව අපි දැන ගත යුතු බොහෝ දේවල් තියෙනවා. ඒ ටික දැනගන්න පුළුවන් නිසි අධ්‍යයනයකින් පමණයි.


අවසන් වශයෙන් ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?


මේ දවස්වල නම් දොරකඩ දෙවොලත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඊට අමතරව චිත්‍රපට දෙකක වැඩ කටයුතු ආරම්භ කරන්න නියමිතයි. ඒ වගේම පසුගිය දවස්වල මම විශ්වවිද්‍යල අධ්‍යාපනය ඉවර කරලා උපාධිය ලබා ගත්තා. ඒත් එක්කම ඉදිරියේදි උසස් අධ්‍යාපන කටයුතුත්  ආරම්භ කරන්න සැලසුමක් තියෙනවා.


Previous Post Next Post