කොළඹ හතේ තොරණ අරන් අපි දිල්ලි යනවා-ජෙනට් ඇන්තනී

gossiplanka image 1
 

නළුවෙක් වෙන එක තරම් නව නළු රසම පිරි රංගන ශිල්පියෙක් වෙන එක පහසු නැහැ. නළුවෝ බහුතරයක් මැද එහෙම රංගන ශිල්පීන් ඉන්නේ අතිශය සුළුතරයක්. ජෙනට් ඇන්තනී කියන්නේ ඒ අතිශය සුළුතරයක් වූ පිරිස අතරත් ඉන්න මැණිකක් තරම් වටින කෙනෙක්. නිසි හැදෑරීමක් එක්ක රංගනයට අවතීර්ණ වුණු ඔහු අද වෙද්දි රටම දන්න, රටම ප්‍රිය කරන කෙනෙක්.  ඒ අතරිනුත් මේ දිනවල පට්ටි ගෙදර උපාලි නිසා ඔහුගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙලා.


ඉතිං මේ දවස්වල මොකෝ වෙන්නේ?


අලුත්ම විස්තර ගැන කතා කළොත්, දිල්ලියේදි පැවැත්වීමට නියමිත, 25 වැනි අන්තර්ජාතික නාට්‍ය උළෙල සඳහා චාමික හත්ලහවත්ත අධ්‍යක්ෂණය කරන කොළඹ හතේ තොරණ වේදිකා නාට්‍ය තේරිලා තියෙනවා. මේ නාට්‍ය උළෙල ලෝකයේ දෙවැනියට විශාලම නාට්‍ය උළෙල. පෙබරවාරි 9 වැනිදා අපි ඒ සඳහා දිල්ලියට යනවා. ඊට අමතරව පසුගිය දිනවල ලලිත් වරුණ රාජපක්ෂගේ විසේකාර් චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක වුණා. ඒ වගේම සජිත අක්මීමනගේ සීනි චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරියේදි ආරම්භ වෙනවා. ඒත් එක්කම ශාන් ජයරත්නගේ අලුත්ම ටීවි සීරිස් එකේ රූගත කිරීම් යනවා.  ඔය අතරේ පට්ටි  ගෙදර, LBW ටෙලි නාට්‍ය දෙකේ රූගත කිරීම්වලට දායක වෙන ගමන්, වේදිකාවේ වැඩ කටයුතු එක්කත් කාර්යබහුල වෙලා ඉන්නේ.


පට්ටිගෙදර උපාලි නිසා බැනුම්වලින් නම් අඩුවක් නැතුව ඇති?


මම හිතන්නේ උපාලි තමයි මේ දවස්වල වැඩියෙන්ම බැනුම් අහන කෙනා. උපාලිගේ චරිත ස්වාභාවය නිසා තමයි ගොඩක්ම දෝෂාරෝපණ එල්ල වෙන්නේ. ඒත් උපාලි කියන්නේ, මගේ රංගන ජීවිතයේ මට මෙතෙක් ලැබිලා නැති තරම් ගොඩක් හොඳ ප්‍රතිචාර අති විශාල ප්‍රමාණයක් ලබා දෙන්න සමත් වුණු චරිතයක්. මම ඒක දකින්නේ මම වුණු මහන්සියේ ප්‍රතිඵලයක් විධියට. ලංකාවේ  වගේම විදෙස් රටවල ඉන්න ප්‍රේක්ෂකයොත් උපාලි ගැන කතා වෙනවා. ඒ වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕන අනුෂ්ක රසාංජන ද සිල්වා කියන අධ්‍යක්ෂවරයාට මට ඒ චරිතය ලබා දීම වෙනුවෙන්.


ජෙනට් ඇන්තනී කියන රංගන ශිල්පියාට උපාලිව දැනෙන්නේ කොහොමද?


මට උපාලිව දැනෙන විධිය ගැන කතා කළොත්, පට්ටි ගෙදර ඉන්න පිරිසත් එක්ක බලද්දි, ඔහු පවුලේ වගකීම ඉෂ්ට කරන කෙනෙක්. ඔහුගේ මුළු ලෝකයම ඔහුගේ දරුවා. ඔහු පියෙක් විධියට සාර්ථකයි. නමුත් මට හිතෙනවා ඔහුට කුඩා කාලයේදී නොලැබුණු ජීවිතයක් නිසා හිස්කමක් තියෙන පුද්ගලයෙක් කියලා. පට්ටි ගෙදර සමහර තැන්වල ඔහු ගම ගැන, පුංචි කාලය ගැන කතාවෙනවා පෙන්නනවා. තමන්ට කුඩා කාලයේදි නොලැබුණු දේවල් ටිකක් වැඩිහිටියෙක් වෙලා ලබා ගන්න උත්සාහ කරන කෙනෙක් විධියට තමයි මට උපාලිව පේන්නේ. ඒ හරහා බලද්දි ඔහු සම්පූර්ණයෙන් කළු චරිතයක් කියලා කියන්න බැහැ. ඔහුගේ ඇතුළේ යකෙක් වගේම ආදරණීය පියෙක්, ස්වාමි පුරුෂයෙක්, සහෝදරයෙක් ඉන්නවා. නමුත් ඔහු ඒක පෙන්නන්නේ නැහැ. ඒ වගේ චරිත අපේ සමාජයෙත් ඕනෑ තරම් ඉන්නවා.


උපාලි හරහා නිරූපණය වෙන ලංකාවේ බහුතරයක්  පවුල් සංස්ථා තුළ ඉන්න ටිපිකල් ස්වාමිපුරුෂ භූමිකාව ගැනත් කතා නොකර බැහැ?


ඕනෑම මනුෂ්‍යයෙක්ට තමන්ගේ ජීවිතයේ ලබා ගන්න බැරි වුණු දේවල් ටිකක් තියනවනේ. උපාලි වෘත්තියෙන් පොලිස්කාරයෙක් වුණාට පට්ටි ගෙදර හරහා රසිකයන්ට උපාලිගේ රැකියා ස්ථානයේ ස්වභාවය, එතැන ඔහුගේ භූමිකාව කොයි වගේද කියලා පෙන්නේ නැහැ. සමහර විට ඔහු කොස්තාපල් කෙනෙක්, එහෙමත් නැත්නම් සාජන් කෙනෙක් හෝ වෙන නිලයක කෙනෙක් වෙන්න පුළුවන්. එතැනදි ඔහු කරන්නේ තමන්ගේ රැකියාව ගෙදරටත් අරගෙන ඇවිත් ගෙදරත් බලය පතුරවන එක. සාමාන්‍යයෙන් අපේ සමාජයේ බහුතරයකට සිද්ධ වෙන දෙයක් තමයි වෘත්තිය හා පෞද්ගලික ජීවිතය බෙදා වෙන්වෙන සීමාව හඳුනාගන බැරි වීම. උපාලිගේ චරිතය ඇතුළේ ඔහුත් එහෙමයි. ඔහුටත් රැකියාව සහ පෞද්ගලික ජීවිතය බෙදලා වෙන්කර ගැනීමේ අවබෝධය නැහැ. ඒත් එක්කම නෝනා කියන චරිතය ගත්තම ඇයට පවුලේ ඇතුළේ තියෙන වගකීම් එක්ක උපාලි වෙනුවෙන් කාලය අඩුවෙනවා. ඒත් එක්කම තමයි බිරියගේ අවධානය අඩු වෙද්දි ඔහු වෙන කෙනෙක්ට බැඳෙන්නේ. නමුත් දරුවෝ කියන කාරණයේදි ඔහු බොහොම සංවේදියි. එතැනදි ඔහුගේ හැම දේම ඔහුගේ දරුවා.


රංගන ශිල්පීන්, ශිල්පිනියන් ආර්ට් හවුස් හෝ කමර්ෂල් කියලා රාමු කරන්න පුළුවන්ද?


කවදාවත් එහෙම කරන්න බැහැ. ‍රංගන ශිල්පියා හෝ ශිල්පිනිය අතේ තමයි ඒක තියෙන්නේ. කමර්ෂල් වැඩක් වුණත් ආර්ට් වැඩක් වුණත් අපි කරන වැඩේ අවංකව කළ යුතුයි. ඒ නිර්මාණය මොකක්ද කියන එක හඳුනාගෙන වැඩ කිරීම අපේ අතේ තියෙන්නේ.  එතැනදි අපිට දැනෙනවා නම් අපිව මොකකට හරි තැනකට කොටු වෙනවා කියලා ඒක කඩා ගන්න එක තියෙන්නේත් අපේ අතේ. ආර්ට් හෝ කමර්ෂල් වේවා ඒක හරි හැටි කියවාගෙන අපේ උපරිම දායකත්වය දෙන එක අපේ වැඩක්. පෞද්ගලිකව මට මුලින්ම ලැබුණේ මෙගා වැඩ. ඒ හරහා තමයි මට මුලින්ම ජෙනට් ඇන්තනී කියලා රංගන ශිල්පියක් ඉන්නවා. මට මේ වගේ දේවල් පුළුවන් කියන දේ පෙන්නගන්න ලැබුණේ. මොකද මුල් කාලයේදි මට ආර්ට් වැඩ ලැබුණේ නැහැ.


ෆාදර් මේ දවස්වල අති සාර්ථකව තිරගත වෙනවා, ඒ ගැනත් කතා කරමු?


ජුලියස් සීසර් වේදිකා නාට්‍ය හරහා තමයි මට මුලින්ම චමින්ද ජයසූරිය කියන අධ්‍යක්ෂවරයා හමුවෙන්නේ. අධ්‍යක්ෂවරයා කිව්වාට ඔහු තමයි මාර්ක් ඇන්ටනී චරිතයට පණපොවපු රංගන ශිල්පියා. ඒ කාලේ අපි ගොඩක් පොඩියි. ඔහු ඒ කාලේ කොහොමහරි ෆිල්ම් එකක් කරනවා කියන සිහිනය අපේ ඔළුවට දැම්මා. චමින්ද ජයසූරිය අද වෙද්දි ෆාදර් හරහා එදා වේදිකාවේ  හිටපු සියල්ලම වගේ සිනමාවට අරගෙන ඇවිත් තියෙනවා. පූජන දන්දෙණිය කියන්නේ 2011 ජාතික තරුණ සේවා සභාවේ මාත් එක්ක එක බැච් එකේ හිටපු සගයෙක්. ඇත්තටම අද වෙද්දි ෆාදර් හරහා අපේ මිත්‍රයෝ ගොඩකට සිනමාවේ දක්ෂතා පෙන්වන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන චමින්ද අයියට. ෆාදර් එකේ මට තිබුණේ වාද බයිලාකරුවකුගේ චරිතයක්. ඒක පොඩි ස්ක්‍රීන් ටයිම් එකක් වුණත් මම මේකට මොකක් හෝ අලුත් වෙනසක් කරන්න ඕන කියලා හිතලා පරවියෙක් අරගෙන ගිහින් පරවියා තියාගෙන බයිලා කිව්වා. අද වෙද්දි ඒ දර්ශනයට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබිලා තියෙනවා. ඇත්තටම මට හරිම සතුටුයි. මොකද චමින්ද ජයසූරිය මේ වෙද්දි අපි හැමෝම එක්ක ජයග්‍රහණය කරලා ඉවරයි.


අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමු?


ඉදිරියේදි කලින් සඳහන් කරපු නිර්මාණවලට අමතරව, සාරංග මෙන්ඩිස්ගේ කල්පනා සිනමාපටය, චින්තන ධර්මදාසගේ අභිසාරී සිනමාපටය එන්න තියෙනවා. ඒත් එක්කම තව ටෙලි නාට්‍ය කිහිපයක් ඉදිරියේදි විකාශය වෙන්න තියෙනවා.

gossiplanka image 2
Previous Post Next Post