ගෙනිෂා නව පරපුරේ තාරකාවක්. ‘අම්මා මගේ’ ටෙලිනාට්‍යයේ සුවිශේෂ චරිතයකට ජීවය දෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ගෙනිෂා දන්දෙණිය, අලුත් වැඩ කිහිපයක නිරත වෙලා ඉන්න බව දැනගන්න ලැබුණා. ඉතින් ඒ තොරතුරු දැනගන්න අපි ගෙනිෂා සමග කතාබහ කළේ මේ විදියට.Sri Lanka Latest News
පසුගිය දවස්වල ගෙනිෂාගේ සුවිශේෂ රංගනයක් අපි දැක්කා. ඒ ගැන මුලින්ම කතා කරමු?
අම්මා මගේ ටෙලිනාට්‍යයේ මම රඟපාපු අදිති චරිතය ගැන ගොඩ දෙනෙක් කතාබහ කළා. විශේෂයෙන් කුඩා දරුවන්ගෙන් ලැබුණු ආදරය. මම ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාපු පළමු අවස්ථාව මෙයයි. මවක් වීමට අදිති සිහින දැක්කත් ඇයගේ ඒ සිහිනය බොඳව යනවා. ඒ පසුබිමත් එක්ක පවුලේ අයගෙන් සමාජයෙන් ආපු පීඩනය දරාගෙන මම චරිතයට උපරිම සාධාරණයක් කළා. තනූජා විජේවික්‍රම අක්කා තමයි අම්මා මගේ ටෙලිනාට්‍යය රචනා කළේ. ඇය හරහා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ.
එතකොට ඔබ කලාවට පිවිසුණේ නිරූපිකාවක් ලෙසද?
ඔව්. 2021 පැවැත්වුණු ශ්‍රී ලංකා නෙක්ස්ට් ටොප් මොඩ්ල් පැජන්ට් එකට මම සම්බන්ධ වුණා. ඒ කිරුළ දිනාගනිමින් තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. පසුව මම වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. මගේ ෆේස්බුක් මිතුරියන් හරහා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන් එකතු වෙලා කරපු ලේඩීස් ඔන්ලි යූටියුබ් ටෙලි චිත්‍රපටයටත් සම්බන්ධ වුණා.
ගෙනිෂාගේ මුල්ම ටෙලි අත්දැකීම?
කැමරාව මට නුහුරු දෙයක් නෙවෙයි. නමුත් මම චරිතයක් විදියට ප්‍රේක්ෂකයන් අතරට ආවේ සමීර හසුන් අධ්‍යක්ෂණය කළ ‘ඇස්’ ටෙලිනාට්‍යය හරහා. ඒ ටෙලිනාට්‍යයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ දමින්ද අයියා හරහා. පසුව කෝලම් කුට්ටම, මේක තමයි ජීවිතේ, සික්ස් පැක් නිර්මාණ සඳහා මම විවිධ චරිත රඟපෑවා.
ගෙදරින් පොඩි විරුද්ධත්වයක් තිබුණේ නැද්ද කලාවට සම්බන්ධ වෙනකොට?
මොකද නැත්තේ? තාත්තා තමයි තදින්ම විරුද්ධ වුණේ. මොකද එයාට ලොකු බයක් තිබුණා අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගනීවි කියලා. එහෙත් ක්ෂේත්‍රය ගැන අහලා තිබුණු දේවල් එක්ක තාත්තා ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් අම්මා තමයි මගේ දක්ෂතාවන් දැක්කේ. මගේ පළමු ප්‍රේක්ෂකයා ඇය. පාසලේදී මම නැටුමට ගොඩක් දක්ෂ නිසා අම්මා මගේ පිටුපස සෙවනැල්ලක් වගේ අදටත් ඉන්නවා.
මේ දවස්වල මොනවද ඔබේ අලුත් රංගන කටයුතු?
සුමිත් රත්නායකගේ ගෑනු පිරිමි මල් පලතුරු ටෙලිනාට්‍යය වගේම තවත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. ඒ ටෙලිනාට්‍ය විකාශය වෙනකම් මග බලාගෙන ඉන්නවා.
වසන්ත විතාරණගේ