ගීත පද රචිකාවියක්, තනු නිර්මාණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට ගායන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වි සිටින්නීය. අන්ජලී බණ්ඩාර නම් ඇය සමඟයි අද අපේ කතාබහ.
ක්ෂේත්‍රයට පැමිණි ගමන් මඟේ ඇරැඹුම කොතැනද?
ක්ෂේත්‍රයේ ගමන ආරම්භ වෙන්නේ පුංචි කාලයේදීම තමයි. පාසල් යාමට පෙර සිටම මම ගායන හැකියාවන් පෙන්නලා තියෙනවා.
ඔබේ ‘නාග ථූප‘ ගීතය මේ දිනවල ගොඩක් ජනප්‍රියයි. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඔව්. හිතුවෙවත් නැති විදිහට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍යයේත් ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. පෞද්ගලිකව ගීතයට අදහස් ඉදිරිපත් කරන පිරිසකුත් ඉන්නවා.
‘නාග ථූප‘රචනා වෙන්නේ කොහොමද?
මේ ගීතය ගැන මට අදහස එන්නේ ගිය අවුරුද්දේ මාර්තුවල. මේ කාලයේදිම මම මෙහි පද රචනය ආරම්භ කරනවා. ශ්‍රී ලංකාව සහ ලාංකේය බෞද්ධ දර්ශනය පිළිබඳව කතා පුවත් බොහෝ තිබුණත් මෑතකදී ගීත නිර්මාණය වෙලා තිබුණේ නැහැ. මමත් ගොඩක් කැමති ඒ වපසරියෙහි දිවෙන නිර්මාණයන්වලට. ඒ අරමුණුත් එක්ක තමයි නාග ථූප ගීතය නිර්මාණය වෙන්නේ.
ගීතය පුරාවට තියෙන ඔබේ අත්දැකීම් ගැනත් කතා කරමු?
අත්දැකීම් ගොඩාක් තියෙනවා. බෞද්ධ දර්ශනය සිනමාත්මක ගීතයකින් එළියට ගෙන ඒමට ගත් උත්සාහයක් නිසාම සාමාන්‍ය ගීතයකට වඩා විශාල මහන්සියක් වෙන්න වුණා. දිනකින් රූප රචනය කිරීමට නියමිත වූවත් වර්ෂාව නිසා එය දින දෙකකට කල්ගත වුණා. මේ වගේ විවිධ බාධා සමඟ තමයි ගීතය නිර්මාණය වුණේ.
‘ඩැක්කි පාලිය‘ ගීතයේ ජනප්‍රියත්වය පිළිබඳවත් කතා කරමු?
‘ඩැක්කි පාලිය‘ තමයි මගේ නිර්මාණ අතරේ මුලින්ම ජනප්‍රිය වුණු ගීතය. ජන ගී ආශ්‍රිත නිර්මාණයන් තුළින් මගේ නිර්මාණ එළියට එන්නේ ඒකත් එක්ක. එම ගීතයට හිමි වූ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම තමයි කිසිදු බයකින් තොරව ‘නාග ථූප‘ නිර්මාණය කළේ.
ඔබ හැකියාවන් රැසක් හිමි තරුණියක්. ඒ ගැනත් කියමු?
ගායිකාවක් විදිහට ක්ෂේත්‍රයට එන්න පෙර ඉඳන්ම මම ගී පද රචනය කළා. තනු නිර්මාණකරණයටත් යොමු වුණා. කුඩා කාලයේ සිටම ගීත රසවින්දනය, ගීත ඇසීම ඉතිහාස කතා, සුරඟන කතා නැරඹීම ශ්‍රවණය කිරීම නිසා වෙන්න ඇති මේ හැකියාවන් වර්ධනය වෙන්න ඇත්තේ.
ඔබේ නිර්මාණ අතුරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් හිමිවුණේ මොන නිර්මාණයටද?
මුලින්ම ප්‍රේක්ෂකයන් ආදරය කළේ මම ගායනා කළ රාණි පෙරේරා මහත්මියගේ ‘බැඳී ප්‍රේමේ තරම්‘ ගීතයේ remake එකට. ගායිකාවක් විදිහට මම ජනප්‍රිය වෙන්නේ ඒ ගීතයත් සමඟ. ඊට පස්සේ ගොඩක්ම ජනප්‍රිය වුණේ ඩැක්කි පාලිය සහ නාග ථූප ගීත.
ක්ෂේත්‍රය තුළ ඔබටක් අභියෝග තියෙන්න ඇති?
තමන්ට ආවේණික සංගීත රටාවක් ඔස්සේ තමන්ගේ නිර්මාණ ලස්සනට කරගෙන යන එක මම කිසිම වෙලාවක අභියෝගයක් විදිහට දකින්නේ නැහැ. කලා ක්ෂේත්‍රය තුළ මට එහෙම අභියෝගයක් තිබිලත් නැහැ. එහෙම තියේවි කියලා හිතෙන්නෙත් නැහැ.
මේ වගේ තවත් අලුත් නිර්මාණ ඉදිරියේදිත් දකින්න ලැබේවිද?
ඔව්. අලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කරමින් ඉන්නවා. ඉදිරියේදි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුළුවන්.
කලාවේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ශ්‍රී ලාංකේය ජනනාද මාලා සහ ජනශ්‍රැති ආශ්‍රයෙන් නව සංගීත සංයෝජනයත් සමඟ ලස්සන නිර්මාණ බිහි කර ලාංකේය කලාව, නාද මාලාව, ලංකාවෙන් පිටටත් ගෙනයෑම තමයි මගේ බලාපොරොත්තුව.
මෙතෙක් ආ ගමනේදී සහාය වූ පිරිසත් සිහිපත් කරමු?
කුඩා කාලෙදිම මාව සංගීතයට යොමු කළේ මගේ මවුපියන්. ඒ වගේම කතන්දර කියවන්න, පොත් කියවන්න හුරු කළේ මගේ කිරි අම්මා. මේ වෙද්දි මගේ සංගීත ගමනේ මාත් එක්කම ඉන්නේ සඳරු සත්සර. මේ හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා.