නිකිණි කුසුම්හි චුලක්ෂි මෙන්ම හිමේෂා දිල්කි මේ දිනවල රංගනයෙන් දායක වන ආලේ ටෙලි නිර්මාණයේ ෂයිනි ද සමාජ මාධ්‍යයේ බොහෝ සේ කතාබහට ලක්වන භූමිකාවකි. එමෙන්ම වේදිකාව දැන් ඇයට වෙනදාටත් වඩා හුරුපුරුදුය. පසුගියදා ඉන්දියාවේ පැවැති නවදිල්ලි ජාත්‍යන්තර වේදිකා නාට්‍ය උලෙළට සහභාගි වී පැමිණි හිමේෂා අප හා කතාබහට එක්වූවාය.
‘ආලේ’ නිසා ඔබ ගැන දැන් නැවතත් කතාබහට ලක්වෙලා. කොහොමද ඒ අත්දැකීම?
ආලේ ටෙලි නිර්මාණයේ ෂයිනි මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙනවා. මම මේකට සම්බන්ධ වෙන්නේ අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලකගේ ආරාධනයෙන්. තිර පිටපත් රචක සිමෙත් කවීජත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ෂයිනි මට ගොඩක්ම සමීප චරිතයක් කිවුවත් හරි. විවෘතව කතා කරන, කියන දේ මූණටම කියන, අසාධාරණය පේන්න බැරි තරුණියක්. සහේන්ගේ එක් පෙම්වතියක් විදිහට තමයි මං කතාවට සම්බන්ධ වෙන්නේ.
ෂයිනිට ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු?
ෂයිනි සහේන්ට ගහන දර්ශන පෙළක් මේ දවස්වල සමාජ මාධ්‍යයේ ගොඩක් වයිරල් වෙනවා. ඒත් එක්කම ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි. ඔයාට ලැබෙන්නෙම නපුරු කැරැක්ටර් නේද? කියලත් අහනවා. නිකිණි කුසුම්හි චූලා මිනිස්සුන්ට තාමත් මතකයි. සමහරු ෂයිනිට කමෙන්ට් දාල තියෙන්නෙත් චූලාගේ කෝණයෙන්. චූලා ආව කියන්නේ සහේන්ට හොඳට කන්න වෙනවා කියලා කමෙන්ට් දාල තිබුණා.
සහේන්ට ගහන්න ලැබුණු අවස්ථාව කොහොමද?
ඒක නම් හොඳටම කළා. ඇත්තටම ගැහුවා. ස්ක්‍රිප්ට් එකේ හැටියට මට ගහන්න තිබුණෙ නෑ. අනෙක් ගෑනු ළමයි ටික හෙමින් තට්ටු කරනවා මිසක් ගහන්නෙ නෑ. එක ගෑනු ළමයෙක්ගේ අතේ කුඩේකුත් තියෙනවා. ඉන්දික අයියත් කෑගහනවා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් අතදිගෑරලා හොඳට ගහන්න කියලා. මට දැන් බලාගෙන ඉන්නම බෑ. කෝ අයින් වෙන්න කියලා එයාලව පැත්තකට තල්ලු කරලා මේ වගේ කැත වැඩ කරන උන්ට මෙහෙම ගහලා හරියන්නෙ නැහැ කියලා සහේන් ඇදල අරන් මං හොඳටම ගැහුවා. ටීෂර්ට් එක ඉරුවෙත් මං. සීන් එකෙන් පස්සේ හැමෝටම හොඳටම හිනා. තිරපිටපත් රචක සිමෙත් අයියත් එතන හිටියා. ඔහුගේ විරුද්ධත්වයක් ආවෙත් නැහැ.
මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ ඔබත් හොඳම කැටගරියෙන් සම්මානිත වෙනවා?
ඔව්. මෙවර පැවැති 52 වැනි රාජ්‍ය නාට්‍ය උලෙළේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය තෙවැනි ස්ථානය විදිහට මං සම්මානයට පාත්‍ර වෙන්නේ The Trauma කෙටි නාට්‍යයේ රංගනය වෙනුවෙන්. සෝලෝ පෆෝමන්ස්වලට සම්මාන ලැබෙනවා හරිම අඩුයි. බලාපොරොත්තු නොවුණු මොහොතක ලැබුණු මේ සම්මානය මට ගොඩක් විශේෂයි. පළමු, දෙවන සහ තෙවන ස්ථාන විදිහට මෙවර උලෙළේ හොඳම කැටගරිය යටතේ සම්මාන ත්‍රිත්වයක් පිරිනැමීමත් විශේෂත්වයක් වුණා. රාජ්‍ය නාට්‍ය උලෙළක මේ වගේ සම්මානිත වුණු පළමු අවස්ථාවත් මේක.
මේ දවස්වල ඔබ ජාත්‍යන්තර වේදිකාවේත් දකින්න ලැබෙනවා නේද?
බුද්ධික දමයන්තයේ ‘මට සිහිනයක් ඇත’ වේදිකා නාට්‍ය ජාත්‍යන්තර වශයෙන් පවත්වනු ලබන වේදිකා නාට්‍ය උලෙළකට තේරිලා තිබුණා. ඉන්දියාවේ නවදිල්ලියේ පැවැත්වුණු ‘භාරත් රංග මහෝත්සවය‘ට සහභාගි වෙන්න ලැබීම මගේ ජීවිතේ ලොකුම භාග්‍යයක්. එහේ මිනිස්සුන්ට අපේ භාෂාව තේරුණේ නැති වුණත් මගේ බොඩිලැන්වේජ් එකෙන් කතාව තේරුණා කියල මට කිවුවා. ඒක මට මාරම සතුටක්. පළවෙනි දවස තිබුණේ නැෂනල් ස්කූල් එකේ. දෙවැනි දවස ඔඩීෂා ප්‍රාන්තයේ. නැෂනල් ස්කූල් එකේ ළමයි මට ගොඩක් හොඳ කමෙන්ට්ස් දුන්නා. එයාලගෙ ස්කූල් එකට ඇවිත් ඉගෙන ගන්න කියලත් කිවුවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලාවේදී උපාධිය කරල තියෙන නිසා මට ඒකට යන්න සුදුසුකම් තියෙනවා. එහේ මිනිස්සු කලාවට සලකන විදිහ දැක්කහම මට මාර විදිහට ආස හිතුනා.
ඒ සුවිශේෂී අත්දැකීම ගැන කතා නොකරම බෑනේ ?
ලෝකෙ දැනට පැවැත්වෙන විශාලතම සහ සුවිශේෂීම වේදිකා නාට්‍යය උලෙළ තමයි ‘භාරත් රංග මහෝත්සවය‘ නමින් පසුගියදා නවදිල්ලියේ පැවැත්වුණේ. ඉන්දීය රජය සහ නවදිල්ලි ජාතික නාට්‍ය පාසල එක්ව මෙම නාට්‍ය උලෙළ සංවිධාන කරල තිබුණේ 25 වැනි වරට. මෙම නාට්‍ය උලෙළට ලෝකෙම රටවලින් නාට්‍ය දහයයි තෝරගෙන තිබුණේ. ඒ අතරට අපේ රටේ නාට්‍ය දෙකක් තේරී තිබීමත් අපේ රටට විශාල ගෞරවයක්. බුද්ධික දමයන්තගේ ‘Dr. කිංගේ අන්තිම රාත්‍රිය’ සහ චාමික හත්ලහවත්තගේ ‘කොළඹ තොරණ‘ කියන වේදිකා නාට්‍ය දෙක. බුද්ධික දමයන්තගේ මට සිහිනයක් ඇත නාට්‍යයම තමයි Dr. කිංගේ අන්තිම රාත්‍රිය නමින් ජාත්‍යන්තර වේදිකාවට ගෙනියන්නේ. ඒක අමෙරිකන් පරිවර්තනයක්. සිංහලට පරිවර්තනය කරන්නේ චූලානන්ද සමරනායක. දවස් දහඅටෙන් පුහුණුවීම් කරල තමයි මංගල දර්ශනය පැවැත්වුණේ. පැය එකයි විනාඩි හතළිහක් වේදිකාවේ රංගනයෙන් දායක වන්නේ මාත් එක්ක මහේන්ද්‍ර වීරරත්න විතරයි.
ඔබේ ක්ෂේත්‍රයට පිවිසීම සිදුවෙන්නෙත් වේදිකාවෙන්?
ඔව්. විශ්වවිද්‍යාලයේදීත් ගොඩක්ම වේදිකාවට සම්බන්ධ වෙලා හිටියා. මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වෙන්නේ ජයලත් මනෝරත්නයන්ගේ ගුරුතරුවෙන්. ඊට පස්සේ ද විචර්ස්. පළමුවැනි වරට යෞවන නාට්‍ය උලෙළේ සම්මානයට පාත්‍ර වුණේ ඒක. මට සිහිනයක් ඇත කියන්නේ මගේ තුන්වැනි වේදිකා අත්දැකීම. පුංචි තිරයට මුලින්ම සම්බන්ධ වෙන්නේ තුෂාර තෙන්නකෝන් සර්ගේ රාවණා – 3 හරහා. ඒක තාමත් විකාශය වුණේ නැහැ. මගේ හැකියාව දැකලා ඔහුගේ නිකිණි කුසුම්හි චුලක්ෂි වෙන්න අවස්ථාව ලැබුණා. ආලේ ටෙලියට සම්බන්ධ වෙන්නේ ඊටත් පස්සේ. මේ දිනවල චිත්‍රපටයකටත් ආරාධනා ලැබිල තියෙනවා. ඒ වගේම අලුත් වේදිකා නාට්‍යයකටත් සම්බන්ධ වුණා. ඊට අමතරව රොෂාන් කුරුප්පුගේ සහ ඉන්දික ධර්මතිලකගේ ටෙලි නිර්මාණ දෙකක් ඉදිරියේදී විකාශය වීමට නියමිතව තියෙනවා.