ඇය නමින් ආශා දිල්රුක්‍ෂි. අවුරුද්දක් ගානෙ නාට්‍ය අරගෙන මාතලේ ඉඳන් කොළඹ එනව. ඒ වේදිකාවට තිබුණ ආදරය, ආසාව නිසා. අද ඇය නාට්‍ය හා රංගකලාව පිළිබඳ උපාධිධාරිනියක් වගේම දරු දැරියන් රැසකට මග පෙන්වන ගුරුතුමියක්.
ආශා, මේ දිනවල සාර්ථකව තිරගත වන ‘ෆාදර්’ චිත්‍රපටයේ සාමාජිකාවක්?
ඔව්, ඇත්තටම මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නෙ. මේ ෆිල්ම් එක ෂූට් කරල අවුරුදු එකහමාරක් විතර වුණානෙ. ඉතිං මගේ සීන් එක තියෙන්නෙ විනාඩි දෙකක වගේ කාලයක් වුණත් තිරගත වෙද්දි රසිකයන්ගෙන් ලැබුණ ආදරය ඉතාමත් ඉහළයි. ඒ වගේම ගොඩක් අය මං කවුද කියලත් හොයල තිබුණා.
ආරාධනය ලැබුණ මොහොතෙ දැනුණ හැඟීම මොන වගේද?
ඔයාට මේ විදිහේ චරිතයක් කරන්න තියෙන්නෙ කියල අධ්‍යක්‍ෂ චමින්ද ජයසූරිය අයියා කතාකරද්දි මට දෙතුන්වතාවක්ම කිව්වා. මේ චිත්‍රපටයේ විශේෂත්වය වෙන්නෙ පුංචි චරිතයකට වුණත් තෝරාගෙන තිබුණෙ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්. ඒ අතරට මාවත් තෝරාගැනීම ගැන ලොකූ- සතුටක් ඇති වුණා, ඒ වගේම බයක- ුත් දැනුණා මට කරගන්න පුළුවන් වෙයිද කියල.
චරිතය අභියෝගයක් වුණා?
සෞම්‍ය සර්ගෙ පටන් බිමල් අයිය වගේ ප්‍රබල කාස්ට් එකක් මේ සඳහා තෝරාගෙන ඉන්නව කියල මම දැක්ක. ඉතිං ඒ අතර මමත් මගේ චරිතය හරියටම කරන්න ඕන නිර්මාණයට හානියක් නොවෙන්න. විශේෂයෙන්ම චරිතය ගැන මට දැනුණෙ ලොකේෂන් එකට ගියාම. එක සීන් එකක් තිබුණා වන් ටේක් ගන්න. එහෙම බැරි වුණොත් ගොඩක් අය අපහසුතාවට පත්වෙනව. හිතට බයක් දැනුණත් වන් ටේක් එක ගන්න මට පුළුවන් වුණා. ඒ වගේ අභියෝග ගොඩක් තිබුණා මගේ චරිතය පොඩි වුණාට.
පූජනගෙ ප්‍රතිචාරය කොහොමද?
අපි ඉස්සර වේදිකා නාට්‍ය කරද්දි පූජන අයියා දැකල තියෙනව. නමුත් ෂූට් එක වෙලාවෙ තමයි අපි කතාබහ කළේ. ඒ වගේම ඔහු තමයි මට මුල්ම කමෙන්ට් එක දුන්නෙ. ඒකෙ කියල තිබුණෙ ‘නංගි මම ඩබින් එකට ගියා. ඔයා ලස්සනට වැඩේ කරල තිබුණා. ඔහොම යං... ඔහොම යං... කියල.
මේ වනවිට ලැබුණ ප්‍රතිචාර අතරින් වඩාත් දැනුණෙ කොතැනද?
මම චිත්‍රපටයේ ප්‍රිමියර් එකට වගේම ඩිස්කෂන් එකටත් සහභාගි වුණා. නව වැනිදා පටන් තිරගත වෙන්න පටන්ගත්තට පස්සෙ සතියක් දෙකක් විතර යනකොට ෆේස්බුක් එකේ පෝස්ට් එකක් යනව, මේ වගේ පොඩි වෙලාවක් ඇතුළත චරිතය හොඳින් කරන මෙයා කවුද කියල. ගොඩක් අය ඒකට කමෙන්ට කරලත් තිබුණා. ඒ වෙලාවෙ මට දැනුණා මම චරිතයට සාධාරණයක් කරල තියෙන නිසා නේද මං ගැන හොයන්නෙ කියල. ඇත්තටම ඒක තමයි මට ගොඩක්ම දැනුණෙ.
‘ෆාදර්’ තවත් නිර්මාණවලට ආරාධනා ගෙනාවද?
ඔව්, චිත්‍රපටයකට ලැබුණ ආරාධනය දැන් සාකච්ඡා මට්ටමේ තියෙනව. ඒ වගේම තවත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිල තියෙනව. මේ අවස්ථාවන් මට ලැබෙන්නෙ ‘ෆාදර්’ එකෙන් පස්සෙ.
පසුගිය කාලයේ සම්බන්ධ වුණ නිර්මාණ ගැන කතා කළොත්?
මුලින්ම මම 2019 අවුරුද්දෙ නිමල් රත්නායක මහත්මයා අධ්‍යක්‍ෂණය කළ මැටි කඩොලු’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක විකාශය වුණේ ජාතික රූපවාහිනියෙ. ඊළඟට සසංකාරා ටෙලි නාට්‍යයට.
මාතලේ ඉඳන් කොළඹ ආපු ගමන මොන වගේද?
2011 අවුරුද්දෙ ඉඳන් මම වේදිකාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනව. රාජ්‍ය නාට්‍ය උළෙලට, යෞවන නාට්‍ය උළෙලට අවුරුද්දක් ගානෙ අපි මාතලෙන් නාට්‍යයක් ගේනව. නමුත් විශ්වවිද්‍යාලෙදි තමයි මම නාට්‍ය හා රංගකලාව විෂයයක් විදිහට හදාරන්නෙ. කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු අවුරුදු හතර පුරාවට නාට්‍ය එක්කම තමයි කාලය ගෙවුණෙ. පශ්චාත් උපාධියත් නාට්‍ය හා රංගකලාව විෂයයෙන්ම හැදෑරුවා.
ඉදිරි ගමන ගැන අදහස මොන වගේද?
ලේසි නැහැ ඉතිං. ඉස්සර නාට්‍ය උණක් තිබුණ නිසා ඒවා බලන්න ගිහින්ම ක්‍ෂේත්‍රය තුළ ගොඩක් දෙනෙක්ව මම හඳුනනව. නමුත් මම ගොඩක් දෙනෙක් දන්න චරිතයක් නෙමෙයි. ඒ වුණත් බලාපොරොත්තුවෙන් ඉන්නව ඉදිරියේදි වැඩ ටිකක් කරන්න.
ඔබ රංගන ශිල්පිනියක් වගේම ගුරුවරියක්. කොහොමද ක්‍ෂේත්‍ර දෙකක් බැලන්ස් කරන්නෙ?
ඔව්, ඒක ටිකක් අමාරු වැඩක්. මං හිතනව බැලන්ස් කරගෙන යන්න පුළුවන් වෙයි කියල. ඒ වෙනුවෙන් මගේ පාසලේ විදුහල්පතිවරයා උපරිම සහයෝගයක් මට ලබාදෙනව.
‘ෆාදර්’ නරඹපු අත්දැකීම මොන වගේද?
අම්මෝ... මුලින්ම බැලුවාම ඒක මාරයි. ළඟදි දවසක තුන් වැනි වතාවටත් බැලුවා. පළමු වතාවෙ බලපු හැඟීම මට ඒ විදිහටම දැනුණා.
ක්‍ෂේත්‍රයේ අයගෙන් ලැබුණ සහයෝගය මොන වගේද?
ඇත්තටම ෂූටිං කරන අවස්ථාවක වුණත් a එකේ අයගෙන් මට ඉතාමත් හොඳ සහයෝගයක් ලැබිල තියෙනව. ඔවුන් දකින අඩුපාඩු පෙන්නල දීල තියෙනව. ඒ වගේම සමස්තයක් විදිහට ගත්තාම කලා ක්‍ෂේත්‍රයේ අය ගොඩක් මට උදව් කරල තියෙනව.
ඔබේ හීනයක්ද අද සැබෑවෙලා තියෙන්නෙ?
රඟපාන්න අසාවකුත් තිබුණා. නමුත් මගේ කැමැත්ත වුණේ ටීචර් කෙනෙක් වෙන්න.
‘ෆාදර්’ ආශාගෙ ජීවිතේ හැරවුම් ලෂ්‍යය වුණා?
ඔව්, අනිවාර්යයෙන්ම. ඒක මට කවදාවත් අමතක කරන්න බැහැ. අදටත් මට ලැබෙන මැසේජ් වලින්, කෝල්ස් වලින් ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ආදරය මට වචනවලින් විස්තර කරන්න බැහැ.
මහේෂ් එදිරිසිංහ