RFCC 2026 Celebrity Calendar Launch එක මෙවරත් වෙනස්ම මුහුණුවරකින් කොළඹ ‘ටාජ් සමුද්‍රා’ හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. Raffealla Fernando වසර 14 ක් පුරාවට අඛණ්ඩව පවත්වාගෙන ආ මේ කාර්යය ගැන ඇයත් එක්ක ‘මීවිත’ පුංචි සංවාදයක පැටළුණා.
RFCC 2026 Celebrity Calendar Launch එකට මෙදා සැරේ ලැබුණේ මොන වගේ ප්‍රතිචාර ද?
මාර හොඳ ප්‍රතිචාර ටිකක් ලැබුණා. හැමෝම කිව්වා දැනට දැකපු හොඳම ක්ලැන්ඩර් එක කියලා. හැමෝගෙම කැමැත්තක් තිබුණා මෙවර ඇති කරලා තිබෙන වෙනසට. ගොඩක්ම ප්‍රතිචාර ලැබුණේ කාස්ට් එකට.
මෙවර වෙනස්ම කන්සෙප්ට් ටිකක් අරගන්න හිතුවේ ඇයි?
අපේ ක්ලැන්ඩර් එක කොහොමත් කන්සෙප්ට් ක්ලැන්ඩර් එකක් නිසා මට ඕනෑ වුණා හොඳ මික්ස් එකක් ගේන්න. මට ඇත්තටම ගේන්න ඕනෑ වුණේ ඒ ආර්ටිස්ට්ගේ කැරැක්ටර් එකේ අපි නොදැකපු පැත්තක් තමයි. ඒක දුලීකා මාරපන වුණත් කුසුම් රේණු වුණත් කෞෂල්‍යා අක්කා වුණත් වෙනස්ම විදිහට තමයි මට අරගෙන එන්න ඕනෑ වුණේ. සාමාන්‍යයෙන් අපි හැම තිස්සේම ආර්ටිස්ට්ගේ දකින පැත්තක් තියෙනවානේ. ඊට වඩා වෙනස්ම දෙයක් තමයි මට ක්ලැන්ඩර් එකට ගේන්න ඕනෑ වුණේ.
ගියවරට වඩා ඉන්දියානු ශිල්පීන් රැසක් මෙවර ක්ලැන්ඩරයට එකතු කරගෙන තිබෙනවා?
ඇත්තටම මේ සැරේ ආර්ටිස්ට්ලා පස්දෙනෙක් අපිත් එක්ක එකතු වුණා. වැඩිම ප්‍රමාණයක් එකතු වුණේ මේ අවුරුද්දේ. ගිය අවුරුද්දේ දෙන්නෙක් සිටියා. ඊට කලින් වසරේ එක්කෙනෙක් හිටියා. මෙවර පහක් දක්වා ඒක වර්ධනය වෙලා තිබෙනවා. අපි ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් ගිහිල්ලා වැඩ කරනවා අපි ලංකාවේ අය විදිහට ගිහිල්ලා තමයි ඉන්ටර් නැෂනල් වැඩ කරන්නේ. හැබැයි ඉන්ටර්නැෂනල් කට්ටිය ලංකාවේ කොලබරේෂන් කරනවා හරි අඩුයි. ඉතිං මගේ කන්සෙප්ට් එක වුණේ RFCC එක ඇතුළේදී ඉන්ටර්නැෂනල් ආර්ටිස්ට්ලා ලෝකල් බ්‍රෑන්ඩ් එකත් එක්ක කොලබරේට් කරනවා කියන එකයි. මොකද ගොඩක් වෙලාවට වෙන්නේ ඒකේ අනෙක් පැත්තනේ. අපි වෙන රටකට ගිහිල්ලා ඒගොල්ලො එක්ක වැඩ කළොත් අපි ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් එකකට වැඩ කළා වෙනවා. මේකෙදි වෙන්නේ ඉන්ටර්නැෂනල් ආර්ටිස්ට්ලා ලෝකල් ප්‍රොජෙක්ට් එකක වැඩ කරනවා. ඒක තමයි ඉන්ඩස්ටි්‍රයක් විදිහට අපිට අරගෙන එන්න පුළුවන් දියුණුව. මොකද අපි පොඩ්ඩ පොඩ්ඩ හරි හීන දකින්න ඕනෑ ඉන්ටර්නැෂනල් මාර්කට් එකට යන්න. එතකොට ලංකාව ඔවුන්ගේ ඔළුවේ යම්තාක් දුරකට තැන්පත් කරන්න පුළුවන් වෙනවා.
රැෆෙල්ලාගේ හීනයත්, ග්ලෝබල් එහෙමත් නැතිනම් ඉන්ටර් නැෂනල් මාර්කට් එක ද?
මම ඇත්තටම ආසයි ග්ලෝබල් මාර්කට් එකෙත් ඉන්ටර්නැෂල් මාර්කට් එකෙත් වැඩ කරන්න. හැබැයි හීනයක් කියලම කියන්න බැහැ. මොකද ආර්ට් කියන්නේ කොහේට ගියත් ඒ දේ කතාබහට ලක්වෙන හොඳ දෙයක්. හැබැයි ඒක ඉන්ටර්නැෂනල් කියලම නැහැ. මට ලොකුම ආසාවක් තියෙනවා ලංකාවේ දෙයක් ඉන්ටර්නැෂනල් අරගෙන යන්න. දැන් මේ ඒකට තමයි අඩිතාලම දාල පාර කපාගෙන යන්නේ. RFCC හරහා කවදාහරි දවසක අපේ ආර්ටිස්ට්ලාට වෙන රටක වැඩ කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ලොකු දෙයක්. මොකද RFCC එකේ හිටපු ආර්ටිස්ට්ලාගේ පින්තූර දෙකකට ඉතාමත් ළඟකදී සම්මාන දෙකක් හම්බවුණා. එකක් UK වලින් අනෙක USA වලින්. ගිය අවුරුද්දේ ශලනි තාරුකාගේ පිංතූරයයි. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ගත්තු දිනක්‍ෂියි, ශලනියි ඉන්න පිංතූරයකට තමයි එහෙම සම්මාන දෙකක් ලැබුණේ. මම හිතන්නේ ඒකත් RFCC එකට හම්බවුණ හොඳ ඇගැයීමක්. ආර්ටිස්ට් කෙනෙක් විදිහට මට ඒක හරි වටිනවා මොකද ඒකත් ඉන්ටර්නැෂනල් මාර්කට් එකෙන් හම්බවෙන දෙයක්නේ.
14 වැනි කලාපය නිකුත් කරනකොට මොන වගේ අභියෝගයන්ට ද මුහුණ දුන්නේ?
මෙවර ආර්ටිස්ට්ලා 27ක් ඉන්නවා. ඔවුන් 27ක් එක්ක මාස එකහමාරක් වගේ කාලයක් ඇතුළත තමයි ෂූට් කරලා ක්ලැන්ඩරය එළිදැක්වූයේ. ආර්ටිස්ලා 27ක් එකතු කරගෙන මේ වගේ කන්සෙප්ට් ප්‍රමාණයක් කරනවා කියන්නේ ලේසි නැහැ. අනික හුඟක් කාර්යබහුල ආර්ටිස්ට්ලා. ඔවුන් සමග වැඩ කරලා මාස එකහමාරක් ඇතුළත අවසන් කරගන්න එක තමයි මට තිබුණ ලොකුම අභියෝගය.
අමේ වැඩේට ආර්ටිස්ට්ලාගෙන් පුදුමාකාර විදිහට සහයෝගයක් ලැබුණා. හැමෝගෙම එකතුවෙන් අපි හොඳ වැඩක් කරා කියලා හිතනවා.
මෙවර පිළිකා රෝගීන් වෙනුවෙන් ද ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා නේද?
ඇත්තටම ඒක මාස්ටර් කාඩ් ටේ්‍රල් ප්‍රොජෙක්ට් සහ මහේල ජයවර්ධන ඇතුළුව කරන ප්‍රොජෙක්ට් එකක්. මට ඒකට සහභාගි වෙන්න ලැබීම ගැනත් හුඟාක් සතුටු වෙනවා. මේක ඔවුන්ගේ තුන්වැනි ප්‍රොජෙක්ට් එක. එතකොට ඔවුන් තෝරගත්තු ප්ලැට්ෆෝම් එකක් තමයි RFCC කියන්නේ. RFCC එක ඇතුළේ ඔවුන්ට ඕනෑ වුණා මෙන්න මේ වගේ දෙයක් කරනවා කියලා දැනුම් දෙන්න. මමත් ඒකට ඔවුන් සමග පාට්නර් කෙනෙක් විදිහට සහභාගි වුණා.
මොකද මේ අවුරුදු 14 ටම මම කවදාවත් ක්ලැන්ඩර් එක විකුණලා නැහැ. මේ සැරේ මම ක්ලැන්ඩර් 500ක් ටේ්‍රල් ප්‍රොජෙක්ට් එකට දෙනවා. ඒ ටේ්‍රල් ප්‍රොජෙක්ට් එකේ ඩොනේෂන් එක හරහා හොස්පිටල් එකට ඩොනේෂන් එකක් ගන්න පුළුවන් වෙනවා. ඒක මගේ පැත්තෙන් වෙන දෙයක් නෙමෙයි මාස්ටර් කාඩ් පැත්තෙන් වෙන දෙයක්. ඒක මට පිළිවෙළට ලස්සනට කරන්න ඕනෑ වුණා. මහේල ඇතුළුව හැමෝගෙම අදහස වුණේ ක්ලැන්ඩර් එක හරහා අපි මෙහෙම දෙයක් කරමු කියලයි. මොකද ක්ලැන්ඩර් එකට සැලකිය හැකි පිරිසකගේ ආදරයක් තිබෙනවා. එතකොට මේ වගේ දෙයක් කතා කළහම ලොකු දෙයක් වේවි කියලා ඔවුන් හිතුවා. ඉතිං ඒ අදහස ඇතුව තමයි අපි ක්ලැන්ඩර් එකේ ඒ කොලබරේෂන් එකත් කරලා මහේලවත් ෆීචර් කළේ.
දිනේෂ් විතාන