මේ පුංචි රට ඇතුළේ පුංචි කාලේ ඉඳලා තමන් දකින හීන සැබෑ කරගන්න බැරිවෙනකොට ඉන්දියානු සාගරයෙන් එපිට තියෙන ලෝකයට ගිහින් තමන්ගේ හීන සැබෑ කරගන්න චරිත කොතරම් නම් ඉන්නවාද?. තමන්ගේ රටේ සැබෑ කරගන්න බැරිවුණු සිහින ලංකාවෙන් එපිටට ගිහින් සැබෑ කරගත් දක්ෂයන් දෙදෙනෙක් ගැන තමයි අද අපි මේ කතාබහ කරන්න හිතුවේ. එක්කෙනකුගේ නම මනෝරාජ් සිල්වා. අනෙක් තරුණයා මනීෂ ජයවර්ධන. මනීෂ කියන්නේ ලංකාවේදී ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැළී ඉඳලා උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් 2019දී ප්‍රංශයට ආව කෙනෙක්. ලංකාවේදී විනෝදාංශයක් විදියට DJ කරපු මනීෂ, ප්‍රංශයේ ඉගෙනුම ලබන ගමන් DJ කරනවා. ‘මනී න්’ කිව්වම ප්‍රංශයේ ඉන්න බොහෝ දෙනෙක් මේ වෙද්දී ඔහුව දන්නවා. ඒ එක්කම මනෝරාජ් සිල්වා, ඔහු ප්‍රංශයට ඇවිත් තියෙන්නේ 2012 දී. ප්‍රංශයේ හෝටල් ක්ෂේත්‍රයේ චෙෆ් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. මේ වෙද්දී ප්‍රංශයේ ඔහුගේම සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒ තමයි ‘බ්ලැක් බොක්ස්’ සංගීත කණ්ඩායම. මනෝරාජ් කියන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්ය වාදක අංශයේ ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් විදිහට අවුරුදු නවයක කාලයක් රාජකාරි කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා මේ දෙන්නටම කලාව ගැන තියෙන දැක්ම, ආශාව එකයි. ඒ හේතුවෙන් මේ දෙන්නා එකතුවෙලා අලුත්ම වැඩක් ආරම්භ කරනවා. එනම්, Sl Raj Music Paris ආයතනය ආරම්භ කරනවා. මේ තුළින් ඔවුන් වෙනස්ම විදිහේ කලා වැඩකටයුතු කිහිපයක්ම සිදුකරනවා. ඔවුන් ආපු මේ ගමන්මග ගැන මනෝරාජ් සිල්වා සහ මනීෂ ජයවර්ධන සමග පුංචි කතාබහක නිරත වුණා.
ප්‍රංශයට ආවට පස්සේ ද මේ මිතුමදම ඇති වුණේ?
ඔව්. ප්‍රංශයේදී තමයි අපි දෙන්නගේ හමුවීම සිදු වුණේ. ඒක ඇත්තටම හොඳ හමුවීමක්. එකම නගරයේ සහ එකම පාසලක ඉගෙන ගත්ත දෙන්නෙක්. ඒනිසා මිතුදමට එහා ගිය සහෝදර බැඳීමක් විදිහට තමයි අපි දැන් වැඩ කරන්නේ.
එතකොට ලංකාවේ කොයි පළාතේ ද ජීවත් වුණේ? පාසල් ගියේ කොහේද?
අපි දෙන්නම පානදුර නගරයේ. දෙන්නම ඉගෙන ගත්තේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ. මේ වෙද්දීත් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ සංගීත අංශය වෙනුවෙන් සෑහෙන සහයෝගයක් අපි දෙන්නා ලබා දෙනවා. අපි විශ්වාස කරනවා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ගත්ත දැනුම සහ අත්දැකීම් අද අපේ ගමනට ශක්තියක් වෙනවා කියලා.
මුලින්ම අපිට ඔය දෙන්නා ගැන විස්තර ටිකක් කිව්වොත්?
මම මනීෂ ජයවර්ධන. මම ප්‍රංශයට ආවේ 2019 වර්ෂයේදී. දැන් අවුරුදු හයක කාලයක් ප්‍රංශයේ ජීවත් වෙනවා. ලංකාවේදී මම ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැළී හිටියේ. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රංශයට ආවේ. මම තාමත් මෙහෙ අධ්‍යාපනය ලබනවා. ලංකාවේදී මම විනෝදාංශයක් විදිහට DJ කළා. ප්‍රංශයේත් මම DJ කරනවා. මනී J කිව්වම ප්‍රංශයේ ඉන්න බොහෝ දෙනෙක් මාව දන්නවා.
මම මනෝරාජ් සිල්වා. මම ප්‍රංශයට ආවේ 2012දී. මේ වෙද්දී අවුරුදු දාහතරක කාලයක් ප්‍රංශයේ ජීවත් වෙනවා. ප්‍රංශයේ මම හෝටල් ක්ෂේත්‍රයේ චෙෆ් කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඒ අතර මගේම සංගීත කණ්ඩායමක් වන බ්ලැක් බොක්ස් සංගීත කණ්ඩායම සමග සංගීත කටයුතුවල නිරත වෙනවා. මම ලංකාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්ය වාදක අංශයේ ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් විදිහට අවුරුදු නවයක කාලයක් රාජකාරි කටයුතු කර තිබෙනවා.
අපි කතා කළොත් Sl Raj Music Paris හි ආරම්භය ගැන?
ප්‍රංශය වගේ රටක අපි ආයතනයක් පටන් ගනිද්දී නීතිමය පැත්ත පිළිවෙළකට තියෙන්න ඕනෑ. බ්ලැක් බොක්ස් සංගීත කණ්ඩායම සහ මනී න් කියන නම හැමෝම දන්නා බ්‍රෑන්ඩ් එකක් වුණා. ඒ හරහා අපි වැඩ කරගෙන යද්දී අපිට කම්පැනි එකක අවශ්‍යතාවක් මතු වුණා. ඒ හරහා තමයි අපි 2022 දී Sl Raj Music Paris නමින් ආයතනයක් ආරම්භ කළේ.
මොන වගේ ඉවෙන්ට්ස් ද මේ වෙනකම් සංවිධානය වුණේ?
මේ වෙද්දී අපි ඉවෙන්ට්ස් සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා. මුලින්ම කළේ රෝයල් ඩිනර් ඩාන්ස් ෂෝ එක. ඒක ප්‍රංශයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට නැවුම් අත්දැකීමක් වුණා. ඊට පස්සේ ලංකාවේ ජනප්‍රිය ගායකයකු වන අමල් පෙරේරා සමග 2023 දී හා 2025 දී කෝකිල පවන් සමග වැලන්ටයින් ඩිනර් ඩාන්ස් ෂෝ එක කළා. ඒ එකක්ම බ්ලැක් බොක්ස් සංගීත කණ්ඩායම සහ මනී J 2024 දී අපේ රන්ජන් රාමනායක සහ චිත්‍රාල් සෝමපාලට සංගීතයෙන් සහයෝගය ලබා දුන්නා. ග්ලෝබල් අවුරුදු කුමරා සහ කුමරිය තරගයක් අපි 2025 දී සංවිධාන කළා. අන්තිමට කළේ 2026 දී Voice of Paris 40 puls නමින් තරගයක් සංවිධානය කිරීම. විශේෂයෙන්ම කියන්න ඕනේ ඒකත් එක්කම මියුසික් කරපු පරණ අයට සම්මාන උළෙලක් සංවිධාන කළා. ඉතාම කෙටි කාලයක් තුළ අපිට හැකිවුණා ප්‍රංශයේ ෆොරිනාම් එකත් එක්ක සෘජුව සම්බන්ධ වෙලා ඒ අයගේ සියලුම ඉවෙන්ට්වලට සංගීතය සපයන්න, Sl Raj Music Paris ආයතනයට.
විදෙස් රටක ඉඳන් රැකියාවක් කරන ගමන් මේ දේවල් කරන්න කාලය තියෙනවද?
කාලය තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. නමුත් කාලය කොහොමහරි කළමනාකරණය කර ගැනීම හරහා සාර්ථක ඉවෙන්ට්ස් කරන්නට හැකි වීම තමයි අපි ලබපු ජයග්‍රහණය. ඒ එක්කම මේ වෙද්දී ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වගේම ප්‍රංශ වැසියන් පවා අපි එක්ක එකතුවෙලා ඉන්නවා. එයත් අපි ලබපු විශාල ජයග්‍රහණයක්.
මේ ගමන මේ විදිහට එන්න සහයෝගය දුන්නු අය ඇති?
අනිවාර්යෙන්ම. අපි මේ Sl Raj Music Paris නමින් ආයතනය පටන් ගත්තු දවසේ ඉඳන් අපි එක්ක ඉන්න අපේම සහෝදරයන් පිරිසක් ඉන්නවා බ්ලැක් බොක්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයන්. නම් විදිහට කියන්න අමාරුයි. මොකද වචනයකින් හරි අපිට දුන්නු ශක්තිය නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. ඒ හැමෝටම කෘතවේදී වෙන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
දිනේෂ් විතාන