අපේ කාලයේ රංගන ප්‍රතිභාව එසේත් නැතහොත් සිංහල සිනමාවේ දෙවන ස්වර්ණමය යුගයේ වීරයා, මේ ඕනෑම නමකින් ඔහුව හැඳින්වීමට තරම් ප්‍රතිභාවක්, ආකර්ෂණයක්, ප්‍රේක්ෂක ආදරයක් ඔහු සතුය. දශක කිහිපයක් මුළුල්ලේ ක්‍රමිකව ගොඩනැඟුණු ගමනක කූටප්‍රාප්තියට ළඟා වෙමින් 2026 වර්ෂයේ ආරම්භයත් සමඟම ෆාදර් හි ඕ. අයි. සී. ධම්මික වූ ඔහු මේ වන විට හරිස්චන්ද්‍ර ලෙසින් ධර්මයුද්ධය 2 චිත්‍රපටයට ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත කරවීමට දායකත්වය ලබා දෙමින් සිටී. ඔහු අන් කවරකුවත් නොව, දක්ෂ, නිරහංකාර ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි නම් වේ.
ප්‍රේක්ෂක පැසසුම් මැද ධර්මයුද්ධය 2 විකාශය වෙන මේ මොහොතේ හරිස්චන්ද්‍රට ලැබෙන ආදරය ගැන මුළින්ම කියලා ඉමු?
මං හිතන්නේ චරිතයක් වෙනුවෙන් ලැබුණු වැඩිම ප්‍රතිචාරය තමයි මේ මොහොතේ හරිස්චන්ද්‍ර කියන ධර්මයුද්ධය 2 චිත්‍රපටයේ මගේ චරිතය සඳහා මට ලැබෙන්නේ. විශේෂයෙන්ම මේ නිර්මාණය බාරගත්ත දවසෙ ඉඳලම මම කියපු දෙයක් තමයි මට ඕන කරලා තිබුණේ අපේ අසහාය රංගධර ජැක්සන් ඇන්තනී මහත්මයාගේ චරිතයට උපරිම ගෞරවයක් ලබාදෙන ආකාරයට හරිස්චන්ද්‍ර ප්‍රතිනිර්මාණය කරන්න ඕන කියන එක. මම ගත්තු ඒ උත්සාහය විචාරශීලීව බලලා අගය කරන අය ගොඩක් ඉන්නවා. මම මේකට එකතු කරපු හැඩය, මේ චරිතය අනිත් භාෂාවලින් නිරූපණය කරපු නළුවන් සියලු දෙනාගෙන් වෙන්කොට අපේ පොළොවට, අපේ හැඟීම් දැනීම්වලට කොච්චර දුරට යා කළාද කියන එක නිසාම ඉතාම විචාරශීලී පැසසුම් ලැබෙනවා. ඉතින් ඇත්තටම රංගන ශිල්පියකුට ලබන්නට පුළුවන් ඉහළම සතුට තමයි ප්‍රේක්ෂකයන්ගේ තියෙන ආදරය. මේ මොහොත මම ඒ දෙය ඉතාමත් සතුටින් භුක්ති විඳින කාලයක් කියලා කියන්න ඕන. අධ්‍යක්ෂතුමා හා නළු නිළියන් ඇතුළු චිත්‍රපටයේ සියලුම දෙනාට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.
වෙනම අනන්‍යතාවකින් හරිස්චන්ද්‍රව ගොඩනැඟීම පහසු නොවෙන්න ඇති ඒ ගැනත් කියමු?
මම නිරන්තරයෙන්ම උත්සාහ ගත්තේ ඒ අසහාය රංගධරයාට කරන්න පුළුවන් උපරිම ගෞරවය කරන්නේ කොහොමද කියන එක. මුලින්ම චරිතය භාරගනිද්දි මට යම් විධියකින් අභියෝගයක් තිබුණා, කොහොමද ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය නොබිඳෙන ආකාරයෙන් චරිතය ගොඩනඟන්න කියන එක සම්බන්ධයෙන්. මෙය ප්‍රේක්ෂකයන් තදින් වැලඳගත් නිර්මාණයක් නිසා කණ්ඩායමක් විධියට අපි හැමෝටම ලොකු වගකීමක් තිබුණා. ඒ අභියෝගය අපිට ජයගන්න පුළුවන් වුණා කියලා හිතෙනවා. හරිස්චන්ද්‍රගේ චරිතය ඇතුළේ මං හැම වෙලාවේම එදා හිටපු ජවසම්පන්න ආදරණීය ජීවිතය හරි සැහැල්ලුවෙන් ගත කරපු තාත්තා වෙනුවට අවුරුදු ගණනාවක් ගත වෙනකොට තමන්ගේ දරුව උස්මහත් වුණත්, පෙර තිබුණු ඒ ආදරය, රැකවරණය, පවුල ඇතුළේ තිබුණ ඒ සමඟිය ඒ බැඳීම් එහෙමම තියාගෙන ඊට වඩා චුට්ටක් වෙන විධියක රිදම් එකක්, වෙන විධියක පාලනයක් සහිත හරිස්චන්ද්‍ර කෙනෙක් ආරෝපණය කරන්නට උත්සාහ කළා. මම විතරක් නෙමෙයි අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමේ හැමෝම එකම අදහසකින් වැඩ කරපු නිසා මට ඒ චරිතය ගොඩනඟන්නට අවස්ථාව ලැබුණා. සංගීතය ගැන විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ හැම දෙයක් එක්කම තමයි ප්‍රේක්ෂක ආදරය ලබමින් අති සාර්ථකව තිරගත වන්නට හේතු වුණේ. අසීරු කාර්යයක්. හැබැයි අපි එකතු වුණොත් අපේ තියෙන හැකියාවන් නිසි අයුරින් අපිට මුදාහරින්න අවකාශය ලැබුණාම අවසානයේ ඔය වගෙ ප්‍රතිඵලයක් තමා ඇතිවෙන්නේ.
මේ iconic තාත්තාව ගොඩනැඟීම මොන වගේ අභියෝගයක් වුණාද?
මා හිතන්නේ ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ තාත්තා කෙනෙක්ට ලෝකයක් එක්ක වුණත් තරග කරන්න, ලෝකයක් එක් වුණත් යුද්ධ කරන්න පුළුවන් කියන කාරණය මේ මොහොතටත් මේ මහ පොළොවටත් අදාළ, අපි හැමෝටම අදාළ කාරණයක් වගේම තමයි අපේ සාම්ප්‍රදායික පරිසරයේ අපිට තිබුණු අත්දැකීම් තමයි තාත්ත කෙනෙක් එක්ක තිබෙන සම්බන්ධයෙන් ටිකක් දුරස්ථයි වගේ දැනීම. අපි සාම්ප්‍රදායිකව අපි තාත්තව තියලා තියන්නේ, බොහොම ලොකු ගෞරවයක් එක්ක. හැබැයි ජීවිතය තීරණාත්මක සන්ධිස්ථානවලදී තාත්තගේ මැදිහත්වීම, තාත්තගේ හයිය, තාත්තගේ ස්පර්ශය කියලා කියන්නේ නොදැනුවත්ව ඕනම විශාල හයියක් ලබා දෙන දෙයක්. ඒ තරම් හයියක් මං හිතන්නේ වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නෑ කියලා. මෙවැනි තාත්තා කෙනෙක්ව සියුම් නිර්මාණය කරනවා කියලා කියන්නේ ඒක අසීරු දෙයක්. ඔහු හැමෝගෙම තාත්තා වෙන්න ඕනේ. හැමෝටම දැනෙන තාත්ත කෙනෙක් වෙන්න ඕන. iconic තාත්ත කෙනෙක්ව ගොඩනඟනවා කියලා කියන්නේ විශාල කාර්යයක්. ඉතින් මේ මොහොතෙත් මගේ අවුරුදු විස්සකට ආසන්න කාලයක හෙමින් හෙමින් එකතු කරගත්ත සියලු අත්දැකීම් සහ අරුණ ජයවර්ධන සහ අපි කණ්ඩායම මේ හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක් විධියට තමයි ආදරණීය දරුවෝ වෙනුවෙන් යුද්ධ කරන්න පුළුවන් තාත්තා කෙනෙක් නිර්මාණය කරන්නට හැකි වුණේ.
ප්‍රවීණ ඉන්දියානු නළු මෝහන්ලාල් ඔබේ රංගනය ඉතාමත් ඉහළින් අගය කරලා තිබුණා ඒ ගැනත් කතා කරමු?
මට ලැබුණු විශාලම වටිනාකමක් තමයි ප්‍රවීණ ඉන්දියානු නළු මෝහන්ලාල්ගේ මුණගැසීම. එතුමාගේ මට තිබුණු ඒ ගෞරවය, පිළිගැනීම සහ ඔහුගේ වචන මාව ගොඩක් දිරිමත් කරා වගේම මාව ගොඩක් ශක්තිමත් කළා. විශේෂයෙන්ම ඔහු හරිම අව්‍යාජ මනුස්සයෙක්. ඒ වගේම කෙනෙක්ගේ දක්ෂතාව අගය කරන කෙනෙක්. තවත් කෙනකුට උදවු කරන්නට ඉදිරිපත් වන කෙනෙක්. ඒ අගය කිරීම ගැන මට තියෙන්නේ පුදුම සතුටක්. මොකද මම ඔහුව මුණගැහෙන්න යනකොට අන්තර්ජාලය ඔස්සේ මගේ චිත්‍රපටවල පූර්ව ප්‍රචාරක පට නරඹලා, මගේ ගැන තිබුණ ලිපි කියවලා, ඒ හැම දෙයක්ම වගේ ඔහු බලලා තිබුණා. ඉතින් මම ගිහිල්ලා මගේ ගැන කියන්න හදනකොට එතුමා මට සඳහන් කළා මම මේවා දන්නවා කියලා. ඉතින් ඒක රංගන ශිල්පියෙක් විධියට මට ලැබිච්ච සුවිශේෂී අවස්ථාවක්. මමත් සිරස කණ්ඩායමත් නුදුරේදීම ඔහු සමඟ චිත්‍රපටය නරඹන්නට කේරළයට යෑමට සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔහු සමඟ චිත්‍රපටය නරඹන්නත් සජීවීව ඔහුගේ ප්‍රතිචාර කුමක්ද කියලා දැනගන්නත් මම ඉතාම නොඉවසිල්ලෙන් ඉන්නවා. මම හිතන්නේ ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් ඉතාමත් නිවැරැදියි.
OIC ධම්මික විධියට ඔබේ විශිෂ්ට රංගනය ගැනත් කියමු?
ඕනෙම රංගන ශිල්පියෙක්ට, ශිල්පිනියකට හම්බවෙන විරල සහ දුර්ලභම අවස්ථාවක් තමයි ප්‍රධාන ධාරාවේ චිත්‍රපට දෙකක් එකම කාල වකවානුවක තිරගත වීම කියන එක. මොකද හැම වෙලාවේම එකකට එකක් වෙනස් චරිතයක් තුළින් ප්‍රේක්ෂකයන් හමුවට යන්න පුළුවන් නම් ඒ රංගන ශිල්පියා සම්බන්ධයෙන් ඒ මොහොතේදී ප්‍රේක්ෂක ජනතාවට හොඳ තක්සේරුවක් ලබා දෙන්න පුළුවන්. ඔහු මොන වගේ නළුවෙක්ද? ඔහුගේ හැකියාව කොයි වගේද? කියන එක සම්බන්ධයෙන් ඔවුන්ට තක්සේරුවකට එන්න පුළුවන්. ඒ අවස්ථාව මට 2026 වසර ආරම්භයත් එක්කම ලැබුණා. ෆාදර් චිත්‍රපටයේ ඕ. අයි. සී. ධම්මික සහ ධර්මයුද්ධයේ හරිස්චන්ද්‍ර කියන්නේ ෆාදර් සහ ගෝර්ඩ් ෆාදර් වගේ එකිනෙකට වෙනස් චරිත දෙකක්. බලාපොරොත්තු නොවුණු විධියට මේ දෙකම එකම කාලවකවානුවක තිරගත වෙනවා. මම කොයි තරම් දුරට ධම්මිකව ප්‍රතිනිර්මාණය කරලා තිබෙනවාද කියන එක දැනෙන්නෙම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ඒ ප්‍රතිචාර නිසා. එහි ගෞරවය අධ්‍යක්ෂ චමින්ද ජයසූරියට හිමිවෙනවා. ඔහු කාලයක් පුරා මේ පිළිබඳව විශාල කරුණු රාශියක් එක් රැස් කරගෙන මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක හිටපු කෙනෙක්. අපිට තිබුණේ ඇත්තටම අවශ්‍ය විධියට චරිතය නිරූපණය කරන්න පමණයි. ඇත්තටම මම හිතනවා මගේ රංගන ජීවිතයේ ප්‍රේක්ෂකයන්ට මතක හිටිනම චරිතයක් බවට ධම්මික පත්වෙලා හමාරයි කියලා.
කර්මාන්තයක් විධියට අපේ සිනමාව ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ට ළංවෙන දවසක් ගැන හැමෝම මඟ බලනවා. ඒ සිහිනය මෑතකදි හෝ ඉටු වේවිද?
අපේ නිර්මාණ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයාට ළංවෙන දවස් වැඩි ඈතක නැහැ කියලා අපිට නිරන්තරයෙන් හිතන්න ඉඩ සලස්වන කාරණා තමයි දේශීය නිර්මාණවල ගුණාත්මක තත්ත්වය. විශේෂයෙන්ම ආයු වගේ චිත්‍රපටයක් ලෝකයේ කොහේ වුණත් ප්‍රේක්ෂකයන්ට වැලඳගන්න, රස විඳින්න. පුළුවන් ඔවුන්ගේ ආදරය, ආකර්ෂණය හිමි වෙන ආකාරයේ ඒවා. ඊට අමතරව නෙළුම් කුළුණ, වාලම්පුරි, වගේ චිත්‍රපට වගේ ඒවාත් හොඳ උදාහරණ. මම හිතන්නේ අපි ඉතාමත් හොඳ සම්ප්‍රාප්තියක ඉන්නේ. මොකද දේශීය වශයෙන් නිෂ්පාදනය කරන, අධ්‍යක්ෂණය කරන චිත්‍රපට පවා ඉතා උසස් මට්ටමේ තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා අපි ජාත්‍යන්තර තලයේ ප්‍රේක්ෂකයාට ළං වෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලා.
අවසන් වශයෙන් ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කරමු?
අවසාන වශයෙන්ම කියන්න තියෙන්නේ මේ ලැබෙන හැම ප්‍රතිචාරයක් එක්කම මම තව තවත් වගකීමෙන් වැඩ කටයුතු කරන්න කටයුතු කරනවා කියලා. ඒ ලැබුණු අත්දැකීම් සහ ඒ අවධානය බිඳෙන්නට නොදී පවත්වාගන්න උත්සාහ කරනවා සහ මගේ ගායනය පැත්තෙන් මම ගොඩක් වැඩියෙන් වැඩ කරන කාලයක්. ඒ වගේම තවත් චිත්‍රපට දෙකක රූගත කිරීම මේ වසරේ ආරම්භ වෙනවා. ඒ ගෙවුණු 14 වැනිදා මමත් අභිෂේකා විමලවීරත් ගීතයක් එළිදැක්වූවා. ඒ වගේම මේ වෙද්දි පිරිනිවන් කන්ද පාමුල කියන චන්දන ඉරුගල් බණ්ඩාර අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු භාර ගත්තා. මේක කොටස් 50ක විතර හරි අපූරු ටෙලි නාට්‍යයක්. ඉතිං ප්‍රේක්ෂකයන්ට වගකියන, ඔබේ ගුවන් කාලයට වගකියන නිර්මාණශීලී, ගුණාත්මක නිර්මාණ සමඟින් ඔබ ඉදිරියට එන එක තමයි මගේ බලාපොරොත්තුව