මීට දශක දෙක හමාරකට පමණ පෙර සුරූපී යෞවනියක් ලෙස රංගනයට පිවිසි ඇය එදා මෙදා තුර දායක වූ සිය ගණනක් වූ නිර්මාණ සියල්ල හරහාම දිනෙන් දින වර්ධනය වෙමින් තම රංගන ප්‍රතිභාව මැනැවින් පෙන්නුම් කරන්නට සමත් විය. අද වන විට ක්ෂේත්‍රයේ තුළ ප්‍රවීණයෙක් බවට පත්ව සිටින ඇය මේ දිනවල වඩාත් ජනප්‍රියව ඇත්තේ බැද්ද අද්දර ගුරුන්නාන්සේ හාමිනේ හේතුවෙනි. මේ අන්කවරකුවත් නොව ප්‍රවීණ රංගන ශිල්පිනි අනුරාධා උදයංගනියි.
මේ දවස්වල තොරතුරු කියලම ඉමු?
මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකක වැඩ කරනවා. එකක් තමයි හර්ෂ උඩකන්දගේ මං ආදරෙයි ටෙලි නිර්මාණය. ඒක දෙරණ නාළිකාවේ විකාශය වෙනවා. ඒ වගේම බුද්ධික ලොකුකැටියගේ බැද්ද අද්දර ටෙලි නිර්මාණයත් විකාශය වෙනවා. ඒක ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා.
මේ දවස්වල බැද්ද අද්දර ගුරුන්නාසේ හාමිනේ හරි ජනප්‍රියයි නේද?
කාලෙකින් ගොඩක් ආසාවකින් කැමැත්තකින් කරපු නිර්මාණයක් තමයි බැද්ද අද්දර කියන්නේ. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඔය වගේ ගැමි චරිත ගොඩකට දායක වෙලා තියෙනවා. මෑතකදි නම් ඔය වගේ චරිතයකට දායක වුණේ ඉන්දික ධර්මතිලකගේ අඳුන්ගිර ටෙලි නාට්‍යය හරහා. ඒ මීට අවුරුදු 3කට විතර කලින්. බුද්ධික ලොකුකැටිය මේ වගේ වැඩක් කරනවා කියලා ආරාධනා කළාම ගොඩක් සතුටු හිතුණා. බැද්ද අද්දර රූගත කරන්නේ මහව, ගල්ගමුව ප්‍රදේශයේ. ඇත්තටම ගුරුන්නාසේ හාමිනේ කියන්නේ මම හරිම ආසාවෙන් කරන චරිතයක්. එහි චරිත ස්වාභාවය වගේම ඇඳුම් පැලඳුම්, මේකප් කරන ආකාරය, අපිව චරිතයට හැඩ ගස්වන ආකාරය මේ හැමදේම සමාන්‍ය එදිනෙදා චරිතයක් කරනවාට වඩා ගොඩක් වෙනස්. ඇත්තටම අපි කොච්චර රංගනයේ යෙදුණත් කොයි තරම් කාලයක් තිස්සේ රඟපෑවත් වෘත්තීය රංගන ශිල්පියෙක්ට, ශිල්පිනියක්ට චරිත රඟ දැක්වීමේ පිපාසය තියෙනවා. ඉතින් මේ වගේ වෙනස් චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණම ඒක විශාල සතුටක්.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම හොඳ ප්‍රතිචාර තිබෙනවා. ඒ වගේම මේක ජාතික රූපවාහිනිය වගේ නාළිකාවක විකාශය වීමත් මෙහි ජනප්‍රියත්වයට බලපාල තියෙනවා. ඇත්තටම අපි හිතනවා මේ දවස්වල ගොඩක් අය ටෙලි නිර්මාණ එහෙම නරඹන්නේ නැහැ කියලා. නමුත් ප්‍රේක්ෂකයෝ හොඳ නිර්මාණ එනවානම් නරඹනවා. ගොඩක් අය කියන දෙයක් තමයි අපි ටෙලි නාට්‍ය බලන එක නවත්තලා තිබුණේ ඒත් බැද්ද අද්දර වගේ නිර්මාණ නම් අපි කොහොමහරි බලනවා කියලා. ඇත්තටම මේ වෙද්දි ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ප්‍රේක්ෂයන්ගේ රසවින්දනය පුළුල් වී ඇති බවක් පේනවා. ඒ ගැනත් කියමු?
ඔව්. ඇත්තටම මම රංගනයට අවතීර්ණ වෙලා මේ ගෙවෙන්නේ 26 වැනි වර්ෂය. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ටෙලි නාට්‍යයක් විකාශය වුණේ සතියට දවසයි. ඉතින් ඊළඟ සතියේ අනිත් කොටස විකාශය වෙනකම් ප්‍රේක්ෂකයෝ බොහොම කුතුහලයකින් බලාගෙන හිටියා. ඒ වගේම ඒ කාලයේ ඉතාමත් හොඳ ගුණාත්මක නිර්මාණත් බිහි වුණා. ඇත්තටම මේක වෙනස් වෙන්න බලපෑවේ ඉන්දියන් මෙගා රැල්ලත් සමඟ ඇති වුණු තත්ත්වය. ඒකෙත් එක පැත්තක් බලද්දි දීර්ඝ ටෙලි නාට්‍ය නිසා කර්මාන්තයට දායක වෙන තාක්ෂණික හා කාර්මික ශිල්පීන්ට, රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට මූල්‍යමය වශයෙන් ලාභදායි වුණත් ටෙලි නාට්‍ය කර්මාන්තයට ඒක යම්කිසි විධියක නරක බලපෑමක් එල්ල කළා. නමුත් අද වෙද්දි ඒ තත්ත්වය වෙනස් වෙලා ඉතාමත් ගුණාත්මක නිර්මාණ බිහි වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ අතරතුරත් දීර්ඝ වශයෙන් විකාශය වන ටෙලි නාට්‍යය තිබුණත් ප්‍රේක්ෂකයන්ගේ වැඩි රුචිකත්වය සීමිත කොටස් ගණනක් සහිත නිර්මාණවලට බව හොඳින්ම වැටහෙනවා. මේ දවස්වල විකාශය වෙන බැද්ද අද්දර වගේම, විකාශය වෙලා ඉවර වුණු ඉරගිනි මද්දහන, රට පවුල වගේ නිර්මාණ ඒකට හොඳම උදාහරණ.
එදා ඔබ රංගනයට පිවිසුණු කාලයේයදි මේ ක්ෂේත්‍රයේ තත්ත්වය අදට වඩා හාත්පසින් වෙනස් ඇති නේද?
මීට අවුරුදු ගාණකට කලින් නවකයෝ විධියට අපි ක්ෂේත්‍රයට එද්දි අති දැවැන්ත ප්‍රතිරූප ගොඩක් මේ ක්ෂේත්‍රයේ හිටියා. මගේ වාසනාවකට මීට අවුරුදු 26කට විතර කලින් මගේ පළමු නිර්මාණයේ ඉඳලම මට වැඩ කරන්න ලැබුණේ ක්ෂේත්‍රයේ දැවන්තයන් සමඟ. ඔවුන්ගේ ගුරුහරුකම් එක්ක තමයි මම මේ ගමන ආවේ. ඇත්තටම මම ගැන කතා කළොත් මමත් පාසල් අධ්‍යාපනය අවසන් කරපු ගමන් මේ පිළිබඳව කිසිම හැදෑරීමක් නැතුව ආපු කෙනෙක්. නමුත් මගේ පළමුවැනි නිර්මාණයේ සිටම මට ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් ලබා ගන්න හැකි වුණා. මම අද ඉන්න තත්ත්වය බලද්දි ඒ සියලු උපදෙස් මත මමම ගොඩනඟාගත් දේවල් හරහා ආපු ගමනක් මේක. අපිට රංගනය කියන දේ අත්දැකීම් ඇසුරෙන් වර්ධනය කරගන්න පුළුවන් වුණත් ඒක රඳවා ගැනීම පහසු නැහැ. අද වෙද්දි ජනප්‍රියත්වය තබා ගන්න ඕනෑ තරම් ක්‍රම තිබුණත් ඒ කාලේ එහෙම අවස්ථාවන් තිබුණේ නැහැ. ඒ කාලේ නිර්මාණ හරහා විතරයි ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් වුණේ. අද වෙද්දි රංගනයට පිවිසෙන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. අවුරුදු කුමර කුමරි තරග හරහා, ගායන වැඩසටහන් හරහා විවිධ රියැලිටි වැඩ සටහන් හරහා පවා අද වෙද්දි මේකට පිවිසෙන්න ඕනෑ තරම් අවස්ථා තිබෙනවා.
එහෙම විවිධාකාර තරග හරහා රංගනයට පිවිසීම සාර්ථකද!
අවුරුදු කුමර කුමරි තරගයක් ගත්තොත් ඒකෙදි මුලින්ම බලන්නේ ඔවුන්ගේ බාහිර පෙනුම. ගායන තරගවලදි බලන්නේ ඔවුන්ගේ ගායන හැකියාව. නමුත් රංගනයට තිබිය යුත්තේ රංගන හැකියාව. ඔය අතරින් කෙනෙක්ට උපතින්ම ගෙනාපු රංගන හැකියාවක් තියෙන්න පුළුවන්. නමුත් ඒ හා සමානවම තමන්ගේ අරමුණ වෙනස් වුණු, තමන්ගේ නියම හැකියාව පෙන්නගන්න නොහැකිව, තමන් දක්ෂ ක්ෂේත්‍රය පැත්තකට දාලා රංගනයට එකතු වුණු පිරිසකුත් ඉන්නවා. ඇත්තටම ඔවුන්ගෙන් ක්ෂේත්‍රයට වගේම පෞද්ගලිකව ඔවුන්ගේ ජීවිතවලටත් යහපත් බලපෑමක් එල්ල වෙලා නැති තරම්, එහෙම සමහර අයට ඇත්තටම ලැබිලා තියෙන්නේ පබ්ලිසිටිය විතරමයි.
අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ ගැනත් කතා කරමු?
මෑතකදි දායක වුණු නිර්මාණ කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් එකක් තමයි අලංක ටී. කළුආරච්චිගේ “කෝමා” කියන ටෙලි නාට්‍යය. ඒත් එක්කම “මං බැඳපු මිනිහෙක්” ටෙලි නාට්‍යය විකාශය වෙන්න නියමිතයි. ඊට අමතරව “කාලි” චිත්‍රපටය ඉදිරියේදි විකාශය වෙන්න තියෙනවා.