විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව රූපවාහිනි නිවේදිකාවක් ලෙසින් මාධ්‍ය ක්ෂේත්‍රයට පය තැබූ ඇය ඉන් අනතුරුව ටෙලිනාට්‍ය හා සිනමාවටද එක් වෙමින් මෙරට කලාවේ සුවිශේෂි ස්ථාන කිහිපයකම තම නාමය සලකුණු කරන්නට සමත් වූවාය. මේ දිනවල බැද්ද අද්දර නන්දනී ලෙසින් අති විශාල ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්නා මේධා ජයරත්න නම් වූ ඇය මෙවර හදගැස්ම සමඟින් කළ හෘද්‍යාංගම කතාබහයි මේ.
ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල නම් බැද්ද අද්දර සහ චංචල රේඛා කියන ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒවායේ රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙනවා. ඊට අමතරව කාලෙකට පස්සේ මම වේදිකා නාට්‍යයකට දායකත්වය ලබා දෙනවා. කෝලම්කාරයෝ තමයි ඒ නාට්‍යය. ඒ නාට්‍යයේ දර්ශනවාරත් රට පුරා පැවැත්වෙනවා. ඒ වගේම මාර්තු මාසයේ කෝලම්කාරයෝත් එක්ක යුරෝපා සංචාරයකුත් යෙදිලා තිබෙනවා
මේ දවස්වල බැද්ද අද්දර නන්දනී ගොඩක් ජනප්‍රියයි, කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඒක මටත් හිතාගන්න බැහැ. යන යන හැම තැනින්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපේ ක්ෂේත්‍රයේ අයත් මට කතා කරලා කියනවා ඔයා නන්දනීගේ චරිතය නම් හොඳටම කරනවා කියලා. මම හිතුවටත් වඩා ඉතාමත් හොඳ ප්‍රතිචාර හම්බෙනවා. මම ඒක ටිකක් බයෙන් කළේ. නමුත් නොහිතපු විධියට ප්‍රේක්ෂකයෝ නන්දනීව වැලඳගෙන තිබෙනවා. කොතැන ගියත්, පාරට, වෙඩින් එකකට ගියත් කට්ටිය ළඟටම ඇවිත් නන්දනීගේ චරිතය ගැන කතා කරනවා.
නන්දනීට ලැබෙන ප්‍රතිචාර හරහා ප්‍රේක්ෂකයන් තුළ කලා නිර්මාණ සම්බන්ධයෙන් තිබුණු ආකල්ප පුළුල් වී ඇති බවක් පේනවා නේද?
ඒක මමවත් හිතුවේ නැහැ. මේක පටන් ගනිද්දි ප්‍රේක්ෂකයෝ නන්දනීව මොන විධියට භාර ගනීද කියලා හිතේ චකිතයක් තිබුණා. හැබැයි කිසිම කෙනෙක් මේ චරිතය නරක විධියට භාරගෙන නැහැ. ඔය ඉඳලා හිටලා ෆේස්බුක් එකේ දාන කමෙන්ට් එකක් දෙකක් ඇරෙන්න. මිනිස්සු මේ නන්දනී කියන්නේ තවත් එක් රඟපෑමක්, තවත් එක් චරිතයක් විතරයි කියන එක අවබෝධ කරගෙන ඉන්නවා. ඒත් එක්කම මට හිතෙනවා අපේ මිනිස්සුන්ගේ රස වින්දනය ඉහළ ගිහින් කියලා. අපි කරන්නේ චරිතයක් නිරූපණය කරන එක. නන්දනී කියන්නේ හරිම විවිධත්වයකින් යුතු චරිතයක්. සමන්ත කුමාර ගමගේ නන්දනීව හරිම ලස්සනට ලියලා තිබෙනවා. නන්දනී හැඟීම් ගොඩාක් තිබෙන ගැහැනියක්. ඒක ඇතුළේ සියුම් විධියට රඟපාන්න හැකියාව තිබෙනවා. ඒ නිසා නන්දනී කියන චරිතය භාර නොගෙන ඉන්න ලෝබ හිතුණා. නමුත් මේ වෙද්දි ප්‍රේක්ෂකයන් මේක රංගනයක් පමණයි කියන තැන ඉඳන් ප්‍රතිචාර දක්වන නිසා විශාල සතුටක් තිබෙනවා.
ඔය අතරතුර ජයමිණි ටීචවත් අමතක කරන්න බැහැ?
චංචල රේඛා චිත්‍රපටය ඇසුරෙන් තමයි චංචල රේඛා ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නේ. ජයමිණී ටීචර් කියන්නේ චිත්‍රපටයේ නොතිබුණු ටෙලිනාට්‍යයට අලුතෙන් එකතු කරපු චරිතයක්. ඇත්තටම ජයමිණී ටීචර්ට ගොඩක්ම බැනුම් තමයි අහන්න ලැබෙන්නේ. ඇත්තටම ජයමිණී ටීචර් කියන්නේ මම හරිම ආසාවෙන් කරන චරිතයක්.
නිතරම නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැත්තේ විශාල වශයෙන් තෝරා බේරා ගැනීම් සිදු කරන නිසාද?
ඇත්තටම මේක වෘත්තිය නිසා එහෙම විශාල වශයෙන් තෝරා බේරා ගැනීම් සිදු කරන්නේ නැහැ. නමුත් අපිට තෝරා බේරා ගැනීම් සිදු කරන්න වෙලා තිබෙන්නේ බජට් ප්‍රශ්න නිසා. එහෙම නැතුව නිර්මාණවල ගැටලුවක් නිසා නෙවෙයි. හොඳ නිර්මාණයක් නම් අපි කොහොමත් දායකත්වය දෙන්න කැමැතියි. නමුත් සමහර අවස්ථාවල ඔවුන් ගෙවන මුදලට අපිට එකඟ වෙන්න බැහැ. එහෙම අවස්ථාවකදි හැරෙන්න අර වගේ චරිත කරන්නේ නැහැ. මේ වගේ චරිත කරන්නේ නැහැ කියලා සීමා දාගෙන නැහැ. නමුත් යම් කිසි දෙයක් කරන්න නැති, නිකම් පෙනී සිටින්න පමණක් තිබෙන චරිතවලට නම් එච්චර ආසාවක් නැහැ.
බජට් ප්‍රශ්නත් එක්ක වෘත්තියක් විධියට රංගනයේ නියැළීම මොන වගේද බලපාන්නේ?
ඇත්තටම තාමත් අපේ කලාව කර්මාන්තයක් විධියට දියුණු නැහැ. එතකොට වෘත්තියක් විධියට කලාව තෝරා ගැනීමේදී ගැටලු තිබෙනවා. නමුත් අපි සාමාන්‍ය වෘත්තියක නියැළිලා උපයනවාට වඩා කලාකරුවන් විධියට වැඩ කරලා උපයන්න පුළුවන්. උදාහරණයක් විධියට මම රංගනයට සම්බන්ධ නොවී වෙනත් වෘත්තියක නියැළුනා නම් එයින් උපයනවාට වඩා රංගනයෙන් ඉපයීමේ හැකියාව තිබෙනවා. නමුත් සාමාන්‍ය කෙනෙක්ට ඒ උපයන මුදලින් ජීවත් වෙන්න පුළුවන් වුණත් කලාකරුවෙක්ට එහෙම බැහැ. මගේ අම්මා, තාත්තා, නංගි හැමෝම නියැළෙන්නේ ගුරු වෘත්තියේ. එයාලට එයාගේ ජීවන රටාවත් එක්ක එයාලා උපයන මුදල ප්‍රමාණවත්. නමුත් කලාකරුවෙක් විධියට ඒ ඇසුරු කරන අය, සහභාගි වෙන අවස්ථා, පරිසරය එක්ක කලාවේ නියැළිලා උපයන මුදල ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන් ජීවන තත්ත්වය පවත්වාගන්න. ඒ නිසාම තමයි අද වෙද්දි බොහෝ අය තමන්ගේම කියලා ව්‍යාපාරයක් වගේ දෙයක් කරන්න යොමු වෙලා ඉන්නේ. මොකද කලාකරුවෙක්ට නිශ්චිත ආදායමක් නැහැනේ. වැඩ තිබුණොත් තමයි ආදායමක් තිබෙන්නේ. නමුත් කලාකරුවෙක් කියන්නේ හොඳින් උපයන්න පුළුවන් කෙනෙක්. නමුත් ජීවන තත්ත්වයේ වෙනස නිසා සමහර වෙලාවට වෙනත් ආදායම් මාර්ගයක් තිබීම යහපත්.
ඔබ නිවේදිකාවක්, පහුගිය දවස්වල නිවේදික නිවේදිකාවන්ගේ වෘත්තිමය භාවය ගැන විශාල කතාබහක් ඇති වුණා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
වගකීම කියන දේ තමයි ඔතැනදි වැදගත්ම කාරණය. ඒක නිවේදිකාවන්ට, රංගන ශිල්පිනියන්ට වගේම හැමෝටම බලපාන කාරණයක්. වගකීමක් නැති වුණාම තමයි ශූටිංවලට දින දීලා එන්නේ නැතුව ඉන්න, වාහනවලින් ගන්න ගියාම ෆෝන් ඕෆ් කරගෙන ඉන්න වගේ සිදුවීම් සිදු වෙන්නේ. නිවේදන කටයුතුවලදීත් තමන්ගේ වෘත්තීමයභාවය පවත්වා නොගෙන අනවශ්‍ය දේවල් කතා කරන, අනවශ්‍ය විධියට හැසිරෙන සිදුවීම්වලට හේතුව මට පේන විධියට අධ්‍යාපන මට්ටම. අපිට රංගනය ගැන, නිවේදනය ගැන ඉගෙනගන්න පාසලක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝටම යම් කිසි අධ්‍යාපන මට්ටමක් තිබෙනවා. යම් කිසි අධ්‍යාපන මට්ටමක් තිබෙන අය ඉන්නවා නම් ඔවුන්ට තමන්ගේ වෘත්තිය ගැන වගකීමක් තිබෙනවා සහ ඔවුන් ඒ වගකීම ගන්නවා. එහෙම වගකීම ගන්න පුද්ගලයන් රංගනයෙදි වෙලාවක්, දිනයක් දුන්නොත් ඒ වෙලාවට වැඩ කටයුතු කරන්න උත්සාහ ගන්නවා.
අක්ෂි මාපා වීරසිංහ