මේ වන විට ජාත්‍යන්තර ආයතනයක නීතිවේදියෙක්, මානව හිමිකම් සහ තරුණ කටයුතු පිළිබඳව අද්වකාත් (Advocacy) නිලධාරියෙක් ලෙස කටයුතු කරන ඔහු ප්‍රංශයේ සරණාගත ප්‍රජාව පිළිබඳව නීති උපදෙස් ලබාදීම කරනු ලබනවා. ඒ වැඩ කටයුතු අතරම නර්තනයටද සම්බන්ධ වන ඔහු ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක ප්‍රතිනිර්මාණය කරන ”සාකුන්තලා” නාට්‍යයේ ප්‍රධාන චරිතයට ජීවය ලබා දුන්නා. ප්‍රංශ ජාතික කෞතුකාගාරයක් වන කැමී ක්ලොඩී හි මෙම නර්තනය සිදු කළා. අති සාර්ථක අන්දමින් වේදිකාගත කෙරුණු මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳව කෞෂාල් රණසිංහ හදගැස්ම හා අදහස් දැක්වූයේ මේ අයුරින්.
මේ දවස් ගෙවී යන්නේ කෙසේද?
මේ දිනවල මගේ පුහුණුවීම් කටයුතු සමඟ කාලය ගෙවී යනවා. ඒ වගේම මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටිනවා. මම ප්‍රංශයෙහි දිවි ගෙවන නිසා සම්මන්ත්‍රණ ආදියට සහභාගි වන්නේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ. මීට අමතරව අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිදු කරන වැඩකටයුතු කිහිපයක් සිදු කරමින් සිටිනවා. ඉතින් ඒ වැඩකටයුතු සමඟ මේ දවස් ගෙවී යනවා.
නර්තනය නම් වූ පෘථුල විෂය ඔබේ ජීවිතය සමඟ බද්ධ වන්නේ කෙසේද?
නර්තනය කියන දෙය මගේ දිවියට සමීප වන්නේ මම පාසල් යන කාලයේදී. මම පාසල් ගියේ පන්නිපිටිය ධර්මපාල විදුහලට. අපේ පාසලේ පළමු ශිෂ්‍යයා සෝමබන්ධු විද්‍යාපති. ඔහු රවිබන්ධු විද්‍යාපති වන මගේ ගුරුතුමාගේ පියා. මම මගේ ගුරුතුමා වන රවිබන්ධු විද්‍යාපතිගෙන් උඩරට නර්තනය හැදෑරුවා. අපේ පාසලට නර්තනය සම්බන්ධයෙන් තිබෙන්නේ එවන් වටපිටාවක්. අපේ පාසලේ නර්තනයට විශාල ස්ථානයක් හිමි වුණා. මගේ මුල් ගුරුවරිය වුණේ ජයනි ගුරුතුමිය. මම කථක් නර්තනය හැදෑරුවේ මෝක්ෂා සමරසූරිය ගුරු මෑණියන්ගෙන්. මගේ මව සහ නැන්දා චිත්‍රසේන කලා ආයතනයේ ශිෂ්‍යාවන්. මේ අයුරින් නර්තනය කියන දෙය මට ඉතා සමීප වුණා.
ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක් විසින් ප්‍රතිනිර්මාණය කරන ඉන්දීය ”සාකුන්තලා” නාට්‍යය ගැන කියනවා නම්?
ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක් වන කැමී ක්ලොඩී (Musée Camille Claudel) කියන කෞතුකාගාරය කළ නිර්මාණය 2024 වසරේදී එළිදැක්වූවා. නමුත් සකුන්තලා බැලේ එකට ලොකු ඉතිහාසයක් තිබෙනවා. කැමී ක්ලොඩී කියන්නේ ප්‍රංශයේ සිටින අග්‍රගණ්‍ය මූර්ති ශිල්පිනියක්. ඇය නිර්මාණය කළ පෙම් යුවළකගේ මූර්තියේ සිටින පෙම්වතිය සොයා බලන විට ඇය සකුන්තලා බව දැන ගන්න ලැබෙනවා. මේ නිසා ප්‍රංශයේ කාලි දාසයන්ගේ සකුන්තලා පිළිබඳව කතාබහක් ඇති වෙනවා. ඒ මීට වසර 50කට පෙර. ඉන්පසුව බැලේ නර්තන සම්ප්‍රදායට අනුව සකුන්තලා නිර්මාණය වෙනවා. ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක් වන කැමී ක්ලොඩී කියන කෞතුකාගාරයේ මැදිහත් වීමෙන් ත්‍රිවාද් කියන පැරීසියේ ඉන්දියානු නර්තන ආයතනයේ අධ්‍යක්ෂණයෙන් මෙය නිර්මාණය වෙනවා. මේ සෑම දෙයටම මූලික වුණේ ක්ලැමී ක්ලොඩීගේ අග්‍රගණ්‍ය මූර්තියයි.
මෙම කර්තව්‍යයේ ආරම්භය සහ ඉතිහාසය ගැන කියමු?
මෙය ආරම්භ වීමට බලපෑවේ කැමී ක්ලොඩීගේ මූර්තිය. වත්මනෙහි ඇය ප්‍රසිද්ධියක් ඉසිලුවත් අතීතයේ පැවැති පුරුෂ මූලික සමාජය සමඟ ඇය ගැන කතාබහක් ඇති වුණේ නැහැ. එකල පුරුෂයාට විශාල ඉඩක් ලැබුණා. කාන්තා නිර්මාණවලට එකල ලොකු ඉඩක් ලැබුණේ නැහැ. නමුත් පසුකාලීනව ඇය ගැන කතාබහක් ඇති වන විට ඇය ජීවතුන් අතර නැහැ. මේ පිළිබඳව නිර්මාණය වුණු සිනමාපට පවා තිබෙනවා. ඇයගේ නිර්මාණය සමඟ ඒ මායාකාරී ආදරය ගැන මේ බැලේ නර්තනය නිර්මාණය වෙනවා.
මෙම නිර්මාණයේ විශේෂත්වය කුමක්ද?
මම සම්බන්ධ වුණු නිර්මාණය බැලේ නර්තන සම්ප්‍රදාය යම් තරමකින් ස්පර්ෂ කරනවා. නමුත් ඉන්දියානු නර්තන සම්ප්‍රදායට මෙහි මූලිකත්වය ලබාදී තිබෙනවා. බොලිවුඩ්, කථක් සහ කන්ටෙම්පරරි කියන කලා සම්ප්‍රදායන්වලින් මෙයට ආභාෂය ලබා ගෙන තිබෙනවා. 80 දශකය වන තුරු සාකුන්තලය නිර්මාණය වුණේ බැලේ සම්ප්‍රදාය අනුගමනය කරමින්. නමුත් මෙය පසුකාලීනව නිර්මාණය වන්නේ ඉන්දීය නර්තන සම්ප්‍රදායට මුල් තැන දෙමින්. මෙහි එකම තැනක පමණක් දෙබස් තිබෙනවා. ඒවා සිංහල සහ හින්දි බසින් ගොඩ නැඟෙනවා. මම සමඟ නර්තනයෙහි යෙදෙන තැනැත්තිය ඇමරිකානු හින්දි කාන්තාවක්. මෙම භාෂා ද්වයෙන් මෙය සිදු වීම විශේෂත්වයක් කියා මම සිතනවා.
සාකුන්තලය පිළිබඳව ඔබේ කියවීම ගැන අදහස?
සකුන්තලා ගැන මගේ කියවීම ගැන කියනවා නම්. සාකුන්තලය කියන්නේ ඉන්දියාවේ අග්‍රගණ්‍ය නිර්මාණ රැසකට බලපෑම් කළ නිර්මාණයක්. මම ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වුණු විවිධ වර්ගයේ සකුන්තලා නාට්‍ය නරඹා තිබෙනවා. නමුත් ප්‍රංශයේ මෙය පාදක කරගෙන නිර්මාණය වන කලා කෘති ඉතා වෙනස්. කාන්තාව හිංසනය ලක්වීම ගැන මෙහි කතාබහට ලක් වෙනවා. මම අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩ කරන කෙනෙක් ලෙස මට මෙය දැනුණා. කාන්තාව හිංසනයට ලක්වීම, ඇය පහතට දැමීම ගැන මෙහි සියුම්ව කතාබහට ලක්වෙනවා. මේ තුළින් කතාබහ කරන ඒ පණිවුඩයට මම ගොඩක් කැමැතියි.
ඔබේ ලිවීමේ වැඩකටයුතු ගැන කියනවා නම්?
පසුගිය වසරේදී මන්දස්මිත නවකතාව එළිදැක්වුණා. මෙය රචනා වුණේ මගේ ජීවිත කතාව පදනම් කොට ගනිමින්. එය රචනා කළේ මම සහ නූ පෙරේරා. එහි පිටපත් දහස් ගණනක් විකිණී තිබුණා. ඉමාෂි ප්‍රකාශකයන් එය මුද්‍රණය කිරීමට භාරගත්තා. ඉතින් නොසිතූ ලෙසින් එය අලෙවි වීම ගැන තිබෙන්නේ සතුටක්. නැවතත් මම කෘතියක් රචනා කරමින් සිටිනවා. ඉගෙනීමේ කටයුතු සමඟ ලිවීමේ කටයුතු සිදු කරගෙන යනවා.
ලාංකිකයකු වශයෙන් ඔබට ලැබුණු මේ අවස්ථාව ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?
ඇත්තටම මෙම නිර්මාණයේ ප්‍රධාන චරිතය මට ලැබේ කියා මම සිතුවේ නැහැ. ප්‍රංශයේ ගොඩක් දක්ෂ නර්තන ශිල්පීන් සිටිනවා. මූලික පරීක්ෂණයෙන් මාව තෝරාගත් පසුව මම මේ සඳහා බොහෝ සේ කැප වුණා. ශ්‍රී ලාංකිකයෙක් ලෙස මට ලැබුණු මේ අවස්ථාව ගැන මට විශාල ආඩම්බරයක් තිබෙනවා.
ගිහාන් සචින්ත