ඇය කොහේ සිටියත් මේ දිහා සතුටෙන් බලන් ඇති-වින්දන ආරියවංශ

gossiplanka image 2
 


පුංචි ළමයි මල් වගේ කියන කියමන අපි අසා තිබෙනවා. දරුවන්ගේ වටිනාකම කෙතරම්ද කියා සමාජයට කියා දෙන හරි අපූරු පණිවුඩ  ගොන්නක් රැගත් සිනමාපටයක් මේ දිනවල තිරගත වෙමින් පවතිනවා. එහි නම ‘මලකි දුවේ නුඹ‘. සමාජයට ආදර්ශවත් පණිවුඩයක් කියා දෙන මෙම සිනමාපටයේ අධ්‍යක්ෂවරු වන්නේ වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශයි. මෙම සිනමාපටයෙහි අධ්‍යක්ෂ වින්දන ආරියවංශ ‘මලකි දුවේ නුඹ‘ සිනමාපටය ගැන ‘හදගැස්ම‘ සමඟ සිය අදහස් මෙසේ බෙදාහදා ගත්තා.


මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ වන විට ‘මලකි දුවේ නුඹ‘ සිනමාපටය දිවයින පුරා සිනමාහල්වල තිරගතවීම ඇරැඹී තිබෙනවා. 2026 වසර ආරම්භයේම නිකුත් වුණු පළමු වැනි සිනමාපටය විධියට ‘මලකි දුවේ නුඹ‘ හඳුන්වා දෙන්න පුළුවන්. පසුගිය වසර සිනමාවට ඉතා හොඳ අවුරුද්දක් වුණා. මේ වසරත් සිනමාවට යහපත් වසරක් වෙන්න නම් නිකුත් වන මුල්ම සිනමාපටය ඉතා හොඳ සිනමාපටයක් වෙන්න ඕන. ඉතින් මෙය  හොඳ ආරම්භයක් වෙයි කියා සිතනවා.  ඉතින් මලකි දුවේ සිනමාපටයේ වැඩකටයුතු සමඟ කාලය ගෙවී යනවා.


‘මලකි දුවේ නුඹ’ සිනමාපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කියමු?


මේ වන විට ‘මලකි දුවේ නුඹ‘ සිනමාපටයට ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබී තිබෙනවා. අපිට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව ‘මලකි දුවේ නුඹ‘ සිනමාපටය නිර්මාණය කිරීම වෙනුවෙන් අපි දැරූ ප්‍රයත්නය සාර්ථක බව අපිට වැටහෙනවා. ඒ වගේම  මෙම සිනමාපටය ඔවුන්ව සසල කරන්න සමත් වී තිබෙනවා. මේ සිනමාපටය හරහා ඔවුන්ගේ ජීවිතයට වටිනා අත්දැකීමක් ලබා දීමට අපිට හැකි වී තිබෙනවා. වසර ආරම්භයේදී මෙම සිනමාපටය මිනිසුන්ට සුබදායක හැඟීමක් ලබා දෙනු ඇති බව අපි විශ්වාස කරනවා. 


නව වසරේදී අලුත් බලාපොරොත්තු ඇති කර ගන්න, යහපත් වෙන්න, ජීවිතයට හොඳ දේවල් එකතු කර ගැනීමට මිනිසුන් බලාපොරොත්තු වෙනවා. කලා නිර්මාණයකින් මිනිසුන්ගේ මනෝභාවයට යම් උත්ප්‍රේරණයක් ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.


මේ සිනමාපටය නිර්මාණය වූ අයුරු ගැන කියනවා නම්?


අපිට මෙවැනි සිනමාපටයක් නිර්මාණය කරමු කියන යෝජනාව ගෙන ආවේ ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකේය වෛද්‍යවරයෙක්. නමුත් අපි වසර දෙකක කාලයක් බලා සිටියා. අපි සාමාන්‍යයෙන් සිනමාපට කරන්නේ අපි කැමැති කතාවලින්. ඒ වගේම අපි  නිර්මාණය කරන්න කැමැති එකිනෙකට වෙනස් සිනමාපට. රූකඩ පැංචි කියන්නේ මලකි දුවේ නුඹ සිනමාපටයට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. ඉතින් මම සහ මගේ සහෝදරයා ඒ වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙමින් කටයුතු කරනවා. මට අවශ්‍ය වුණා දියණියක සහ පියකු අතර ඇති බැඳීම පිළිබඳව සිනමාපටයක් කරන්න. ඒ වගේම දුෂේන්‍යා දුව සමඟ නැවත සිනමාපටයක් කරන්න අපිට දැඩි ආශාවක් තිබුණා. ඒ නිසා දුවව කේන්ද්‍රගත කර ගෙන කතාවක් ගොඩනඟන්න අපිට වුවමනා වුණා. මගේ ජීවිතයේ මම ලබපු පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් තමයි මේ කතාව ගොඩනැඟුණේ.


මේ සිනමාපටයේ නළු – නිළිවරණය ගැන කතාබහ කරමු?


නළු – නිළියන් තෝරා ගැනීමේදී අපි විවිධ රංගන ශිල්පීන්, ශිල්පිනියන් මේ කතාවට දායක කර ගැනීමට සිතුවා. අවසානයේදී අපි ශ්‍යාම් ෆර්නෑන්ඩු, මාලිනී ෆොන්සේකා සහ සමනලී ෆොන්සේකා මේ සඳහා යොදා ගැනීමට සිතුවා. මවගේ සංකීර්ණ චරිතය නිරූපණය කිරීමට අපි සමනලීව තෝරා ගත්තා. ඇය එයට ඉතා හොඳ සාධාරණයක් ලබා දුන්නා. මෙහි සිටින මහාචාර්යවරයාගේ චරිතයට සුදුසුම කෙනා ශ්‍යාම් ෆර්නෑන්ඩු බව අපිට වැටහුණා. ඔවුන්ගේ දායකත්වය මේ සිනමාපටයට විශාල ආලෝකයක් ගෙන ආවා.


මෙම සිනමාපටයට එකම පරම්පරාවේ තිදෙනකුගේ දායකත්වය ලබා ගෙන තිබෙනවා. ඒ ගැන කියනවා නම්?


ලංකාවේ ප්‍රථම වරට තමයි මෙවැනි පරම්පරා තුනක් නියෝජනය කරන රංගන ශිල්පිනියන් එකම සිනමාපටයක දකින්න ලැබෙන්නේ. මෙලෙස එකම පවුලක තුන් දෙනකු තෝරා ගැනීම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් දෙයක් වුණා. සමහර මානව ප්‍රශ්න තිබෙනවා පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන යන. ඒවා සුහදව වගේම සිත් බිඳගෙන, සබඳතා කඩාගෙන ගලාගෙන යන්න පුළුවන්. මට හිතුණා පරම්පරා තුනක සිත් අවසානයේ සුවපත් කරන්න පුළුවන් පිටස්තරයකුගේ ආගමනයක් ගෙන එන්න. අපේ අනවබෝධය, මමත්වය වැනි දේවල් නිසා මානව සබඳතා බිඳී යනවා. නමුත් ඉවසීමෙන් මේ දේවල් රැකගන්න පුළුවන්. ඉතින් එය ප්‍රබලව ප්‍රේක්ෂකාගාරයට මේ රංගන ශිල්පිනියන් තිදෙනාගෙන් පෙන්වා දෙන්න පුළුවන් කියා මම සිතුවා. මේ අය එකම පරම්පරාවක වීම අහඹුවක්.


මෙය ලාංකේය සිනමාවේ නිළි රැජනගේ අවසන් සිනමාපටය මේ ගැන කියමු?


ඇය මේ සිනමාපටයට රංගනයෙන් දායකත්වය සපයන විට මෙය ඇයගේ අවසන් සිනමාපටය වේවි කියා අපි දැන සිටියේ නැහැ. 2024 මාර්තු තමයි මෙය රූගත කළේ. ඇය තමයි මේ රටේ සිටින ජ්‍යෙෂ්ඨතම සහ අග්‍රගණ්‍යම නිළිය. ඇය මේ නිර්මාණයට විසල් දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම ඇගේ පවුලේ අය සමඟ ඉතා  සතුටින් මෙයට රංගන දායකත්වය ලබා දුන්නා. අපිටත් මේ ගැන විශාල සතුටක් තිබෙනවා. ඇය කොහේ සිටියත් මෙය සතුටින් බලාගෙන ඇති. ඇය සිනමාවට ලබා දුන් මේ තිළිණය අග්‍රගණ්‍යයි.


දරුවකුගේ වටිනාකම අද සමාජයට වැටහෙන්නේ නැහැ. මේ ගැන ඔබේ අදහස?


දරුවා අවබෝධ කර ගැනීම අපි නිරන්තරයෙන් කළ යුතු දෙයක්. අපි සෑමදාම කළේ පරම්පරාවලට බනින එක. අපේ කාලේ එහෙම නැහැ කියලා ලොකු පරම්පරාව කරනකොට, තවත් පරම්පරාවක් අනෙක් පරම්පරාවට නිග්‍රහ කරනවා. මේ දෙය නවතින්න ඕන. දරුවාව අපි තේරුම් ගන්න ඕන ඉවසීමකින්. ලෝකය තුළ වෙන්න ඕන මේ දෙය. අපිට ප්‍රශ්න තිබුණත් අපි දරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන්න ඕන. එහෙම වුණොත් දරුවන් ආරක්ෂා වෙයි.


ඉදිරි වැඩකටයුතු ගැන කියමු?


අපේ සිනමාව සුබවාදී සිනමාවක්. අපේ සිනමාව සෞම්‍ය සිනමාවක්. අපේ සිනමාව සිත් සුවපත් කරන සිනමාවක්. අපි ඉදිරියටත් නිර්මාණකරණයෙහි යෙදෙන්න කැමැතියි. එය තීරණය වන්නේ ‘මලකි දුවේ නුඹ‘ සිනමාපටයට ලැබෙන ප්‍රතිචාරය මතයි. අපිට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණොත් අපේ ඉදිරි ගමනට එය ආලෝකයක් වේවි.

gossiplanka image 1
Previous Post Next Post