අනුරාධා එදිරිසිංහ කියන්නේ දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල පට්ටි ගෙදර නදීෂා ටීචර්ට පණ පොවනවා. එදත් අදත් ප්‍රේක්ෂකයන් අතර ඇය එක සේ ජනප්‍රිය බව නොරහසක්. ඉතින් මේ සොඳුරු කතාබහ ඇයගෙන්.
මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කෙසේද?
“යතුරු හිලෙන්” වේදිකා නාට්‍ය සහ පට්ටි ගෙදර ටෙලි නාට්‍යය එක්ක තමයි මේ දිනවල මගේ කාලය ගෙවෙන්නේ.
රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙලේ හොඳම සහය නිළිය වෙනුවෙන් පසුගිය දිනක ඔබ ලැබූ සම්මානය ගැනත් කතා කරමු?
ඔව්. ඒ ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂවරයාගේ ගිරිදේවි නිර්මාණයේ රූපිකා කියන චරිතය වෙනුවෙන් තමයි මට ඒ සම්මානය හිමි වුණේ.
සම්මානයක් හිමි වීම රංගන ශිල්පීන්ගේ ඉදිරි ගමනට කොතරම් අභිප්‍රේරණයක්ද?
ඇත්තටම සම්මානයක් කියන්නෙ අගය කිරීමක්.
ඒක අපි මේ යන ගමනට ලොකු ශක්තියක්.
පට්ටි ගෙදර ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
වැඩිපුරම බැනුම් තමයි ලැබෙන්නේ. ඒත් සමහර ප්‍රේක්ෂකයෝ කියන්නේ ඒ චරිතය ඒ විධියට ලියන්න, කරන්න හේතුවක් ඇති කියලා තමයි. ඉතින් ඒක ගැන ඉස්සරහට ප්‍රේක්ෂකයන්ට දැනගන්න පුළුවන් වෙයි. ඒක ඉස්සරහට විසඳෙයි.
ඉතින් මුළු නාට්‍යයටම ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.
“යතුරු හිලෙන් ” වේදිකා නාට්‍යය ප්‍රේක්ෂකයන්ට මොනවගේ අත්දැකීමක්ද?
යතුරු හිලෙන් වේදිකා නාට්‍යය දේශපාලන ප්‍රහසනයක් කිව්වොත් හරි.
පුංචි තිරයට සිනමාවට වෙනස්ව වේදිකාවේදී ප්‍රේක්ෂකයන්ගේ සජීවී ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර දැනෙන්නේ කොහොමද?
දැනට සිනමාවට සම්බන්ධ වෙලා නැති නිසා ඒ ගැන මම දන්නෙ නෑ. වේදිකාවේදී ලැබෙන ප්‍රතිචාර පුංචි තිරයට වඩා නම් ගොඩක් වෙනස්. අපිට තිබෙන වගකීම වේදිකාවේදී ඉතාම වැඩියි. මොකද වැරැදුණොත් කට් කරලා රී ටේක් නෑ. සජීවී ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙද්දි මට ගොඩක් සතුටුයි. ඒක මට පළමුවැනි වතාවටයි අත්දකින්න පුළුවන් වුණේ. ඉතින් ඒක වෙනස්ම අත්දැකීමක්.
අසංධිමිත නිර්මාණය ගැනත් කතා කරමු?
අසංධිමිත ශාන් ජයරත්න අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක්.
ඒ නිර්මාණය ඉදිරියේදී දකින්න ලැබෙයි. මගේ චරිතය ගැන ඉඟියක් දුන්නොත් “අසාධාරණයක් වෙනුවෙන් තමන්ගෙම අයව වුණත් අත්හරින්න පැකිළෙන්නේ නැති කෙනෙක්” කියලා කියන්න පුළුවන්. දැනට ඒ ඇති. ඒක ඉතාම ඉක්මනටම බලන්න පුළුවන් වන ලස්සන වැඩක්.
ඔබව කාලයකින් පුංචි තිරයේ දකින්න ලැබුණත් ඔබ ජනප්‍රියත්වය දිගටම එකසේ රඳා පවත්වා ගැනීමේ රහස ගැනත් කියමු?
ඒක එහෙමද කියන්න මම ඇත්තටම දන්නෙ නෑ. හැබැයි අදටත් මම කරපු චරිතවලට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් රාවණ නිර්මාණයේ “පුෂ්පෝත්කතා” චරිතයට.. ඉතින් එහෙම අවුරුදු ගාණකට කලින් කරපු නිර්මාණවලට ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. මම කරපු නිර්මාණවල ඒ චරිතවලට කරන්න හදපු සාධාරණය යම්තාක් දුරට හරි සාර්ථක ඇති කියලා හිතනවා. ඒ නිසා වෙන්න ඇති තවමත් එහෙම ප්‍රතිචාර ලැබෙන්නේ.
ඔබට ලැබෙන රසික ආදරය දැනෙන්නේ කෙසේද?
ඒක කෙටියෙන්ම කිව්වොත් ආශීර්වාදයක්. ලොකු ශක්තියක් කියලා කියන්න පුළුවන්.
නවක පරපුර හා ප්‍රවීණ පරපුර අතර ඇති අන‌්‍යොන්‍ය බැඳීම ඔබ දකින්නේ කෙසේද?
මට නම් ඉතාම හොඳ බැඳීමක් මම වැඩ කරපු ප්‍රවීණයන් සියලුම දෙනා සමඟම තිබෙනවා. ඔවුන්ගේ ඒ නිරහංකාර ආදරණීය බව නිසාම තමයි නිර්මාණ ඇතුළේ මට නම් ඉතාම පහසුවෙන් වැඩ කරගෙන ඉන්න පුළුවන් වෙලා තිබෙන්නෙත්. ඒක හැමදාම එහෙමයි. අපි කෙනකුට ආදරය ගරුත්වය දෙද්දි, ඒක අපිටත් පෙරළා ලැබෙනවා කියන එකයි මගේ විශ්වාසය.
හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබලත් ඔබ බොහොම නිහඬ හෙමින් ගමනක යෙදෙන්නේ ඇයි?
එහෙම තමයි කාලයකට හුස්ම ගන්න බැරි තරම් වැඩ කරනවා. කාලයකට නිහඬව ඉන්නවා. මට ලැබෙන නිර්මාණයක් ඇතුළේ මම මගේ උපරිමය කරන්න හැමදාම උත්සහා කළා. ඉදිරියටත් එහෙම වෙයි. මම හැමදාම මට ලැබුණ නිර්මාණ ඉතාම ආදරයෙන් භාර ගෙන දායක වුණා. හෙමින් තමයි මම හැමදාම ආවේ. ඉතින් ඉස්සරහටත් එහෙම වෙයි.
සමාජ මාධ්‍ය කෙනකුගේ ජනප්‍රියත්වයට වගේම චරිතයට හානි කරන්නත් යොදා ගන්නවා. මේ ගැන ඔබේ අදහස?
හැමදෙයකම හොඳ සහ නරක දෙකම තිබෙනවා. අපිට දේවල් කොච්චර දරාගන්න පුළුවන්ද කියන එක විතරයි එතැනදි වැදගත් වන්නේ.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
පට්ටි ගෙදර සහ යතුරු හිලෙන් වේදිකා නාට්‍ය එක්ක තමයි ඉදිරියට වැඩකටයුතු වෙන්නෙත්. දැනට අලුතෙන් පටන් ගන්න සූදානම් වන කිසිම නිර්මාණයක් නෑ.
ශ්‍යාම් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරපු නිර්මාණයකුත්, සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරපු “විලම්භීත” නිර්මාණයත්, “අසංධිමිත” නිර්මාණයත් ඉදිරියේදී බලන්න පුළුවන් වෙයි.
රුවිනි අමරකෝන්