සම්මානයක් දිනා ගන්න ලොකු හීනයක් තියෙනවා - අනිල් ජයසිංහ

gossiplanka image 2
 


ඔහු පාසල් වේදිකාවෙන් සිය රංගන ජීවිතයට අත් පොත් තබා, 1990 දශකයේදී සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ‘සූවිසි විවරණ’ චිත්‍රපටයේ ගැමියකුගේ චරිතයෙන් සිනමාවට එකතු විය. ඉන්පසු ‘අහංකාර නගරය’ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පැමිණි ඔහු නමින් අනිල් ජයසිංහයි. මේ දිනවල ජාතික රූපවාහිනියේ සති අන්තයේ රාත්‍රි 8.30ට විකාශය වන ‘දොරකඩ දෙවොල’ ටෙලි නාට්‍ය වෙතින් ඔබ හමුවන ඔහු හදගැස්ම අපි සමඟ කළ කතාබහයි මේ.


‘දොරකඩ දෙවොල’හි ඔබේ චරිතය ගැන කතා කරමු?


‘දොරකඩ දෙවොල’ ටෙලි නාට්‍යයේ මම රඟපාන චරිතය මගේ ටෙලි නාට්‍ය ජීවිතය තුළ මට ලැබුණු සුවිශේෂ වූ චරිතයක්. එම චරිතයේ නම පණික්කියා ගුරුන්නාන්සේයි. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතය කරන කුමීගේ තාත්තා තමයි පණික්කියා ගුරුන්නාන්සේ කියන්නේ. ඔහු නැටුම් ගුරුවරයෙක්. පසු කාලීනව ඔහු දන්න එම ශිල්පය දුවට දායාද ලෙස ලබා දීලා ඔහු විවේක සුවයෙන් ඉන්නවා. එහෙම විවේක සුවයෙන් කාලය ගත කළත් දුවට අවශ්‍ය හැම අවස්ථාවකදීම  එයත් එක්කම ඉන්න තාත්තා කෙනෙක්. හරිම ආසාවෙන් රංගනයේ යෙදුණු ලස්සනම ලස්සන පිටපතක් ලෙස මේ ටෙලි නාට්‍ය හඳුන්වන්න පුළුවන්.  මම අනෙක් ටෙලි නාට්‍ය රූගත කිරීම්වලට ගිය විටත් කියනවා මේ ටෙලි නාට්‍ය ගොඩක් හොඳයි නරඹන්න කියලා. මොකද එහි නැටුම් ඒ තරම්ම ආකර්ෂණීයයි. ඒ වගේම එම නැටුම්වල අපේකම ගැබ් වෙලා තිබෙනවා.


පොදුවේ මෙම නිර්මාණය පිළිබඳ ඔබේ අදහස?


ලලිත් රෝහිත එදිරිසිංහ කියන අධ්‍යක්ෂවරයා හරිම ලස්සනට මෙම ටෙලි නාට්‍ය මෙහෙයවනවා. ‘ඉරගිනි මද්දහනේ’ ටෙලි නාට්‍යය වගේම අපට අවශ්‍ය නිදහස මෙම නාට්‍ය තුළත් ලබාදීලා තිබෙනවා.  අඩුපාඩු තිබුණොත් එය පෙන්වා දීම තුළින් තමයි මේ නිර්මාණය ගොඩක් දුරට සාර්ථක වෙලා තිබෙන්නෙ. අනෙක් අයගෙත් සහයෝගය ලැබෙනවා. මෙහිදී කැමරා ශිල්පි බුද්ධි මංගලත් අධ්‍යක්ෂවරයාට ලොකු සහයෝගයක් ලබා දෙනවා. සියලුම ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට ‘දොරකඩ දෙවොල’ ටෙලි නාට්‍ය අලුත්ම අත්දැකීමක් බවට පත්වෙයි කියල විශ්වාස කරනවා.


එහි ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ලැබෙන ප්‍රතිචාර අතර තවමත් ‘ඉරගිනි මද්දහන’ ටෙලි නාට්‍යයේ තාත්තාගේ චරිතය ගැන කතා කරනවා. ඒ වගේම සාර්ථක ප්‍රතිචාරයක් කුමීගෙ තාත්තටත් ලැබෙනවා. මෙම නාට්‍ය විකාශයට කලින් ‘පූර්ව ප්‍රචාරක පටය’ යද්දීම නාට්‍ය ගැන ගොඩක් දෙනෙක් ඇහුවා. ඒ පිළිබඳ ආඩම්බරයක් දැනෙනවා. අපේ දේශීයත්වයට මුල් තැන දෙමින් කරන නිර්මාණවලට මිනිසුන් සාර්ථක ප්‍රතිචාර දක්වන එක ගැන.


මෙම නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ගැන ඔබට දැනෙන දේ කියන්න?


‘දොරකඩ දෙවොල’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ලලිත් රෝහිත එදිරිසිංහයි. රූගත කිරීමේ ස්ථානයට අපි ගිය විට අධ්‍යක්ෂවරයකුට වඩා ගුරුවරයෙක් ලෙස තමයි ඔහුව දැනෙන්නෙ. ඉතාම සරලව පිටපතත් අපේ අතට ලබා දීලා පිටපතේ තිබෙන දෙබස්වල වෙනස්කම් කිරීමක් අවශ්‍යයි කියලා හිතුණම මේ විදියට වෙනස් කරමු කියලා අපි කිව්වොත් “හරි අයියා” කියලා චරිතයට සාධාරණ විදිහට එම වෙනස්කම කරනවා. හරිම සුහද ආදරණීය, ඕනෑ අවස්ථාවක ඕනෑම කෙනෙක් සමඟ සිනාමුසු මුහුණින් කටයුතු කරන අයෙක් ලෙස ඔහු හඳුන්වා දෙන්න පුළුවන්. ඔහුගේ තිබෙන ඒ ආදරණීය බව නිසාම අපිටත් චරිත කරන්න හරිම පහසුයි.


‘දොරකඩ දෙවොල’ නව කතාවට ටෙලි නාට්‍ය තුළින් සාධාරණයක් ඉෂ්ට වනවද?


නවකතාව සහ ටෙලි නාට්‍ය අතර වෙනස්කම් තිබෙනවා. එය ලියලා තිබෙන ආකාරයෙන් අපට ලැබෙන අත්දැකීම දෙයාකාරයි. තරංගා දිසානායක නවකතාවට වගේම ටෙලි නාට්‍ය පිටපතටත් සාධාරණයක් කරලා තිබෙනවා. එම නවකතාව ටෙලි නාට්‍ය පිටපතක් බවට පත් කරද්දි නවකතාවේ සොඳුරු බව ටෙලි නාට්‍යයටත් ගෙනැවිත් තිබෙනවා. නවකතාව කියවද්දි පාඨකයාට දැනෙන හැඟීම, ටෙලි නාට්‍ය බලන ප්‍රේක්ෂකයන්ට දැනෙන හැඟීම එකක් නෙවෙයි දෙකක්. එයත් හරිම අපූරුවට මෙහි රචිකාවිය නිර්මාණය කරලා තිබෙනවා. ටෙලි නාට්‍ය පිටපතක චරිත සජීවීව ජීවත් වෙනවා. පොතේ වගේ නොවෙයි නවකතාවේ තිබෙන අජීවී බව සජීවී බවට පරිවර්තනය කරලා හරිම අපූරු අයුරින් මෙහි තිර පිටපත ලියලා තිබෙනවා.  මෙම පිටපත සැකසීමේදී අධ්‍යක්ෂවරයාගෙනුත් හොඳ සහයෝගයක් ලැබුණා.  ඔවුන් දෙදෙනාගේ මේ සුසංයෝගයට රංගන ශිල්පීන්ගෙන්ද හොඳ සහයෝගයක් ලබාගෙන මෙම නාට්‍ය නවමු පරාසයකට රැගෙන යනවා.  ඒ නිසා තමයි ආරම්භයේදීම මෙම නාට්‍ය මේ තරම් සාර්ථකත්වයට පත්වෙලා තිබෙන්නේ.  සමහර ටෙලි නාට්‍යවල රඟපාද්දි අපිට දැනෙන්නේ බරසාර බවක් වගේම අපහසුවක්. මේ ටෙලි නාට්‍ය එහෙම නැහැ. හරිම සරලයි පහසුයි.


මෙම නිර්මාණයට අමතරව වෙනත් නිර්මාණවලට දායක වෙලා ඉන්නවද?


රට පවුල ටෙලි නාට්‍යයේ ධනුකගේ පියා ලෙස රඟපෑවා. ජාතික රූපවාහිනියේ විකාශය වන ආදරණීය මිනිසෙක් ටෙලි නාට්‍යයේ වෙද මහත්තයාගේ චරිතයට දායක වෙලා ඉන්නවා. හිරු ටී.වී. හි වංචල රේඛා ටෙලි නාට්‍යයේ තෙපානිස් ගුරුන්නාන්සේගේ චරිතයෙන් ඔබ හමුවට පැමිණෙනවා.  දෙරණ රූපවාහිනියේ ඉස්කෝලේ නාට්‍යයේ සේපාල  ලෙසින්ද මේ දිනවල දැක ගත හැකියි. ඒ වගේම සියත නාළිකාවේ තප්පර 60 නාට්‍යයේ  මැර චරිතයක් කරනවා. මට හරිම සතුටුයි මේ වෙද්දි චරිතාංග නළුවකු ලෙස ඉදිරියට යෑමට අවස්ථාව ලැබිලා තිබෙනවා.


වර්තමානයේ පවතින ටෙලි නාට්‍යවල බරසාර බව හෑල්ලුවට පත්වෙලා. මේ පිළිබඳ  ඔබේ අදහස?


මේ වන විට බොහෝ නිෂ්පාදකවරු  ටෙලි නාට්‍ය, සිනමාපට, වේදිකා නාට්‍ය සිදු කරන්නේ ව්‍යාපාරයක් ලෙසයි. මේ සඳහා දායක වන රංගන ශිල්පීන් පවා රැකියාවක් ලෙස තමයි මේ සඳහා සම්බන්ධ වෙන්නෙ. එසේම නිර්මාණ පිළිබඳ එක් එක් කෝණවලින් බලලා තෝරා ගැනීම් කරන්න බැහැ. මෙගා නාට්‍ය පිළිබඳ තමයි මෙවැනි විවේචන ගොඩාක් දුරට තිබෙන්නෙ.


අනාගතයේදී ඔබ දැකගත හැකි නිර්මාණ හා අනාගත බලාපොරොත්තු මොනවාද?


මේ මාසේ 20 වැනි දින සිට  “ගමනක් යන්” කියන මම රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය ස්වර්ණවාහිනියෙන් මගේ රසිකයන්ට දැකගත හැකියි. එහි මම රඟපාන්නේ  ලයනල් ලෙසයි. ඒ වගේම අනුෂ්ක ඉඳුනිල්ගේ හනිමූන් චිත්‍රපටයේ  රූගත කිරීම් පටන් ගන්නවා මේ මාසේ 10 වැනිදා සිට. ඉන්දියානු නළු රාජ් කුමාර් සමඟ චිත්‍රපටයක රඟපෑවා. මේ වෙද්දී එම චිත්‍රපටය ඉන්දියාවේ තිරගත වෙනවා. පසුගිය දිනවල එහි සිංහල හඬකැවීම් සිදු කළා. එයත් ළඟදීම ලංකාවේ තිරගත වෙයි. වෙළෙඳ දැන්වීම් කිහිපයකුත් කළා.


හැම රංගන ශිල්පියකුට වගේම මගේ හිතෙත් ලොකු  ආසාවක් තිබෙනවා සම්මානනීය වෙන්න. එහෙම සිහිනයක් තිබුණාට ලංකාවේ  පවතින සම්මාන උළෙල දිහා බලද්දි එතරම් සතුටුදායක නැහැ.  ඒ නිසා සම්මානනීය වෙයි කියලා ලොකු විශ්වාසයක් නැහැ. ඒ මොන දේ වුණත් වෙනස් වෙනස් චරිත නිරූපණය කරමින් සාර්ථක ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 1
Previous Post Next Post