පෞද්ගලික ජීවිතයට වඩා වෘත්තීය ජීවිතයට ගරු කරනවා – ශ්‍යාම් ප්‍රනාන්දු

gossiplanka image 2
 



 

2026 කියන්නේ ඔහුගේ ජීවිතයට සුවිශේෂී අවුරුද්දක්. මේ අවුරුද්ද පටන්ගන්නේම ඔහුගේ චිත්‍රපට දෙකක් තිරගත කිරීම ආරම්භ කිරීමෙන්. අලුත් අවුරුද්ද හා හා පුරා කියලා ආරම්භවෙලා දවසක් ගියාට පස්සේ ඔහු රංගනයෙන් දායකවුණ ‘මලකි දුවේ නුඹ ’සිනමා නිර්මාණය තිරගත කිරීම ආරම්භ වුණා. ඊට පසුව තවත් සතියක් යන්නතට මත්තෙන් ඔහු රංගනයෙන් දායක වුණු චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ෆාදර් චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වුණා. ඇත්තටම ඉතින් මේ වෙලාවේ ඔහුට ඉඩක් වෙන්නොකර බැහැනේ. මේ චිත්‍රපට දෙකේ ඔහු එකිනෙකට වෙනස්ම චරිත දෙකක් රඟපානවා. නමින් ශ්‍යාම් ප්‍රනාන්දු වුණ ඔහුත් සමගයි මෙවර මීවිත මැද පිටුවේ කතාබහ.


ශ්‍යාම් ප්‍රනාන්දුගේ චිත්‍රපට දෙකක් අලුත් අවුරුද්දේ හා හා පුරා කියා තිරගත වෙන්න පටන් ගත්තා. මොකද හිතෙන්නේ?


2025 වසර ආරම්භ කරද්දී ඉඳලා ලංකාවේ සිනමාවට ගොඩාක් හොඳයි. රාණි චිත්‍රපටයෙන් පටන්ගත්තහම නෙලුම් කුලුන, වාලම්පුරි ඉඳලා මේ දක්වාම එන සියලුම චිත්‍රපට මෙතෙක් තිබුණ ආදායම් වාර්තා බිඳ හෙළුවා. 2025 කියන්නේ සිංහල සිනමාවේ මෙතෙක් තියෙන ආදායම් වාර්තා බිඳහෙළපු අවුරුද්දක්. ඉතාම සුබවාදී ගමනක් ඇවිත් තියෙනවා අපි අවුරුද්දක් විතර. ඒකේ දිගුවක් විදිහට 2026 මට හිතෙන්නේ පටන්ගන්නේම ඉතාම හොඳ චිත්‍රපට කිහිපයකින්. විශේෂයෙන් පසුගිය 02 වැනිදා ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය ආරම්භ කළා. පසුගිය 08 වැනිදා ෆාදර් චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කළා. මට හිතෙන්නේ මේක අපි ජීවත්වෙලා ඉන්න කාලේ ආයේ සිනමාවේ ස්වර්ණමය යුගයකට එන තත්ත්වයක් කියලා.



මලකි දුවේ නුඹ චිත්‍රපටය ගැන කතා කළොත්?


මෙහි පිටපත රචනා කරන්නේ වින්දන ආරියවංශ. වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ එකතුවෙලා තමයි මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ. මේ චිත්‍රපටයේ තියෙන ලොකුම විශේෂත්වය තමයි අපි ගොඩාක් ලංකාවේ කතා කරන්න මැළිවෙන තේමාවක් වන තනිවම අම්මා කෙනකු කොහොමද දරුවකු ඇතිදැඩි කරන්නේ කියන කාරණාව. අනෙක් කාරණාව මෙහි තියෙන තවත් වැදගත්කමක් තමයි භද්‍ර යෞවනයේ දරුවන්ට තියෙන ප්‍රශ්න ගැන ඉතාම සංවේදීව සාකච්ඡා කිරීම. එහෙම දරුවකුට තමන්ගේ තාත්තා කවුද කියල දැනගන්න නැතිව ගියොත් එහෙම එයා අම්මාගෙන් ප්‍රශ්න කරන්නේ ඔයාට නැත්තේ සැමියෙක්, නමුත් මට නැත්තේ තාත්තා කෙනෙක් කියන ප්‍රශ්නය තමයි මේ චිත්‍රපටයෙන් සාකච්ඡා කරන්නේ.



නිළි රැජනගේ පරම්පරා තුනක් සමග ඔබ මෙහිදී රංගනයේ යෙදෙනවා?


ඒක ඉතාමත් සුවිශේෂයි. මොකද මාලනී ෆොන්සේකා එක්ක චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබෙනවා කියන එක අපේ පරම්පරාවට හරිම වටිනා දෙයක්. ඒ පරම්පරාවේ නියෝජනයක් තමයි සමනලී ෆොන්සේකා සහ කුශේන්‍යා ෆොන්සේකා. මාලනී ෆොන්සේකා ගැන මම කියන්නේ ඕනෑ නැහැ, ලංකාවේ සදාකාලික නිළි රැජන කියලයි මම කියන්නේ. ඊට පස්සේ සමනලීගේ හැකියාවන් ගැනත් හැමෝම දන්නවා. ඊට පස්සේ පරම්පරාව තමයි කුශේන්‍යා ෆොන්සේකා කියන්නේ. පොඩි දරුවෙක් වුණාට කුසලතා තියෙන දරුවෙක්. ඔවුන් සමග රඟපාන්න ලැබීම ගොඩාක් වටිනවා. ඒකේ මහාචාර්යවරයාගේ චරිතයත් සමාජයට යම්කිසි විදිහකින් සුබවාදී අදහසක් තියෙන මහාචාර්යවරයකුගේ චරිතයක්.


ශ්‍යාම් ප්‍රනාන්දු කියන චරිතය කතාබහට ලක්වන්නේ සහ සම්මානීය බවට පත්වෙන්නේ කල්පන වින්දනයේ ප්‍රේමය නම් චිත්‍රපටයෙන්. යළිත් ඔබ ඔවුන්ගේම චිත්‍රපටයක ප්‍රධාන භූමිකාවෙන් දකින්න ලැබෙනවා. එතකොට මේ චරිත දෙක වෙනස් කරගන්නත් එපායැ?


ඒකට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මේ පිටපතේම තියෙනවා. ඒ චරිත දෙක සම්පූර්ණයෙන්ම වෙනස්. ප්‍රේමය නම් චිත්‍රපටයේ තිබුණේ මානසික විෂාදයකින් පෙළන පුද්ගලයකුගේ චරිතයක්. ඒකෙදී ශාරීරික සහ මානසික වශයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් තමයි මට නිරූපණය කරන්න හම්බවුණේ. හැබැයි වයසක් විදිහට ගත්තමත් මලකි දුවේ නුඹ චිත්‍රපටයේ මහාචාර්ය කවින්ද සේනානායකට එනකොට ඊට වැඩිය තැන්පත් තමන්ගේ අත්දැකීම් සහ අධ්‍යාපනය තමන්ගේ සංස්කෘතිය පරිචයක් විදිහට අරගෙන සමාජය, මිනිස්සු දිහා බලන්න පුළුවන්, ජීවිතයේ ඕනෑම දෙයක් කැප කරන්න පුළුවන් මනුස්සයෙක් කියලා පෙන්වන චරිතයක්. විශේෂයෙන් කියන්න ඕනෑ ඒ චරිත දෙකේ හැසිරීමේ වෙනස ගොඩනඟන්න පිටපතෙන් ලොකු උදව්වක් වෙනවා වගේම අධ්‍යක්ෂවරුන් විදිහට වින්දන සහ කල්පනගෙන් ලබාදෙන සහයෝගය හරිම විශේෂයි.



ෆාදර් ඇමැතිවරයා, සාම්ප්‍රදායික වශයෙන් මිනිස්සු ප්‍රතික්ෂේප කරන දේශපාලනඥයාට සාධාරණයක් කරන්න ඔබ උත්සාහ කරනවානේද?


මාධ්‍ය දර්ශනය නරඹපු ගොඩක් අයගෙන් මට එහෙම ප්‍රතිචාරත් ලැබුණා. මම කරන සහාය භූමිකාව ඔවුන් ඉතා ආදරයෙන් චරිතයක් විදිහට වැලඳ ගන්නවා කියලා. හැබැයි ඔය චරිතය ඇතුළේ තියෙන්නේ අපි මුලින් කතා කරපු චරිත දෙකටම වඩා වෙනස් අපි දන්න හැත්තෑ වසරකට අධික අපේ දේශපාලන සංස්කෘතියේ හැදුණු ඉතාම නරකම දේශපාලනඥයකුගේ භූමිකාවක් නිරූපණය කරන්න තමයි තිබුණේ. විශේෂයෙන් කියන්න ඕනෑ චමින්ද ජයසූරිය මේ චිත්‍රපටය කරන්න හීනදකින්නේ මීට අවුරුදු පහකට හයකට කලින් ඉඳලා. මම චමින්දව අඳුරගන්න මුල්කාලයේ ඉඳලම ඒ කියන්නේ 2016, 2017 කාලවකවානුවේ ඉඳලා චමින්දගේ තිබුණ අදහසක් තමයි ෆාදර් කියන චිත්‍රපටය. ඒ චරිත ගොඩනැඟුණේ අවුරුදු පහකට වැඩි කාලයක ඉඳලා විටින්විට හම්බවෙමින් සාකච්ඡා පවත්වමින් තමයි. චිත්‍රපටයට නිෂ්පාදකයෙක් හොයාගන්න චමින්ද විශාල කාලයක් වැය කළා. 2019 දී 2020 දී ඒක නිෂ්පාදන මට්ටමටම ඇවිත් ආපහු ඒක නැතිව ගියා. ඒක විශාල කාලයක සිහිනයක්. ලොකු පර්යේෂණයක් තිබුණා. තිර පිටපත අතට එනකොට ඔය චරිත හැම එකම චමින්ද සහ අපි හැමෝම හොඳටම දන්නවා. ඒ හැදිච්ච සියල්ලේම එකතුවෙන් තමයි මේ චරිතය මේ තරම් හොඳින් ගොඩනඟන්න හැකිවුණේ. අනික අධ්‍යක්ෂවරයා විදිහට චමින්ද මේ සමාජය ගැන තියෙන කියැවීම හරි පුළුල්.


මේක වෙනස්ම වැඩක්නේ. රූගත කිරීම්වලදී බිහිසුණු අනතුරුවලට එහෙම මුහුණ දීපු අවස්ථා එහෙම තියෙනවාද?


ඇත්තටම සුන්දර දේවලුත් තියෙනවා. ඒ වගේම ඒ බිහිසුණු සමාජය මවන්න ගිහිල්ලා බිහිසුණු අත්දැකීම්වලට අපිට මුහුණ දෙන්න වුණු අවස්ථාවනුත් තියෙනවා. අපි දර්ශනතලයේදී ඉන්නකොට එක දර්ශනයක් තියෙනවා බිමල් ජයකොඩි ගිනි තියන දර්ශනයක්. එතැනදී බිමල් අනූනවයෙන් බේරුණ අවස්ථා එහෙමත් තියෙනවා. සහාය කලා අධ්‍යක්ෂ මල්ලි කෙනෙකුත් ගින්දර ඇවිළෙන්න ගිහිල්ලා බේරුණේ.


අසූතුනේ කෝලහාල රූගත කරපු දර්ශයකදී ඔගොල්ලෝ දකින්න ඇති එකවර රූගත කරපු දර්ශනයක කොටසක් තියෙනවා ඉතාම භයානක දර්ශනයක්. ඉතින් ඒකෙදී විශේෂයෙන් කියන්න ඕනෑ ධම්මික හේවාදුවත්ත ඇතුළු අපේ ආර්ට් ඩිපාර්ට්මන්ට් එක නිෂ්පාදන කළමනාකරු, සහාය අධ්‍යක්ෂවරු ඇතුළු හැමෝගෙම සහයෝගය ඇතිව ඉතාම බිහිසුණු දර්ශන මවන්න පුළුවන් වුණා. මෙහි නළු නිළිවරයණයත් ඉතාම විශිෂ්ටයි. රූගත කිරීම්වලදී අසිරිමත් දේවල් අනන්තවත් වින්දා භයානක දේවලුත් එක්කම.



මෙහි සත්‍ය සිදුවීම් වන කාලයේ ශ්‍යාම් ප්‍රනාන්දු ඇත්තටම හිටියේ කොහේද?


මම ඉපදිලා තියෙන්නේ 1972 වසරේ දී. අපි 83 වෙනකොටත් මේ සිද්ධි යම්විදිහකට දකිනවා පාසල් යන දරුවෝ විදිහට. 88,89 වසර වෙනකොට අපි සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරන දරුවෝ විදිහට ඉතාම සවිඥානිකයි මේ සමාජයේ සිද්ධවෙච්ච දේවල් සම්බන්ධයෙන්. එතකොට වෙච්ච දේවල් අපි ජීවමානව දැක්කා. අපේ ගම්වල හිටපු වැඩිහිටියෝ එවැනි අත්දැකීම්වලට මුහුණ දෙනවා හොඳට අත්විඳලා තියෙනවා. අනික මෙහි අධ්‍යක්ෂ චමින්දත් අපේ පරම්පරාවෙමයි. අනික මේ චිත්‍රපටයට සම්බන්ධ වෙච්ච ගොඩක් අයට ඒ සමකාලීන අත්දැකීම් ඉතා හොඳින් මතකයේ තිබුණා. 88, 89 කාලයෙන් පසුව ඉපදුණ පරම්පරාවට සමහරවිට ඒ කතාවේ තියෙන සමහර පසුබිම් කතා ටිකක් දුරස්ථවෙන්න පුළුවන්. මේවා චිත්‍රපටවල තිබුණ දර්ශන විතර ද රියල් නෙමෙයිද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපි ඒවා රියල් විදිහට ඇත්ත විදිහට මුහුණ දීපු පරම්පරාවක් තමයි.


මලකි දුවේ නුඹ චිත්‍රපටයෙන් වර්තමාන පරම්පරාව සමාජ මාධ්‍ය කියැවීම ගැන විශේෂ පණිවුඩයක් ලබාදෙනවා. ඇත්තටම ඔබ සමාජ මාධ්‍ය ගැන මොනවගේ මතයකද ඉන්නේ?


මට හිතෙන්නේ මෑත කාලයක 2025 ඉඳලා සිනමාව මේ විදිහට වර්ධනය වෙන්න ලොකු උදව්වක් වුණේ සමාජ මාධ්‍ය කියලා. දැන් ලෝකයේ අලුතෙන් එන භාවිතාවන් විවේචනයකට ලක් කරනවාට වඩා අපි ගතකරමින් ඉන්න සමහර දේවල්වලට සාධනීය විදිහට ඒ අලුත් භාවිතාවල් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි අපිට කරන්න වෙන්නේ. දැන් මීට කලින් තිබුණ ප්‍රචාරණ මාධ්‍යවල මිල ඉතාමත් අධිකයි. හැබැයි මේ දිනවල නිකුත්කරන හැම චිත්‍රපටයකට මූලික ප්‍රචාරණය සමාජ මාධ්‍ය. ලෝකයෙත් එහෙමයි. සමාජ මාධ්‍ය කියන්නේ හොඳ සහ නරක දෙකම තියෙන දැලි පිහියක් වගේ ඉතාම ප්‍රබල ආයුධයක්. ඒක ඉතින් ඉතාම පොසිටිව් විදිහට සිනමාවේදී පාවිච්චි කරන්න පුළුවන්.


ඔබ සමාජ මාධ්‍ය භාවිත කරන්නේ මොනවිදිහටද?


ඇත්තටම ඉතාම අඩුවෙන්. මගේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉතාම අඩුවෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන කෙනෙක් මම. ඒක මම දැනුවත්ව කරන්නේ. සමාජ මාධ්‍ය තුළ පුද්ගලික තොරතුරු නෙමෙයි වෘත්තීය ජීවිතය තොරතුරු තමයි වැඩිපුර ප්‍රවර්ධනය කරන්න ඕනෑ. පුද්ගලික ජීවිතය ප්‍රවර්ධනය කරන අයට මම දොසක් කියන්නෙ නෑ. ඇත්තටම මගේ පෞද්ගලික ජීවිතයට වැඩිය මගේ වෘත්තීය ජීවිතය හිතාගන්න බැරි තරම් ඉස්සරහින් තියෙන්නේ. ඒක නිසා මම මගේ පෞද්ගලික ජීවිතයට වඩා වෘත්තීය ජීවිතයට ගරු කරනවා.


ඔබේ ටෙලිනාට්‍ය රංගන වැඩකටයුතු එහෙම කොහොමද?


ඇත්තම කතාව තමයි සමහර ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න වෙන්නේ සිනමාවේ සහ වේදිකා නාට්‍යවල අපි උපයන දෙයින් ජීවිතය ගොඩනඟාගන්න බැරි නිසා. හැබැයි ඒ අතරේ සමහර ටෙලිනාට්‍ය ඉතා හොඳ තිරපිටපත් විදිහට ලියැවෙන ඒවා තියෙනවා. උදාහරණයක් විදිහට මම මෑතකදී දිගටම වගේ ටෙලිවිෂන්වල වැඩකළේ සුපුන් රත්නායකගේ නිර්මාණත් එක්ක. සුපුන් තෝරාගන්න රචනා සහ සමහර සුපුන්ගේ රචනා සහ ඔහුගේ අධ්‍යක්ෂණය ඇතුළේ නිර්මාණාත්මක දේවල් කතාබහ වෙනවා.


තව චිත්‍රපට කීයක් විතර තිරගත වෙන්න තියෙනවාද?


තිරගත වෙන්න තියෙන චිත්‍රපට නාමාවලිය ඇතුළේ චිත්‍රපට දහයක් විතර තියෙනවා. ඒවායින් මම විශේෂ ඒවා ටිකක් මතක් කරනවා නම් ලලිත් රත්නායකගේ රිවස්ටන්, ලලිත් රත්නාකගේම තවත් චිත්‍රපටයක් තමයි බොම්බෙ මොටායි, මම අධ්‍යක්ෂණය කර රචනා කරපු මගේ පන්තියේ ළමයෙක් චිත්‍රපටය වගේ චිත්‍රපට කිහිපයක් තියෙනවා.

gossiplanka image 1
Previous Post Next Post