නර්තනයෙන් කාගේත් ඇස් වශී කරගත්ත අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර 2026 වසරේ දී සිනමා ප්‍රවේශය ලබා ගන්නවා. ඒ චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන ලද එමිකා ප්‍රඩක්ෂන් වෙනුවෙන් ආචාර්ය ශාන්ත ගීතදේව නිෂ්පාදනය කරන ෆාදර් චිත්‍රපටයේ සඳලතා ලෙසින්. ඒ ගැන වගේම ඉදිරි කලා කටයුතු ගැන අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සමඟ අප කළ සොඳුරු කතාබහයි මේ…
කොහොමද අනු මේ දවස්වල ජීවිතේ?
නිර්මාණ කටයුතුත් එක්ක ජීවිතේ සතුටින් හොඳින් ගෙවීගෙන යනවා.
දැන් අපි නව වසරකනේ ඉන්නේ. මේ වසරේ මොන වගේ වැඩ කටයුතුවලටද සූදානම් වෙලා ඉන්නේ?
මුලින්ම ලංකාවාසි සහ ලෝකවාසි සියලු දෙනාට සුබම සුබ නව වසරක් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. 2026 වසරේ මුල්ම සුබ කටයුත්ත තමයි ජනවාරි 9 ඉඳන් ෆාදර් චිත්‍රපටය ආදරණිය ප්‍රේක්ෂකයන්ට භාර වුණා. ඒත් එක්කම මේ වසරේදීත් මගේ අධ්‍යාපන කටයුතු සහ රංගන කටයුතු සමසේ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
ෆාදර් හරහා අනු සිනමා ප්‍රවේශය ලබාගෙන තියෙනවා. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ?
මට මේ ආරාධනාව ලැබෙන්නේ ෆාදර් චිත්‍රපටයේ අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය මහතාගෙන්. ඕනෙම කෙනෙකුගේ සිහිනය සිනමාවනේ. මට ලැබුණු ඒ අවස්ථාව මාත් හරිම සතුටින් භාරගත්තා.
පළමු සිනමා අත්දැකීම මොන වගේ අත්දැකීමක් විදිහට ද ජීවිතේට එකතු වුණේ?
ඔව්. මේ මගේ පළමු සිනමා අත්දැකීම. මේ චිත්‍රපටය මගේ ජීවිතේට එකතු වුණු සුවිශේෂී අත්දැකීමක්. මොකද අතිදක්ෂ ප්‍රවීණයන් රැසක් එක්කයි මට වැඩ කරන්න ලැබුණේ. මම ඒ ප්‍රවිණයන්ගෙන් ඉගෙන ගත්ත දේ බොහොමයි. ඒ ගත කළ කාලය හරියට මට රංගන පාසලකට ගියා වගේ. මේ වගේ ප්‍රවීණයන් දක්ෂයන් ඉන්න නිර්මාණයක් ඔස්සේ මගේ පළමු සිනමා රංගනය ඉදිරිපත් කරන්න ලැබීමම මගේ වාසනාවක් කියලයි මට හිතෙන්නේ.
අනුට බයිසිකල් පදින්න කලින් ඉඳන්ම පුළුවන් ද ෆිල්ම් එක නිසා පුරුදු වුණාද?
ඇත්තම කිවුවොත් මට බයිසිකල් පදින්න බැහැ. මේ ෆිල්ම් එක නිසාම තමයි බයිසිකල් පදින්න පුරුදු වුණේ.
එහෙනම් අනිවාර්යයෙන්ම අමතක නොවන අත්දැකීම් ඇති ?
අමතක නොවන අත්දැකීම් කියල මතක් කරද්දී මුලින්ම මට මතක් වෙන්නේ සඳලතාගේ චරිතයට අත්‍යවශ්‍ය රූගත කිරීමක් විදිහට පාපැදියක් පදින දර්ශනයක් තිබෙන බව අධ්යක්ෂවරයා විසින් පැවසීම. මම කවදාවත් බයිසිකලයක් පැදලා නැහැ. කවුරුත් හිතුවෙ නැහැ මට බයිසිකල් පදින්න බැහැ කියලා. අධ්යක්ෂවරයා හිතල තිබුණෙත් මට බයිසිකල් පදින්න පුළුවන් ඇති කියලා. දැන් රූගත කරන්න සීමිත පැය ගණනක් තියෙද්දී තමයි මගෙන් ඇහුවේ බයිසිකලේ පදින්න පුළුවන් නේද කියලා. ඉතින් මොනව කරන්නද? ඒ පැය කිහිපය ඇතුළත තමයි මම පුරුදු වුණේ. ඇත්තටම ඒ අත්දැකීම මට අභියෝගයක් වුණා. ඒත් එක්කම මට ගොඩක්ම සංවේදී අත්දැකීමක් තියෙනවා. මේ චිත්‍රපටය ගැන්ස්ටර් ෆිල්ම් එකක් නිසා, ආයුධ එක්ක ගින්දර එක්ක ගොඩක් සිදුවීම් රූපගත කෙරුණා. ඒවාත් එක්ක ගනුදෙනු කරද්දී සිදුවුණු අනතුරු වගේ දේවල් මේ චිත්‍රපටය තුළින් මම අත්වින්දා. ඒ දේවල් මට සංවේදී සහ තැතිගැන්වෙන අත්දැකීම් බවට පත්වුණා.
මුලින්ම රිදී තිරයෙන් දකිද්දී මොකද හිතුණේ?
ඇත්තෙන්ම මට ගොඩක් සතුටු හිතුණා. මම කැමතිම රංගන ශිල්පීන් සියයක් සමඟ මාව රිදී තිරයේ දකින්න ලැබුණු එක මම ලබපු ලොකුම භාග්‍යයක් විදිහට මම දකින්නේ.
මේ වෙද්දී චිත්‍රපටය නරඹපු අයගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සඳලතාගේ චරිතයට මම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා කියන එක ඇහෙද්දී ලොකු තෘප්තියක් ලබනවා.
ඉදිරියට එන්න තියෙන සිනමා නිර්මාණ තියෙනවද?
මේ දිනවල නව පිටපතක් ලැබිලා තියෙනවා. ඒ පිටපත කියවමින් ඉන්න කාලයක්. බලමු ඉස්සරහට හොඳ නිර්මාණ කරන්න අදහසක් තියෙනවා.
අනු – කනූ සුසංයෝගයෙන් මොනවද අලුතින් එන්න තියෙන්නේ?
මේ දිනවල මම සහ මගේ නිවුන් සහෝදරිය කනුෂ්කි එක්ක ටෙලිනාට්‍යයක් කරගෙන යනවා. එයත් නුදුරේදීම ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන්. ඒ එක්කම අපි දෙන්නාගේ සමාජ මාධ්‍යවල නිර්මාණ අලුතින් එන්න තියෙනවා.
අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?
රංගන කටයුතු සහ අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන යන්න සහ මගේ පවුලේ අය එක්ක සතුටින් ආදරෙන් ඉන්න තමයි එකම බලාපොරොත්තුව.
ප්‍රේක්ෂකයන්ට ෆාදර් නරඹන්න කියලා මොන විදිහට ද ඇරියුම් කරන්නේ?
මේ වෙද්දී ෆාදර් චිත්‍රපටය ආදරණීය ප්‍රේක්ෂකයන්ට භාරයි. ඒ නිසා ආදරෙන් ආරාධනා කරනවා ෆාදර් චිත්‍රපටය බලන්න එන්න කියලා. ෆාදර් කියන්නේ ගැන්ස්ටර් බයිස්කෝප් එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන් බැලිය යුතු සිනමා නිර්මාණයක්.
ඡායාරූප- ප්‍රසන්න ඉරෝෂන්