ලක්ෂි ජයවර්ධන ප්‍රේක්ෂක ඔබට මේ දිනවල හමුවන්නේ අසංක සායක්කාරගේ කොටු ටෙලි නිර්මාණයේ සුමේධා ලෙසිනි. මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන ‘කොටු’ නිසාම අපි ඇය අපේ කතාබහට එක්කර ගත්තෙමු.
ලක්ෂි මේ දවස්වල කොටුත් එක්ක කොටු වෙලා නේද?
ඇත්තටම ඔව්. මේ දවස්වල අසංක සායක්කාරගේ කොටු ටෙලි නිර්මාණයේ රූගත කිරීම්වල නිරතවෙලා ඉන්නවා. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන කොටු තිරපිටපතත් ඔහුගේමයි.
අසංක සායක්කාර කියන්නේ වෙනස් සංකල්ප ඔස්සේ නිර්මාණ බිහිකරන කෙනෙක්. කොටු සඳහා ඔබට ආරාධනා ලැබෙන්නෙ කොහොමද?
අධ්යක්ෂවරයාගෙන්ම ලැබුණු ආරාධනාවක්. පහුගිය වසරේ සුමති ටෙලි සම්මාන උලෙළේ හොඳම නැඟී එන නිළියට නිර්දේශ වුණු වෙලාවේ සායක්කාර අයියා කිව්වා වෙන වැඩක් පටන් ගන්නවා. ඒකෙ වෙනස් චරිතයක් තියෙනවා කරමු කියලා. ඒ විදිහට තමයි සම්බන්ධ වුණේ.
සුමේධා කියන්නේ මොනවගේ අත්දැකීමක් ද?
සුමේධා කියන්නේ පැක්ට්‍රි දොළහක් අයිති කම්පැණි එකක පෞද්ගලික ලේකම්වරියකගේ චරිතයක්. ඒ චරිතයේ කරන්න දෙයක් තියෙන නිසා චරිතය ගැන කියද්දිම මට ආස හිතුනා. සුමේධාගේ නියම චරිතය තවමත් හරියට එළියට ඇවිත් නැහැ. සෑහෙන කාලයක ඉඳන් ඉන්න පැක්ට්‍රි ගැන සියල්ලම දන්න කම්පැණි එකේ බොස්ට වගේම බොස්ගේ වයිෆ්ටත් සමීපව කටයුතු කරන චරිතයක්. නවීන පන්නයට අඳින, පලඳින නව විලාසිතා කරන කෙනෙක් වුණාට ඇතුළාන්තයෙන් ඇය සාම්ප්‍රදායික කෙනෙක්. තවමත් හරියටම ඒ බව ප්‍රේක්ෂකයා අතරට ඇවිත් නැහැ. අඳින පලඳින විදිහ වගේම කතා කරන විදිහ අනුවත් මං ඒ චරිතය යථාර්ථයත් එක්ක පවත්වා ගෙන යන්න උත්සාහ කරනවා.
සුමේධාට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරනවා නම්?
හොඳ සහ නරක දෙපැත්තෙම ප්‍රතිචාර ලැබෙනවා. දැනට නම් වැඩිපුරම ලැබෙන්නේ ටිකක් විවේචනාත්මක ප්‍රතිචාර. සුමේධා ඇයි ඔය තරම් කොටට අඳින්නේ. සෙකට්‍රි කෙනෙක් ඔය වගේ කොටට අඳින්නම ඕනද? ඒ වගේ ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියේදී නම් වෙනසක් ඇතිවේවි කියලත් හිතෙනවා. මොකද ඉදිරියේදී චරිතය වෙනස් තැනකට ගෙනියන්න හැකියාව ලැබේවි. මගේ පේජ්වලට ගොඩක්ම ප්‍රතිචාර ලැබිල තියෙනවා. පොදුවේ කොටු නිර්මාණයටම ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.
ඔබ දැන් දිගටම කලාවේ රැඳිලා ඉන්නද අදහස?
ඔව්. ඉදිරියේදී ගොඩක් හොඳ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා. කරපු කිහිපයකුත් විකාශය වෙන්න තියෙනවා. ඒ වගේ වෙනස් වෙනස් චරිත කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.
ඔබ සිනමාවටත් සම්බන්ධ වුණා නේද?
ඔව්. තුෂාර තෙන්නකෝන්ගේ රාවණ සිනමාපටය ඔස්සේ සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. භද්‍රා කියන විලන් කැරැක්ටර් එකෙන්. බුවනෙක රණවකගේ වේශ නිරූපණයෙන් මේ ඉන්නෙ මමද කියලත් හිතා ගන්න බැරි වුණා. ගොඩක්ම වෙනස් චරිතයක්. ඉන්දියාවෙන් රාවණව විනාශ කරන්න එන මලයාලම් ගුරුකම් කරන කාන්තාවකගේ චරිතයක්. හරිම ලස්සන අතිදැවැන්ත නිර්මාණයක්. ඒ වගේ නිර්මාණයකින් සිනමාවට එක්වෙන්න ලැබීම ගැන මට පුදුමාකාර සතුටක් තියෙනවා.
හැදෑරීමක් තුළින් කලාවේ ගමනක් යෑම ගැන ඔබට මොකද හිතෙන්නේ?
මං හැම වෙලාවෙම කැමතියි රංගනයේ වුණත් හැදෑරීමක් තුළින් ගමනක් යන්න. ලංකාවේ ඇතුළේ මට ඉගෙනගන්න පුළුවන් හදාරන්න පුළුවන් ප්‍රවීණයන් ළඟට ගිහින් මං රංගනය සම්බන්ධ පාඨමාලා හදාරනවා. ඒ වගේම අපිට ස්වයං අධ්‍යයනයක් තියෙන්නත් ඕන. මමත් පුළුවන් හැමවෙලාවෙම ඒ දේ කරනවා. වැඩක් කරද්දි වුණත් සෙට් එකේ ඉන්න ප්‍රවීණයන්ගෙන් මගේ චරිතය සාර්ථක කරගන්න අලුතෙන් යමක් ඉගෙන ගන්න උත්සාහ කරනවා. මං රංගනයට හරිම ආදරෙයි. ඒක වෘත්තියටත් එහා ගිය ආදරයක් කිව්වත් හරි. කැපවීම සහ මහන්සියෙන් වැඩ කිරීම ඕනෙම දේකට තියෙන්න ඕන. අපි යහපත් දෙයක් කළොත් අනිවාර්යයෙන්ම අපටත් පෙරළා යහපතක් වෙනවා කියන එක මං විශ්වාස කරනවා.
කලාවෙන් කවදහරි මං මේ තැනට යනවා කියලා බලාපොරොත්තුවක් තියේද?
ඕනෑම රංගන ශිල්පියකු හෝ ශිල්පිනියකගේ එකම සිහිනය හොඳම නළුවා හෝ නිළිය කියන තැනට යන එක. මටත් ඒ සිහිනය තියෙනවා. ජනප්‍රිය වෙන්න ඕන තමයි නමුත් මං විශ්වාස කරන්නේ අපි චරිතයක් හොඳට කළොත් අපි මිනිසුන් අතරට යනවා. ලක්ෂි ජයවර්ධන කියන මාවත් ඒ කැටගරිය තුළට ඇතුළු කරගන්න අවස්ථාව ලැබුණොත් ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. යම් දවසක මං බලාපොරොත්තු වන තැනට යන්න පුළුවන් කියන විශ්වාසයත් මට තියෙනවා.
ඔබ කාලයක් ක්ෂේත්‍ර ෙයන් ඉවත් වෙලා ඉඳලා නැවත ප්‍රවේශ වුණු කෙනෙක්. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඔව්. මං අවුරුදු පහක්ම ක්ෂේත්රයෙන් ඈත් වෙලා ඉඳලා නැවත ක්ෂේත්රයට සම්බන්ධ වුණේ. මට හිතෙනවා දෙවැනි ගමන ගොඩක් හොඳයි කියලා. මට හොඳ නිර්මාණවලට කතා කරල තියෙනවා. හොඳ අධ්යක්ෂවරු හමුවෙලා තියෙනවා. හොඳම චරිත ලැබිල තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම ගොඩක් තෘප්තිමත්. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා.
ඔබේ පෞද්ගලික තොරතුරු දැනගන්නත් ප්‍රේක්ෂකයන් කැමැත්තෙන් ඇති?
මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි ඉන්නේ. එක් කෙනෙක් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. අනෙක් අක්කා ලංකාවේ. මම තමයි පවුලේ බාලයා. මගේ තාත්තා සීමන් කෙනෙක්.
ආදරය ගැන ලක්ෂි මොනවගේ අදහසක් ද දරන්නේ?
මේ වෙද්දි නම් ආදරවන්තියක් නෙවෙයි. ආදරණීය අත්දැකීම් ලබලා තියෙනවා. ආදරයේදී මං කැපකිරීම් කරන ගොඩක් නම්‍යශීලී කෙනෙක්. නමුත් මට පෙරළා ඒ දේවල් නොලැබෙද්දි දුකට පත්වෙනවා. ඒ නිසාම මට ඒ අත්දැකීම් සතුටුදායක වුණේ නැහැ. නැවතත් ආදර සබඳතාවකට නොගිහින් මේ දවස්වල කලාවට ප්‍රධාන තැන දීල වැඩ කරගෙන යනවා. අපිව තේරුම් ගන්න, අපිට ගැළපෙන හොඳ සහකරුවෙක් හමුවුණොත් ආදරය කියන්නේ සුන්දර දෙයක්.