ඔහු ලාංකේය සිනමාව තුළ තම අනන්‍යතාව තහවුරු කළ නිර්මාණකරුවෙකි. දශක තුනකට අධික කාලයක් රූප මාධ්‍ය සමඟ නොනිමි ගනුදෙනුවක නිරත වන ඔහු සිය නිර්මාණ දිවියේ පළමු වතාවට අධ්‍යක්‍ෂක අසුන දරන්නේ ‘ෆාදර්’ සිනමා සිත්තම හරහාය. ෆාදර් සිනමාපටය පිළිබඳව අද එක්වන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය.
ෆාදර් සිනමාපටය නිර්මාණය වුණේ කෙසේද?
ෆාදර් සිනමාපටය නිර්මාණය කිරීම සඳහා අපි විශාල කාලයක් ගත කළා. අපි මෙහි පිටපත රචනා කිරීමට මෙන්ම මෙහි කතාව තුළ අඩංගු සැබෑ තොරතුරු එක්රැස් කිරීම සඳහා විශාල කාලයක් මිඩංගු කළා. මෙහි කතා නායකයාගේ කතාව අහලා ඒ තොරතුරු මෙන්ම මෙම සිදු වීමට මුහුණ දුන් වෙනත් මිනිසුන්ගේ තොරතුරුවලට ඇහුම්කන් දීලා අපි මේ කතාව ගොඩනැඟුවා. 2017 වසරේ තමයි අපි මෙහි වැඩකටයුතු ආරම්භ කළේ. ඉතින් මේ කාලය තුළ මේ කතාව වරින් වර කලඹමින් කලත්තමින් කතාබහ කරමින් මේ තත්ත්වයට නිර්මාණය වුණා. මේක සාමූහික වැඩක්. මේක මම විතරක් නිර්මාණය කළ සිනමාපටයක් නෙවෙයි.
ෆාදර් කියන නාමය ගොඩනැඟෙන්නේ කෙසේද මේ ගැන කියමු?
ගෝඩ් ෆාදර් කියන සිනමාපටයෙන් මේ නාමය ආවා වෙන්නත් පුළුවන්. මෙහි කතා නායකයා කුඩා කාලයේ පටන්ම පල්ලියේ සිටින භක්තිමත් තරුණයෙක්. ඔහු දේව ධර්මය අදහමින් ඒ මාර්ගයේ ගියා නම් ඔහු අනාගතයේදී පූජකවරයකු වෙන්න ඉඩ තිබුණා. එයත් මේ නාමය ඇති වීමට බලපෑවා. ඒ වගේම තමන්ගේ බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම තිබෙන්නෙ බැහැ කියලා ඔහු තරයේම කියා සිටි කෙනෙක්. දරුවන්ට මේ දේවල් දෙන්න බැහැ කියන සිතුවිල්ල ඔහු සතුව පැවතුණා. ඔහු විසල් හදවතක් තිබෙන මිනිසෙක්. මෙවැනි හේතු කාරණා රාශියක් එකතුවෙලා තමයි මේ සිනමාපටය ෆාදර් කියන නමින් නම් කළේ. මේ සිනමාපටය නැරඹූ කෙනෙක්ට ෆාදර් කියන නම කෙතරම් සුදුසුද කියා තේරේවි.
සැබෑ කතාවක් ඇසුරින් නිර්මාණයක් කිරීම මොනවගේ අභියෝගයක්ද?
සැබෑ කතාවක් ඇසුරින් තමයි මෙය නිර්මාණය වුණේ. මේක මට විශාල අභියෝගයක් වුණා. සැබැවින්ම පැවැති දේවල් ප්‍රතිනිර්මාණය කිරීම ඒ ඉතිහාසය නිර්මාණය කිරීම මට විශාල අභියෝගයක් වුණා. ඉන්ස්පයර් බයි ටෲ ඉවෙන්ට් කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. අපි හැකිතාක් සැබැවින්ම සිදු වූ දෙය සිනමාවට ගෙන ඒමට උත්සාහ කළා. ඇත්තම කියනවා නම් මෙහි තිබෙන සිදුවීම් සියල්ලම ඇත්ත. කාටවත් මෙහි තිබෙන දේවල් බොරු කියලා විවේචනය කරන්න බැහැ. යම් කෙනකු කතාවක් කියන්නේ ඔහුගේ දෘෂ්ටි කෝනයෙන්. මේ ඔස්සේ විවිධ පුද්ගලයන්ගෙ කතාන්දර එක්රැස් කරන්න අපි සෑහෙන වෙහෙසක් දැරුවා. මේක ඉතා වෙහෙසකර සහ අභියෝගාත්මක දෙයක්. මේ වගේ දෙයක් මහන්සිවෙලා කරන්න ඕන. නැති නම් නොකර ඉන්න ඕන.
මෙහි නළු, නිළි වරණය පිළිබඳව විශාල කතාබහක් ඇති වී තිබෙනවා ඒ ගැන කියනවා නම්?
රඟපාන්න කැමරාවක් ඉදිරියට පැමිණිය යුත්තේ පුහුණු නළුවකු කියන දෙය මම විශ්වාස කරනවා. මම කාලයක් පුරා මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින කෙනෙක්. මම ලෙහෙසියට, පහසුවට, හිතුණු විධියට වැඩ කරන්න කැමැති නැහැ. චරිතය නිරූපණය කිරීම සඳහා සුදුසුම නළුවා තෝරා ගැනීම තමයි මම සිදු කරලා තිබෙන්නේ. හැඩය, පෙනුම, පැහැය අනුව ඒ චරිතයට සුදුසු ජගත් මනුවර්ණ නම් මම ඔහුව මෙයට ගන්නවා. ඒ චරිතයට සුදුසු සෞම්‍ය ලියනගේ නම් මම ඒ සඳහා ඔහුව යොදා ගන්නවා. මට අවශ්‍ය සුදුසු කෙනා මම කෙසේ හෝ ඒ චරිතයට යොදා ගන්නවා. අද මගෙන් ඔබ මේ ගැටලුව අසනවා කියන්නේම මම කරලා තියෙන දෙය සාර්ථකයි කියා මම සිතනවා. අපිට අවශ්‍ය වුණේ ඒ දෙය. මේ සියලු දෙනා පෞද්ගලිකව මගේ මිතුරු මිතුරියන්. ඔවුන්ගෙන් මට ලැබුණු සහාය කියා නිම කරන්න බැහැ. ඔවුන් මගේ සිනමාපටය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළේ මුදල මත නෙවෙයි. පුහුණු නළුවකු යොදා ගැනීම සිනමාවේ නියතයක් ලෙස මම දකිනවා. ඒ දේවල් විය යුතුමයි කියා මම සිතනවා.
අපරාධ සහ ත්‍රාසජනක ශානරයේ සිනමාපට පිළිබඳව ඔබේ අදහස?
මම සෑහෙන සිනමාපට ප්‍රමාණයක් නරඹනවා. මම සිනමාපට නරඹන්නේ අධ්‍යාපනය ලබා ගැනීමට. මගෙන් බොහෝ අය අහනවා මම කොහෙන්ද සිනමාව ඉගෙන ගත්තේ කියලා. මම සිනමාව ඉගෙන ගත්තේ ස්වයං අධ්‍යයනයෙන්. අපරාධ සහ ත්‍රාසජනක ශානරයේ සිනමාපටවලට මම ඉතා කැමැතියි. ඒවායෙහි තිබෙන්නේ හරි අවංක ජීවිත. ඒ ජීවිත හොඳද නරකද කියන දෙය ජජ් කරන්න මම කැමැති නැහැ. ඒ ජීවිත හැදිලා තිබෙන්නේ යම් විධියකට. කවුරුත් මිනීමරුවෙක් වෙනවා කියලා හිතාගෙන ඉපදිලා නැහැ. ඔහු යම් අවස්ථාවක වින්දිතයෙක්. ඒ දෙය එහෙම නොවුණා නම් ඔහුගේ මාර්ගය වෙනස් වෙන්න තිබුණා. අපි කිසිම විටක මිනීමරුවකු වන්නේ නැහැ.
යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝද?
මේ කතාව සහ කතා නායකයා වටා තිබෙන පරිසරය ආගමිකයි. ඒ නිසාම අපි මේ බයිබලයීය උපුටනය යොදා ගත්තා. අපි මේ හැමදේම කරන්නේ යුක්තිය කියන දෙය ලබා ගන්න කියලා මට සිතෙනවා. යුක්තිය ඉටුකර ගන්න නීති මාලාවක් පවා හැදී තිබෙනවා. අපිට කරදරයක් වුණු විට දෙවියන්ගෙන් අපි යුක්තිය ඉල්ලා සිටිනවා. ලෝකයේ කිසිම තැනක දෙවියන් මත්ද්‍රව්‍යකරුවත් ආරක්ෂා කරන්නෙ නැහැ. යුක්තිය තමයි මිනිසකුට තිබෙන වටිනාම දෙය.
ගිහාන් සචින්ත