තිළිණි කෞෂල්‍යා කියන්නේ මේ දිනවල කොටු ටෙලි නාට්‍යය හරහා ඔබේ හදවතේ රැඳුණු චරිතයක් නිරූපණය කරන සුරූපී රංගන ශිල්පිනියක්. ඇය පණ පොවන සිතූගේ චරිතයට මේ දිනවල රසික ආදරය නොඅඩුවම ලැබෙනවා. ඉතින් මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්.
මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල නම් කොටු ටෙලි නාට්‍යයේ රූගත කිරීම් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එක්කම තවත් නාළිකාවක ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක රූගත කිරීම් ආරම්භ කළා. තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් අවසන් කළා. ඒකත් ඉදිරියේදී බලන්න පුළුවන් වෙයි. තවත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලත් තිබෙනවා. ඒවත් එක්ක තමයි දින ගෙවෙන්නේ. දෙරණ නාලිකාවේ සති අන්තයේ විකාශය වන කොල්ලයි බල්ලයි කාටූන් එකේ හඬ කැවීම් කටයුතුත් කරනවා. ඒ වගේම මගේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුත් කරගෙන මාධ්‍ය ජීවිතෙත් වැඩකටයුතු කරගෙන යනවා.
“කොටු” ටෙලි නාට්‍යයේ සිතූට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම සිතූගේ චරිතය මට හරිම අහම්බයකින් ලැබුණු චරිතයක්. ඒ අහම්බයෙන් ලැබුණු චරිතය ඇතුළේ මේ වෙද්දී හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ඒ හැමදෙයකටම සායක්කාර අයියට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මොකද අවුරුද්දේ මුල තිබුණු අසංක සායක්කාර අයියාගේ වැඩමුළුවක් හරහා තමයි සායක්කාර අයියා මාව දැනගන්නේ. ඊට පස්සෙ තමයි ඔහුගේ අලුත්ම නිර්මාණය වුණු කොටු ටෙලි නාට්‍යයේ සිතූගේ චරිතයට මාව තෝරා ගත්තේ. සිතූ හරි අහිංසක චරිතයක්. සමාජ අපවාදයට බය හරිම සැහැල්ලු චරිතයක්. නමුත් ප්‍රශ්න ගොඩක් එක්ක සමාජයට මුහුණ දෙන චරිතයක්. ඉතින් සබුද්ධික ප්‍රේක්ෂක ජනයා හරිම ආදරයෙන් සිතූට හොඳ ප්‍රතිචාර ලබාදීලා තිබෙනවා. ඉතින් ඒක හරිම සතුටෙන් කරගෙන යන වැඩක්.
නවක පරපුර සහ ප්‍රවීණ පරපුර අතර ඇති අන්‍යොන්‍ය බැඳීම ඔබ දකින්නේ කෙසේද?
ඇත්තටම ප්‍රවීණයන්ගේ සහයෝගය අපට හැමවෙලේම ඕනෑ කරනවා කියන දේ මම විශ්වාස කරන දෙයක්. කොටු ටෙලි නාට්‍යයේ ආධුනික රංගන ශිල්පීන් ගොඩක් ඉන්නවා. නමුත් ඔවුන්ට තමන්ගේ රංගන දායකත්වය ඒ ටෙලි නාට්‍යයට හොඳින්ම ලබා දෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඒකෙ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පීන් ගේ සහයෝගය නිසයි. ඒක රූගත කිරීම් අවස්ථාවලදී අපි හොඳින්ම දකින දෙයක්. ඔවුන් ඉවසීමෙන්, නිහතමානීව කටයුතු කරනවා. ප්‍රවීණත්වය කියන්නේ අත්දැකීම් මතත් විෂය දැනුම එක්කත් ගොඩනැඟුණු දෙයක් කියලා නව පරපුර අවබෝධ කරගන්න ඕනෑ. අපිට වඩා දේවල් ඒ අය මේ ක්ෂේත්‍රය ඇතුළේ දන්නවා. අපි හරිම නිහතමානී වෙලා ඔවුන් එක්ක ආදරණීයව ගනුදෙනු කරලා දේවල් ඉගෙන ගන්න ඕනෑ. නව පරපුරේ අයට ගොඩක් වරදින තැනක් තමයි ඒ නිහතමානීකම නැති වීම. තමන්ගේ ගමන ඇතුළේ තමන් සාර්ථකත්වයක් හොයනවා නම් ප්‍රවීණයන්ට අනිවාර්යෙන්ම ගරු කරන්න ඕනෑ. මට රංගන ශිල්පිනියක් විධියට ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් කිහිපදෙනකු එක්කම රඟපාන්න ලැබුණා. නව පරපුරට ප්‍රවීණ පරපුර දෙන සහයෝගය ඇත්තටම අගය කරන්නම ඕනෑ.
ඔබේ රංගන කුසලතා වැඩි දියුණු කර ගැනීමට ඔබ අනුගමනය කරන විශේෂ ක්‍රම මොනවාද?
ගොඩක් වෙලාවට රඟපාන මුල් කාලයේ මේ තුළ තිබෙන තාක්ෂණික පැතිකඩ අපි දැනගෙන හිටියේ නෑ. හොඳ රංගන ශිල්පියෙක් වෙන්න නම් හැදෑරීමක් තිබෙන්න ඕනෑ. මම විශ්වවිද්‍යාලය තුළ රංගනය හදාරන කෙනෙක් නෙවෙයි. පාසල් කාලයේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණු කෙනෙක්. එතැනින් පසුව මම වැඩමුළු ගණනාවකට සම්බන්ධ වෙලා තිබෙනවා. මගේ මුල්ම මාධ්‍ය ගුරුතුමා අතුල රන්සිරිලාල් සර්. ඊට පසුව මට සද්ධා මංගලසූරිය බණ්ඩාර, ප්‍රසන්න මහගමගේ වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම Institute of media and preforming arts ඇකඩමි එක මතක් කරන්න ඕනෑ. රංගන ශිල්පීන් විධියට නිරතුරුවම අපි මොනවාහරි දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕනෑ.
දැන් කලාවට විවිධාකාර මාර්ගවලින් නවක ශිල්පීන් පහසුවෙන් එක් වෙනවා. නමුත් ඔවුන් ඉතා ඉක්මනින් නිවී යන තරු බවට පත්වීම ගැන ඔබේ අදහස?
ඇත්තටම ගොඩක් අය ක්ෂේත්‍රයට එනවා. ක්ෂේත්‍රයට එන්න පහසුයි. තමන්ගේ දක්ෂතාව තිරය තුළ පෙන්වලා අද පිරිසක් අතර ඉන්න සුළු චරිතයක හිටපු කෙනෙක්ට හෙට ප්‍රධාන චරිතයක් වෙන්න පුළුවන්. කොයි විධියට ක්ෂේත්‍රයට ආවත් ක්ෂේත්‍රය තුළ සදාකාලිකවම රැඳිලා ඉන්න නම් දේවල් ඉගෙන ගන්න ඕනෑ. නිහතමානී වෙන්න ඕනෑ. ඒ වගේම හැමෝටම ගෞරව කරන්න ඕනෑ. තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න ඕනෑ. හැමදේටම මුහුණ දෙන්න පුළුවන් විධියේ පෞරුෂත්වයක් තිබෙන්න ඕනෑ. ක්ෂේත්‍රයට එන්න පහසු වුණාට රැඳෙන්න අමාරුයි. රැඳෙන්න නම් හරි දේ ඉගෙන ගන්න ඕනෑ.
ඔබට ලැබෙන රසික ආදරය දැනෙන්නේ කොහොමද?
රසික ආදරය ගත්තම ඒක විවිධාකාරයි. සමහරු බනිනවා. සමහරු හොඳ කියනවා. කරන චරිත මත මිනිස්සු මගේ චරිතය විග්‍රහ කරනවා. නමුත් ඒ හැමදෙයක්ම මාව නොදන්නා අය කරන දේවල් නිසා මම ඒ දේවල් ගැන වැඩියෙන් හිතන්නේ නෑ. අපි නොදන්නා කෙනකු ගැන ඔවුන්ගේ රංගනය මත පදනම්ව විවේචනය කිරීම නරකයි. නිර්මාණ රසවිඳින්න. එතැනින් එහාට නිර්මාණයේ ඉන්න නළු-නිළියන්ව චරිතයේ කෝණයෙන් දකින්න එපා. තිරයේ හැම සුදු චරිතයක්ම තිරය පිටුපස සුදු චරිත නොවෙන්න පුළුවන්. නමුත් තිරයේ හැමවෙලේම කළු චරිත නිරූපණය කරන මිනිසුන් සාමාන්‍ය ජිවිතයේ අතිශය සුදු හොඳ මිනිසුන් වෙන්න පුළුවන්. ඒක සමාජයේ මිනිසුන් තේරුම් ගන්නේ නෑ. සමාජයේ මිනිසුන් හැමවෙලේම පිටකවරෙන් තමයි මනින්නේ. නමුත් ඒකට දොස් කියන්නත් බෑ. මට කැමැති මිනිසුන් වගේම අකැමැති මිනිස්සුත් ඉන්න පුළුවන්. ඒ දෙපාර්ශ්වයටම මම හරි ආදරෙයි.
ආදරය හා විවාහය පිළිබඳ ඔබේ කියැවීම?
ආදරය සහ විවාහය ඕනෑ. නමුත් ඇතැම් අයට විවාහය ඕනෑ නෑ කියලා හිතෙන්න පුළුවන්. ආදරය හරි සුන්දර දෙයක්. ඒක විඳින්න හැමකෙනකුටම වාසනාව තිබෙන්න ඕනෑ. ජීවිතය තුළ අපිව තේරුම් ගෙන අපේ වෘත්තීය තේරුම් ගන්නවා නම් ගොඩක් වටිනවා. දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන අවබෝධයෙන් ඉන්නවා නම් බාහිර පාර්ශ්වයන් ප්‍රශ්න ඇති නොකර ඉන්න ඕනෑ.
යූටියුබ්හි කෙටි නාට්‍යයවල ඔබ බොහෝ ජනප්‍රිය වූවා නේද?
යූටියුබ් අවකාශය ගැන මම ලොකුවට කතා කරන්න කැමැති නෑ. නමුත් හරි ටී.වී නාළිකාව ගැන කතා කරන්න ඕනෑ. ඒක සමාජය තුළ යම්කිසි පණිවුඩයක් දෙන්න හදපු නාළිකාවක්. මාව ගොඩක් අය හඳුනාගත්තේ හරි ටී.වී එකෙන්. ඒකට ලහිරු අයියාට ස්තූති කරන්න ඕනෑ.
ඔබේ පවුලෙන් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?
අම්මා, තාත්තා මගේ පවුලේ අය ලොකු සහයෝගයක් දෙනවා. ඒ අයට මම ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. රංගනය කියන්නේ මෙහෙම දෙයක් කියලා අවබෝධයක් තිබෙන පවුලක් මට ඉන්නේ.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
ප්‍රාථමික අංශ ගුරුවරියක් විධියට ඉදිරියේදී සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. හොඳ නිර්මාණවලට වෙනස් නිර්මාණවලට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉදිරි අනාගතයේ මම ආශා කරන මගේ හීනවලට යන්න අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ හම්බුණ අවස්ථා ඇතුළෙත් ඒ හීනවලට යන්න උදවු කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා.
රුවිනි අමරකෝන්