එදා ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයෙන් රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන ඇය අදටත් වේදිකාවට නැතිවම බැරි චරිතයක්. ඒ විතරක් නෙවෙයි, ටෙලි නාට්‍ය වගේම සිනමාව තුළිනුත් ඇයගේ රංගන ප්‍රතිභාව රසිකයන්ට දැන් වැඩි වැඩියෙන් දැකබලාගන්න අවස්ථාව ලැබෙනවා.
ඇය රංගනයෙන් දායක වුණ අලුත්ම සිනමාපටය, ‘සයනයිඩ්’ හි මාධ්‍ය දර්ශනය පසුගිය දා පැවැත් වුණා. එහිදී ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතාකාන්ති ජයකොඩි සමග පුංචි සංවාදයක යෙදෙන්න ‘මීවිත’ අපිට අවස්ථාව ලැබුණා.
‘සයනයිඩ්’ සිනමාපටයේ මාධ්‍ය දර්ශනයේදී ලැබුණු ප්‍රතිචාර මොන වගේද?
එදා මේ සිනමාපටය බැලුවෙ බොහොම සීමිත පිරිසක්නෙ. ඔවුන්ගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. බොහෝ දෙනෙක් කිව්වෙ අපි නොදන්න ගොඩක් දේවල් මේ නිර්මාණය හරහා දැනගන්න ලැබුණා කියල. ඇත්තටම මමත් මේ නිර්මාණය හරහා බොහෝ දේ ගැන දැනුවත් වුණා.
සයනයිඩ් සමග සම්බන්ධ වෙන්න ලැබෙන්නෙ කොහොමද?
මේ නිර්මාණයට මට ආරාධනා කරන්නෙ අධ්‍යක්‍ෂ නලීන් රාජපක්‍ෂ මහත්මයා. කාස්ට් කරනකොට ඔවුන්ට දැනෙන්න ඇති ටැමිල් චරිතයකට මගෙ මුහුණ ගැළපෙනව කියල. මින් පෙරත් මමයි නිහාල් සිල්වායි, නිහාල් ජයවර්ධන මහත්මයාගෙ ටෙලි නාට්‍යයක දමිළ චරිත රඟපෑවා. නමුත් සයනයිඩ් හි දමිළ චරිතය රඟපාන්නෙ බොහෝ කාලයකට පස්සෙ.
දමිළ භාෂාව කතාකරන්න පුළුවන්ද?
ඇත්තටම මට දමිළ භාෂාව කතාකරන්න බැහැ. නමුත් ඒ අවස්ථාවේදි රාජා ගනේෂන් මට ගොඩක් උදව් කළා වචන උච්ඡාරණය හදාගන්න. අපි දෙන්නම ගුවන් විදුලියේත් රැකියාව කළ නිසා ඒ දැනහැඳුනුම්කමත් අපිට තිබුණා. ඒ අවස්ථාවට මම කතා කළත් ඩබ් කළේ වෙන කෙනෙක්.
ඔබේ චරිතය වෙන්නෙ වර්ධරාජා පෙරුමාල්ගෙ බිරිඳ. මීට පෙර ඔවුන් ගැන තොරතුරු දැනගෙන හිටියද?
විශේෂයෙන් කියල මම ඔවුන් ගැන තොරතුරු දැනගෙන හිටියෙ නැහැ. නමුත් මේ වැඩේ පටන්ගත්තට පස්සෙ මම ඒ තුළින්ම ඔවුන් ගැන අධ්‍යයනය කරමින් චරිතයට හැඩගැසුනා.
කොහොමද රඟපෑම් වැඩකටයුතු?
මේ දවස්වල සුදේශ් වසන්ත පීරිස් මහත්මයාගෙ ‘රතී’, චිත්‍රපටයේ වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නව.
ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක් හැටියට එදා සහ අද කලාවේ වෙනස දකින්නෙ කොහොමද?
අද අපිට දකින්න තියෙන්නෙ හරි ඉක්මනින් කරන වැඩ. කාලය, මුදල් වගේ දේවල් එක්ක ගත්තාම අද කාලෙ හැටියට එහෙම වැඩකරන්න සිද්ධ වෙනව. නමුත් නිර්මාණයක් කියන්නෙ සංකීර්ණ දෙයක්. උඩින්පල්ලෙන් වචන විතරක් කියන දෙයක් නෙමෙයි. අපේ ඇඟට ඒක එනව. අද ගොඩක් ඒවාවල තියෙන්නෙ ඉතා ඉක්මනින් ෂූටිං කරල නාට්‍යයක හෝ චිත්‍රපටයක නමක් රන්දන එකක් නොවෙනවග මට තේරුණා. නමුත් අලුත් නිර්මාණ ගොඩක් කෙරෙන්නෙ එහෙම තමයි.
ගීතාකාන්ති ජයකොඩි රඟපෑමට විතරක් සීමා වුණ කෙනෙක් නෙමෙයි?
ඔව්, මම ගුවන්විදුලියේ නොකරපු දෙයක් නැහැ. ළමාපිටියේ ඉඳන් ගායනය, නිවේදනය, පිටපත් කියවීම, නිෂ්පාදනය වගේ හැම දෙයක්ම කළා. අවසානයේ මම එතැනින් ඉවත් වෙන්නෙ විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පිනියක් හැටියට.
‘කැලණි පාලම’ ඔබේ ජීවිතයට සුවිශේෂියි?
ඔව්, මම ප්‍රායෝගිකව රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නෙ ‘කැලණි පාලම’ තුළින්.
විද්‍යා අංශයෙන් ඉගෙනගත්ත ඔබ, කලා ක්‍ෂේත්‍රයේ නතර වෙනව?
මගේ තාත්තාත් සිංහල වෛද්‍යවරයෙක්. උසස් පෙළින් පස්සෙ මම විද්‍යා විෂයයන් හැදෑරුවාට, අට ශ්‍රේණිය දක්වාම මම කළේ කලාව. මේ මොන දේ කළත් මම පන්තියෙත් පළමුවැනියා වුණා.
ජනප්‍රියත්වය ගැන අදහස මොන වගේද?
ඇත්තටම ජනප්‍රියත්වය කියන්නෙ මට ඉබේ ලැබුණ දෙයක් මිසක මම හඹාගෙන ගිහින් ලබාගත්ත දෙයක් නෙමෙයි. අනෙක කොහොමත් මම එච්චර ලස්සන කෙනකුත් නෙමෙයිනෙ. අපිට ලැබෙන, පැවරෙන වැඩ කොටස කළා හැරෙන්න ඉන් එහා දෙයක් ගැන අපි හිතුවෙ නැහැ. නමුත් අද අපිට ඒක හොඳින්ම දැනෙනව.
වේදිකාවේ වැඩකටයුතු කොහොමද?
වේදිකාවේ ගොඩක් වැඩවලට මම සම්බන්ධවෙලා නැහැ. කැලණි පාලමේ මම දැන් කරන්නෙ රූපවතීගේ චරිතය. දැනට ඒක විතරයි. ඒ හැරුනාම ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’ කියන ටෙලි නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නව. ඒ වගේම ‘වන්ඩි’ සිනමා නිර්මාණයටත් සම්බන්ධ වුණා.
‘වන්ඩි’ තුළින් මොකක් ගැනද කතා වෙන්නෙ?
මේ නිර්මාණය තුළ කතාවෙන්නෙ, කෑම ඩිලිවරි කරන පිරිමි ළමයෙක් ඒකට මුවාවෙලා වෙනත් වැරදි ක්‍රියාවන් සිදු කිරීම ගැන. ඔස්ටේ්‍රලියන් පිරිමි ළමයෙක් තමයි මේක කළේ. එයා මැරි කරල ඉන්නෙ ලංකාවෙ ගැහැනු ළමයෙක්ව. මේ නිර්මාණය කළේ සිංහලෙන්. නමුත් සම්බන්ධවෙලා හිටපු ගොඩක් දෙනෙක් දමිළ අය.
දුව පබෝධා ගැනත් කියන්න යමක් ඇති?
ඇත්තටම මට සතුටුයි මගේ දුව කලාවේ මෙතෙක් දුර ආපු ගමන ගැන. ඇයගේ දක්‍ෂතා ගැන බොහෝ දෙනෙක් කතාවෙනව වගේම මම මගේ ඇස් දෙකෙන් දැකල තියෙනව. ඒ වගේම කියන්න ඕන, අපෙන් පස්සෙ පරම්පරාවේ අයගෙ සිතුවිලි එලියට දක්වන විදිහ හරි පුදුමයි වගේම ප්‍රශංසනීයයි.
සැබෑ ජීවිතයේ අම්මා සහ දුව ‘ශ්‍රී සිද්ධා’ සිනමා නිර්මාණයේත් අම්මා සහ දුව විදිහට රඟපානවා?
ඔව්, ඒක හරි ලස්සන චිත්‍රපටයක්. අපි දෙන්නට අම්මා සහ දුව විදිහට රඟපාන්න ලැබුණ එකම නිර්මාණයත් ඒක. නමුත් මට හිතෙනව ඒක තිරගත වුණේ සුදුසු කාලෙ නෙමෙයි කියල. මොකද ගොඩක් දෙනෙක් මේ නිර්මාණය ගැන දන්නෙත් නැහැ.
මහේෂ් එදිරිසිංහ