දිගටම රඟපාන්න අදහසක් නැහැ – කුශේන්‍යා ෆොන්සේකා

gossiplanka image 2
 


ප්‍රේමය නම්, රූකඩ පැංචි චිත්‍රපට ප්‍රේක්‍ෂකයන්ට තිළිණ කළ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ සොහොයුරන්ගේ තුන්වන සිනමා නිර්මාණය වන “මලකි දුවේ නුඹ” සිනමා නිර්මාණය මේ අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා තිරගත කිරීම ආරම්භ කරපු සිනමා නිර්මාණයයි. අපෙන් සමුගත් සිංහල සිනමාවේ නිළි රැජන ආචාර්ය මාලනී ෆොන්සේකා නම් ඒ මහා වෘක්ෂය මව වෙමින් ඒ සෙවණේ හැදී වැඩුණු සැම අද වෙනකොට මහා ගස් බවට පත්වී ඇත. නිළි රැජනගේ තුන්වැනි පරම්පරාව නියෝජනය කරමින් ඒ උරුමයෙන් සිනමාවට පෑයූ තාරකාවිය කුශේන්‍යා ෆොන්සේකා ය. නිළි රැජන මාලනී ෆොන්සේකා තමාගේ පරම්පරා දෙකක් සමග එකම චිත්‍රපටයක රඟපාන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.


2014 මලිත් හෑගොඩගේ ‘දැකලා පුරුදු කෙනෙක්’ සිනමාපටය හරහා සිනමාවට පිවිසි කුශේන්‍යා, කල්පන -වින්දන සොහොයුරන්ගේ රූකඩ පැංචි සිනමා නිර්මාණයෙන් ද දක්නට ලැබුණි. ඒ වගේම නව පරපුරේ දක්‍ෂ ගායකයෙක් සහ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් වන සනුක වික්‍රමසිංහයන්ගේ “ඉතින් මම ඉන්නවා” ගීතයේ රූප රචනාවට එක්වෙමින් ප්‍රේක්‍ෂක ආදරය දිනා ගත්තේය. තුෂේත්‍යා, ‘මලකි දුවේ නුඹ’ සිනමා නිර්මාණයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කරමින් වසර හයකට පසුව නැවතත් සිනමාවට පිවිසෙන්නීය. 2026 වසරේ ‘මීවිත’ කවරය හැඩ කරන කුශේන්‍යාගේ හඬයි මේ.



කුශේන්‍යා කොහොමද ඉතිං?


හොඳයි, හොඳයි වරදක් නැහැ. බොහොම හොඳින් කාලය ගෙවිල යනවා.


‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටයට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාර ද?


මම හිතුවෙවත් නැති විදිහට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. තවම චිත්‍රපටය තිරගත වෙන්න පටන් අරගෙන දවස් දෙකයිනේ. ඉදිරියේදී තමයි ඒ ගැන හරියටම කියන්න පුළුවන් වෙන්නේ.


ඔබට කොහොමද ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ?


මම මීට කලින් කල්පන සහ වින්දන අංකල්ල කරපු ‘රූකඩ පැංචි’ චිත්‍රපටයේ රඟපෑවා. ඊට පසුව තමයි මේ චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ.


රූගත කිරීම් අත්දැකීම් මොන වගේ ද?


මට මුල් වතාවට ලොකු ආච්චි වගේම නැන්දත් එක්ක එකට රඟපාන්න ලැබුණා. ඒක වෙනම අත්දැකීමක්.


නැන්දා සහ ආච්චිගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක් ද?


ලොකු ආච්චිගෙන් සහ නැන්දාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ලොකු ආච්චි කියල දුන්නා රඟපාන්න ඕනෑ විදිහ.



කුශේන්‍යා තවම ඉගෙන ගන්නවා නේද?


මම දැනට පෞද්ගලික අධ්‍යාපන ආයතනයක මානව සම්පත් අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා.


අග්‍රගණ්‍ය නිළි රැජන වුණු මාලනී ෆොන්සේකා වන ඔබේ ආච්චිට මේ චිත්‍රපටය නරඹන්නත් බැරි වුණා?


ඇත්තටම හරිම කනගාටුයි. ෆිල්ම් එක බලන බලන වාරයක් පාසා මතක් වෙන්නේ ‘අයියෝ ආච්චිට චිත්‍රපටය බලන්න බැරි වුණානේ” කියලයි.


පුංචි කාලෙ ඉඳලා රඟපෑමට ආසාවක් තිබුණා ද?


මම මේ ක්‍ෂේත්‍රයට එනවා, මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යනවා කියලා පුංචි කාලෙ ඉඳලා ආසාවක් හිතේ තිබුණේ නැහැ.


රූකඩ පැංචි රඟපෑ කාලය එහෙම මතක ද?


මගේ සීයා ආනන්ද ෆොන්සේකා. එයා ඡායාරූප ශිල්පියෙක්. සීයා කැමරාව පරීක්‍ෂා කරගන්න කියලා මගේ පිංතූර වගයක් ගත්තා. ඒ පින්තූර ටික සමනලී නැන්දා ෆේස්බුක් දැම්මට පස්සේ ඒක වින්දන සහ කල්පන අංකල්ල දැකලා නැන්දාට කතා කරල මාව සම්බන්ධ කරගත්තේ.


නැන්දා සහ ආච්චි එක්ක එකට වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ?


ඇත්තටම ආඩම්බරයි. නැන්දා සහ ආච්චි එක්ක එකටම රඟපාන්න ලැබෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. හරිම සතුටුයි.


නැන්දා සහ ආච්චි රඟපෑ චිත්‍රපට නරඹලා එහෙම තියෙනවා ද?


මම අන්තිමටම බැලුවේ “ආකාස කුසුම්” චිත්‍රපටය.


නැන්දා සමනලීගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක් ද?


මට ගොඩක් වෙලාවට රඟපාන්න තිබුණේ නැන්දත් එක්ක.


නැන්දාගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.


චිත්‍රපටය නරඹද්දි දුවට මොකද හිතුණේ?


මම හිතුවටත් වඩා හරි ලස්සන චිත්‍රපටයක්. සමාජයට හොඳ පණිවුඩයක් ලබාදෙන චිත්‍රපටයක්. පිටපත කියවනවට වඩා චිත්‍රපටය නරඹද්දි තමයි ඒකෙ තියෙන වටිනාකම තේරුණේ. ඇත්තටම ‘මලකි දුවේ නුඹ’ කියන්නේ අපේ කාලයේ අපේ පරම්පරාවේ කතාවක්. අපේ පරම්පරාවෙන් වර්තමාන සමාජයට හොඳ පණිවුඩයක් ලබාදෙනවා.


ඔයාගෙ අම්ම, තාත්ත චිත්‍රපටය නරඹලා මොනවද කිව්වේ?


ඇත්තටම එයාලටත් දුකයි ආච්චිට චිත්‍රපටය බලන්න හම්බවුණ නැති එක ගැන. එයාලත් කිව්වා ලස්සන කතාවක් කියලා.


දිගටම රඟපාන්න අදහසක් තියෙනව ද?


වෘත්තීයමය වශයෙන් දිගටම කරන්න අදහසක් නැහැ. අධ්‍යාපනයෙන් තමයි මම ඉදිරියටම යන්න හිතාගෙන ඉන්නේ. හැබැයි හොඳ අවස්ථාවක් ලැබුණොත් රඟපානවා.


පාසල් කාලයේ ක්‍රීඩාවටත් දක්‍ෂයි කියලා ආරංචියි?


පාසල් කාලයේදී මම කළේ බැඩ්මින්ටන් සහ පිහිනීම. හැබැයි මම ඒක කළේ විනෝදාංශයක් හැටියටයි. එහෙම නැතිව ක්‍රීඩාවෙන් ඉදිරියට යන අදහසක හිටියේ නැහැ.


ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?


උපාධියේ වැඩ කටයුතු අවසන් කරලා අධ්‍යාපනයෙන් ඉදිරියටම යන්න තමයි හිතාගෙන ඉන්නේ.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post