ඇය කලාවට පිවිසෙන්නේ ගායිකාවක ලෙසිනි. මේ වනවිට ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක බවට පත් වී ඇත. ගායනයට මෙන්ම රංගනයට ද එකසේ දස්කම් පාන ඇය හංසිණී විමල්සිරිය. මේ කතාබහ ඇය සමඟිනි.
ඔබේ බලාපොරොත්තුවක් තිබුණද කවදා හරි කලා ක්ෂේත්‍රයට එනවා කියලා?
පුංචි කාලෙ දී කලා ක්ෂේත්‍රයට එනවා කියල නම් ආසාවක් තිබුණෙ නෑ, මට ගීත ගායනා කරන්න පුළුවන් කියලා මම අඳුර ගත්තෙත් පාසලේ හය හත ශ්‍රේණිවලදී. ඒත් මේ වගේ තැනකට එයි කියලා නම් හිතුවේ නෑ.
කලා ක්ෂේත්‍රයේ ගමනට අධ්‍යාපනයත් වැදගත් වෙනවා නේද?
ඔව්. මුලින්ම සංගීතය විෂයක් විදිහට හැදෑරුවේ නෑ. නමුත් මට සංගීත හැකියාව තිබුණා. මට පාසලේ සංගීත ගුරුතුමිය වූ කුමුදු ගුරුතුමිය ගොඩාක් උදවු කළා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ අතරේ මට පුළුවන් වෙනවා ඩ්‍රීම්ස්ටාර් තරගයට සහභාගී වෙන්න. ඩ්‍රීම්ස්ටාර් තරගයට යන්න කලින් මං මගේම ගීත දෙකක් නිර්මාණය කරලා තිබුණා.
ඔබගේ මුල්ම රූපවාහිනී අත්දැකීම පිළිබඳව කිවුවොත්?
මම මුලින්ම රූපවාහිනි වැඩසටහනකට කියලා සහභාගී වෙන්නේ ස්වර්ණවාහිනියෙන් විකාශය වුණු අසෙනිය මල් සංගීත වැඩසටහනින්. විශ්වවිද්‍යාලයේ ඉන්දිකා උපමාලි මිස් තමයි මාව ඒ අවස්ථාවට සම්බන්ධ කරන්නේ.
සංගීත ගමනේ ඔබගේ මුල්ම ගීතය ප්‍රේක්ෂකයා අතරට ගෙන ගියපු අත්දැකීම කොහොමද දැනුණේ?
මගේම කියලා ගීතයක් මුලින්ම එළිදක්වන්නේ කිසිම වැඩසටහනකට යන්න කලින්. ඒ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළේ අද වෙනකොට දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක් වන තරිඳු දම්සර. පද රචනය කලේ හර්ෂි සේනාධීර. නොකියනා කතාවක් එහෙම නැත්නම් ආදරේ කතාවක් තමයි මගේ පළවෙනි ගීතය. ගීතය ෂෙයාර් වුණේ අපි දන්න කියන නෑදෑයෝ අතරේ සහ යාළුවෝ අතරේ. ඔවුන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම ප්‍රසිද්ධ නැති කාලෙක මාගේ පළමු ගීතය තුළින්ම එතරම් ප්‍රතිචාර හිමිවීම ගැන හරිම සතුටුයි.
එතකොට රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම රංගන ක්ෂේත්‍රයට එන්නේ දෙරණ නාළිකාවේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගේ ආරාධනයෙන්. ඒ දිලූක ගුණතිලකගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණු නික්මයාම කියන ටෙලි චිත්‍රපටය. එතැනින් පස්සේ එක දිගටම ඒ අවුරුද්දේම තවත් ටෙලි චිත්‍රපට තුනකට සහභාගි වෙනවා. ඒ සියල්ල අධ්‍යක්ෂණය කළේ දිලූක ගුණතිලක. ඊට පස්සේ මම දෙරණ නාළිකාවෙම මෙගා ටෙලි නාට්‍යකට සහභාගී වෙනවා. ඒ සාරංග මෙන්ඩිස් මහතා අධ්‍යක්ෂණය කළ සංගීතේ ටෙලිනාට්‍යයට. මිනිස්සු මාව අදටත් හඳුනන්නෙ සංගීතේ නිශානි ටීචර් විදිහට.
කලා ක්ෂේත්‍රය තුළ ප්‍රවීණ කලාකරුවන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මෙතෙක් ආපු ගමන තුළ මම ඔවුන්ගෙන් ලබාගත්ත අත්දැකීම්, සහයෝගය වචනයෙන් විස්තර කරන්න අමාරුයි. රංගන ජීවිතයේදී මගේ පළමු ටෙලි චිත්‍රපටය නික්මයාම චිත්‍රපටයේදීම ප්‍රවීණ රංගන ශිල්පීන් හමුවුණා. ඒ වගේම ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා, මල්කාන්ති ජයසිංහ මහත්මිය මේ වගේ අය එක්ක මම රංගන ක්ෂේත්‍රයේ වැඩ කළා. ඒ අයත් එක්ක කතා කරන වචනයක් ගානෙ ඉගෙන ගන්න දෙයක් තිබුණා. අදටත් මම ඔවුන්ගෙන් ඉගෙන ගන්නවා. සංගීත ක්ෂේත්‍රය තුළත් නම්වලින් කියන්න බැරි තරම් ප්‍රවීණ පිරිසකගෙන් මට සහයෝගය ලැබෙනවා. මම ඔවුන්ට කවදත් ගරු කරනවා.
ඔබගේ අලුත්ම ගීතය “අප හමුවුණා” ගීතයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරය කොහොමද?
අප හමුවුණා ගීතය ලියන්නේ පවිත්‍රා පතිරත්න අක්කා. ඉන්පසුව මගේ සැමියා නවීන් මේ ගීතයේ සංගීත නිෂ්පාදනය කරනවා. තිර පිටපතක් ලියලා රූප රචනය කරන්නේ මම. තීක්ෂණ අයියා තමයි මාත් සමඟ රූගත කිරීමට සහභාගී වුණේ. අපිව චරිතවලට හැඩගැන් වූයේ රසික අයියා. මම මේ අවස්ථාවේදී ඒ හැම දෙනාවම මතක් කරනවා. ඉතින් මම හිතනවා මේක සාර්ථක නිර්මාණයක් කියලා. අද වන විට සමාජ මාධ්‍ය හරහා ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම ප්‍රවීණයන්ගෙන් පවා ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබුණා.
සංගීත දිවිය තුළ ඔබට විශේෂම මතකයක් කියන්න පුළුවන්ද?
මට මගේ සංගීත ජීවිතයේ හැමදේම ලස්සන මතකයක්. අද වෙනකොට මම ගායිකාවක්, රංගන ශිල්පිනියක්, පද රචනය ගීත රූගත කිරීමට අධ්‍යක්ෂණයෙන්, තනු නිර්මාණයෙන්, සම්බන්ධ වෙලා ඉන්නවා. හැබැයි ඒ මට හැකි පමණින්. ඒ හැමදේම මම අඩියෙන් අඩිය ගොඩනඟා ගත්ත දේවල්. කාටවත් කරදරයක් නැතුව හරි හෙමින් ලබාගත්ත දේවල්. මේ ගොඩ නඟාගෙන යන පඩිපෙළේ මම අඩිය තියපු හැම පඩියක්ම මට ලොකු අත්දැකීමක් සහ අමතක නොවන මතකයක්.
කලා ක්ෂේත්‍රය තුළ ඔබට මෙතෙක් ආපු ගමනේ සහයෝගය දුන්නු ලොකු පිරිසක් ඇති. අපි ඒ ගැනත් මතක් කරමු.
මගේ අම්මා, තාත්තා සහ සහෝදරයන් තුන්දෙනා තමයි මගේ කලා ජීවිතයේ ආරම්භයේ සිටම මාත් සමඟ හිටියේ. දැන් මගේ සැමියා නවීන් දිල්ෂාන් ඉන්නවා. ඒ වගේම මගේ ඥාතීන්, ගමේ පිරිස සහ අද වන විට මාත් සමඟ එකතු වෙලා ඉන්න මගේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඉතින් වචනෙකින් හරි මට උදව් වුණු හැමදෙනාම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ චූටි බබාවත් මතක් කරනවා. චූටි බබෙක් විදිහට එයාගේ පැත්තෙන් දෙන්න ඕනි සහයෝගය එයා මට දෙනවා. ඉතින් ආයෙත් මම කියන්නේ මාත් එක්ක ඉන්න හැමෝටම මම ගොඩක් ආදරෙයි.