කාලයකට පස්සෙ රඟපෑමට එන නිසා හිතේ පොඩි චකිතයකුත් තිබුණා චින්තක කුලතුංග

gossiplanka image 1

මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන නාට්‍ය අතරත් ඉහළින්ම ඇති නාට්‍යයක් ලෙස සිරස නාළිකාවෙන් සතියේ දින පහේම විකාශය වන ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කරනු ලබන ‘ආලේ’ නාට්‍යය හැඳින්විය හැකිය. එහි කතාව ගොඩ නැඟෙන්නේ අරවින්දගේ ජිවිතේ සිදු වූ සහ සිදුවන සිදුවීම් සමුදායක් වටායි. මෙහි අරවින්දට ජීවය දෙන්නේ කාලයක් පුංචි තිරයෙන් නිතර දැකපු නමුත් පසුගිය වසර කිහිපය තුළ රංගනයෙන් අපිට දැක ගන්නට නොලැබුණු දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් වන චින්තක කුලතුංග ය.


කාලයකට පස්සේ ඔබව ආලේ හි අරවින්ද ලෙස ප්‍රේක්ෂකයන් දකින්නේ?


ඔව්, වසර හතරකට විතර පස්සේ තමයි ප්‍රේක්ෂකයන් අතරට ආවේ. පසුගිය කාලය මම ගත කළේ කැනඩාවේ.


පුංචි තිරේ අන්තිමට රඟපෑ නිර්මාණය මොකක් ද?


“සුදු ඇඳගෙන කළු ඇවිදින් කරන කාලෙම තමයි මම විදෙස්ගත වුණේ. මම අන්තිමට දායක වුණේ සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කළ Underpants Thief චිත්‍රපටයයි. එය තිරගත වෙද්දීත් මම හිටියේ කැනඩාවේ.


විදෙස්ගතව ගෙවුණු කාලය ගැන මොකද හිතෙන්නේ?


මම විශ්වාස කරන්නේ විදෙස්ගතව ගෙවුණු කාලය මගේ කලා ජීවිතේ හොඳම කාලය කියලා. ඒකට හේතුව විවිධ නිර්මාණ ඔස්සේ චින්තක කුලතුංග කියලා නම ගොඩනැඟෙද්දීම තමයි මම විදෙස්ගත වුණේ. අවුරුදු දෙක තුනක් කැනඩාවේ හිටියා. ඒ අතරතුර කිහිප වතාවක් ඇවිත් ගියත් නිර්මාණයක් කරන්න තරම් කාලයක් ලංකාවේ හිටියේ නැහැ.


ලංකාවට ඇවිත් කලාවට සම්බන්ධ නොවීත් කාලයක් හිටියා නේද?


ඔව්. ඒ කියන්නේ මම කලාවම පමණක් කරන කෙනෙක් නෙවෙයි. මගේම හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර තියෙනවා. ඒ නිසා ලංකාවට ඇවිත් ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වෙලා හිටියා. ඒ එක්කම ආපහු යන්න අදහසකුත් තිබුණ නිසා දීර්ඝ නාට්‍යය භාර ගන්න කැමැත්තක් තිබුණෙත් නැහැ. ඔය අතරේ තමයි රොෂාන් රවින්ද්‍රගේ ටෙලි නිර්මාණයට ආරාධනා ලැබුණේ. ඒකට සම්බන්ධ වෙලා ඒක කරලා ඉවර වෙද්දි වගේ තමයි ඉන්දික කතා කරලා ආලේ ටෙලි නාට්‍යයට ආරාධනා කළේ. ආලේ නාට්‍යය රූපගත කිරීම් මසක පමණ කාලයක් කරද්දී එය විකාශය වෙන්නත් පටන් ගත්තා.


මේ දිනවල ලැබෙන ප්‍රතිචාර කොහොමද ?


ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කාලයකට පස්සේ රඟපෑමට එන නිසා හිතේ පොඩි චකිතයකුත් තිබුණා. හැබැයි හිතුවටත් වඩා හොඳ විදිහට අරවින්දට ප්‍රේක්ෂක ආදරේ ලැබෙනවා. මම හිතන්නේ චාතුර්යා තුළින් මාව ප්‍රේක්ෂකයන් අතරට ගියා වගේම නැවත ආලේ හි අරවින්ද තුළින් ඒ ආදරේ ලබනවා.


ආලේ හි අරවින්දගේ තරුණ අවධියට ඉන්නෙත් ඔබේම පුතා ගෙවින් අභිෂේක්, ඒ ගැන මොකද හිතෙන්නේ?


ඒක මට පහසුවක් වුණා. මගේ තරුණ කාලයත් ඔය වගේම තමයි. කොණ්ඩේ සහ ඇස් විතරයි වෙනසකට තිබුණේ. මම මැදිවියේ අරවින්දගේ චරිතයට පණ පොවද්දි, පුතා තරුණ කාලේ අරවින්දට පණ පොවද්දි පෙන්නපු ගති ලක්ෂණ කිහිපයක් මැදි වියේ අරවින්ද තුළින් පෙන්නුම් කරන්න මමත් උත්සාහ කරනවා. ඒ තුළින් ප්‍රේක්ෂකයන්ට මේ දෙන්නා දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් බව හැඟිලා තියෙනවා. මට පළමුවැනි වතාවට පුතත් එක්ක මෙහෙම රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒ අත්දැකීම පුතාටත් මටත් හරිම සුන්දරයි.


ඔබ රඟනොපෑ කාලය තුළ ගෙවින් අභිෂේක් ලොකු දුරක් ආවා, ඒ ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම ඒකත් එක හේතුවක් වුණා මම පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න. මොකද එයා ලස්සනට වැඩේ කරගෙන යනකොට මවුපියන් විදිහට කැමතියි. ඒ දියුණුව දකින්න. මට හරි පහසුවක් වුණා මම කැමති ක්ෂේත්‍රයේ එයත් හොඳ ගමනක් ඇවිත් අබිසෙස් ලබද්දී සම්මාන ගනිද්දී. එයාට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ දිහා මම ආසාවෙන් බලන් හිටියා. මම එයා දිහා බලන් සතුටු වුණා මිසක් මම ආයේ මේ දේවල් කරන්න ඕනේ කියන එක හිතුණේ නැහැ.


ගෙවින් විතරද ඉන්නේ පවුලේ?


නැහැ. පුතාලා තුන්දෙනෙක් සහ දුවෙක් ඉන්නේ. ඒ අයත් කලාවට දක්ෂයි. පුතාලා තුන්දෙනාම රඟපෑවා. ලොකු පුතා කැනඩාවේ ඉන්නේ. නමුත් ඒ අය අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දීලා ඉන්නේ. මම කොහොමත් කාටවත් කිසි දෙයකට යොමු වෙන්න බලපෑම් කරන්නේ නැහැ. එයාලගේ දක්ෂතාවන් සහ ආසාවන් එක්ක එයාලා කැමැති ක්ෂේත්‍රයක නියැළෙන්න නිදහස දීලා තියෙනවා. මම වුණත් පූර්ණ කාලීනව කලාව හෝ පූර්ණ කාලීනව ව්‍යාපාර කරන්නේ නැහැ. මම හැම විටම උත්සහ කරන්නේ මැද ඉඳන් හැම දෙයක් එක්කම ඉන්න.


ආයෙම විදෙස්ගත වෙන්න ද බලාපොරොත්තුව?


එහෙම අදහසක් තිබුණා. නමුත් දැන් මට තේරුම් ගිහින් තියෙනවා. මට ගැළපෙන තැන සහ මට උරුම තැන මෙතන කියලා. ඒ නිසා දීර්ඝකාලීනව නම් නැවත විදෙස්ගත වෙන එකක් නැහැ. ගිහින් එන්න වගේ යන්න ඉඩ තියෙනවා.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ තියෙනවද?


මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ආලේ නාට්‍යය විකාශය වෙනවත් එක්කම ඇරයුම් ලැබුණේ ඔක්කොම අරවින්ද වගේ චරිතවලට. එකම විදිහේ චරිත පහ හයකට කතා කළා. ඒ නිසා භාර ගත්තේ නැහැ. තාත්තා කියන භූමිකාව තුළ වුණත් එකිනෙකට වෙනස් චරිත නම් ගැටලුවක් නැහැ. චරිතේ තුළ අපිට දෙයක් කරන්න තියෙනවා නම් ඒ චරිතේ තාත්තා නෙවෙයි සීයා වුණත් කරන්න නළුවෙක්ට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා එකම රාමුවේ චරිත භාර ගත්තේ නැහැ. මේ දිනවල නාමල් ජයසිංහ එයාගේ අලුත් චිත්‍රපටයට කතා කරලා තියෙනවා. ඒක සහ තව නිර්මාණ කිහිපයක පිටපත් ලැබිලා තියෙනවා. ඒ දේවල් මේ දිනවල කියවමින් ඉන්නවා.


අනාගත බලාපොරොත්තු මොනවද?


මගේ මගේම නිෂ්පාදන කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මං වගේම ගෙවින් පුතා වුණත් මම විශ්වාස කරන්නේ ටෙලි තිරයට වඩා ගැළපෙන්නේ සිනමාවට. ඒ නිසා සිනමාපට කිහිපයක් නිෂ්පාදනය කරන්න අදහස් කරගෙන ඉන්නවා.


කාලෙකට පස්සේ ඇවිත් ආයෙමත් ප්‍රේක්ෂක ආදරේ ලබද්දී, ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරේට කියන්න දෙයක් ඇති…


කලාකරුවෙක් ලබන ඉහළම දේ තමයි ප්‍රේක්ෂක ආදරේ. ආපහු මා ගැන කතා බහ කරද්දී ලැබෙන සතුට එක්කම තමයි ආපහු රට යනවා කියලා හිතේ කොනක තිබුණු අදහස වෙනස් වෙලා නැවත ලංකාවෙන් යන්නේ නැහැ මෙහෙ ඉන්නවා කියන දැඩි ස්ථාවරයට ආවේ.

gossiplanka image 2
Previous Post Next Post