ඇය, ජනප්‍රිය නිළියක් මෙන්ම අධ්‍යක්ෂවරියක් වූ රෝහිණී ජයකොඩිගේ දියණියයි. අප්සරා, මයුරිගෙ කතාව, සරුංගලේ, බාඳුරා මල්, සාගරයක් මැද, කෙළිමඬල, මාරුතය සිසිල ගිණි ගනී, මිල්ලෙ සොයා ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වෙමින් කුසලතා පූර්ණ රංගන ශිල්පිණියක ලෙස සිනමා තිරය දිග්විජය කළාය. ඇයගේ රංගනයෙන් නිමවුණු චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතය. මේ සොඳුරු කතාබහ ප්‍රවීණ රංගන ශිල්පිණී වීණා ජයකොඩි සමඟිනි.
රෝහිණී ජයකොඩි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ගැන මතකය අවදි කරනවා නම්?
රුක්මණී දේවිගෙන් පසු පරපුරට තමයි අපේ අම්මා අයිති වෙන්නේ. මාස කිහිපයක බිලිඳියක් විදිහට මමත් අම්මත් එක්ක ‘අහංකාර ස්ත්‍රී’ (1954) චිත්‍රපටයෙන් සිනමාවට සම්බන්ධ වෙලා තියෙනවා. මම මුල්වරට ඇවිදලා තියෙන්නෙත් ඒ චිත්‍රපටයේ දර්ශනයකදී කියලා අම්මා කිව්වා.
අම්මම ලියලා අධ්‍යක්ෂණය කළ ‘හැංගි හොරා’ (1968) චිත්‍රපටයේ ටෝනි රණසිංහයි, සන්ධ්‍යා කුමාරියි ඉන්න සිංදුවක නැටුමකට ඉදිරිපත් වුණා. සරසවිය සම්මාන උලෙළකදි ගාමිණී ෆොන්සේකා හමුවුණු වෙලාවේ අපේ අම්මා ඔහුට කිව්වා “මේ මගෙ දුව, මෙයාව නිළියක් කරන්න මම කැමැත්තෙන් ඉන්නවා“ කියලා. ඊට පස්සේ ඔහුගේ නිර්දේශ කිරීමෙන් මට ජේ. සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කළ ‘අප්සරා’ (1978) චිත්‍රපටයේ ද්විත්ව චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා. අහිංසක පෙම්වතියක් වගේම ‘අප්සරා’ කියන කෙළිලොල් තරුණිය විදිහටත් මම රඟපෑවා.
ගාමිණී ෆොන්සේකා සමඟින් කළ රඟපෑම් සිහිපත් කරනවා නම්?
‘අප්සරා’ චිත්‍රපටයෙන් පස්සේ ගාමිණී සමඟ චිත්‍රපට ගණනාවක විවිධාකාරයේ චරිත රඟපාන්න අවස්ථාව ලැබුණා. ඔහු මගේ ගුරුතුමා වගේම මට විශ්වවිද්‍යාලයක් වගේ වුණා. හැමවෙලේම මගෙ අඩුපාඩු හදලා මට කරන්න ඕනදේ කියලා දුන්නා. මම රඟපෑම ගැන ඉගෙනගෙන නැහැ. නමුත් ජීවන අත්දැකීම් එක්ක සමහර චරිත කරද්දි අපිට ඒවට ගොඩක් සමීප වෙන්න පුළුවන්. ‘මයුරිගෙ කතාව’ (1980) ගාමිණී දන්නා කෙනෙකුගේ සත්‍ය සිද්ධියක්. ඒ චිත්‍රපටයේ ගාමිණීගේ පුතා දමිත් මගෙ පුතා හැටියට රඟපෑවා. ‘සුදෝ මං ආදරෙයි’ ගීතය තියෙන්නේ ඒකෙ. ‘බාඳුරා මල්’ මම ද්‍රවිඩ චරිතයක් කළා. ඒ චරිතය නිවැරදිව කරන්න ගාමිණීගෙන් ලැබුණු සහයෝගය හා උපදෙස් මට හුඟක් ප්‍රයෝජනවත් වුණා. සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ සරුංගලේ (1979) ‘නඩරාජා’ (ගාමිණී ෆොන්සේකා) කියන දෙමළ ජාතිකයෙකුගේ සිංහල පෙම්වතිය විදිහට මම රඟපෑවා. ඒ චරිතයත් මට විශේෂයි. ගාමිණී ෆොන්සේකාගේ සාගරයක් මැද (1981) දොස්තර මොළදණ්ඩ (ගාමිණි) ගෙ බිරිඳ හැටියට අසීරු චරිතයක් කළා. ගාමිණී එක්ක රඟපෑව ‘මාගේ මතකයේ ඔබේ රුව ඇඳේ… අදටත් ජනප්‍රිය ගීතයක්.. ‘මිනිසුන් අතර මිනිසෙක්’ (1979) ජෝදේව් ආනන්දගෙ චිත්‍රපටයක්. ජෝතිපාල, සුජාතා එක්ක ඒ ගීතය ගායනා කරනවා.
දමිළ පෙනුමට ඔබේ ලොකු කැමැත්තක් තියෙනවා නේද?
සාරි ඇඳලා, තිලක තියලා, කොණ්ඩෙ මල් ගහන්න මම හුඟක් කැමතියි. ඉන්දියාවට ගියත් මම දමිළ කියලා හිතෙන තරමට ඒ සම්බන්ධය තියෙනවා. අපිට දමිළ, සිංහල කියලා වෙනසක් අවශ්‍ය නැහැ. වී.ජී. ගනේෂන් අධ්‍යක්ෂණය කළ දමිළ චිත්‍රපටයක මම රඟපෑවා. කේ. ගුණරත්නම් වගේ අය හරි ආසයි සිංහල කතා කරන්න. ඒ සම්බන්ධකම් කොච්චර සුන්දරද?
ඔබ වඩාත් කැමති මාධ්‍ය මොකක්ද?
මම සිනමාවෙන් ආපු කෙනෙක් හැටියට සිනමාවට හුඟක් කැමතියි. සිනමාව කියන්නේ ඇතුළාන්තයෙන්ම එන හැඟීම් සියුම් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යයක්. මගෙ හදවත ප්‍රේක්ෂක හදවතට වඩාත් කිට්ටු කරන්න පුළුවන් වෙන්නේ සිනමාවෙන් කියලා මම හිතනවා. එවැනි චරිත හුඟක් මට සිනමාවෙන් ලැබුණා. සුරබිදෙන, මාරුතය, කෙළි මඬල, රෑ මනමාලි, අනන්ත රාත්‍රිය, කිණිහිරියා මල්, කුළගෙය වගේම මම මුල් කාලයේ රඟපෑ චිත්‍රපට ඇතුළුව චිත්‍රපට බොහෝ ප්‍රමාණයක විවිධ හැලහැප්පීම්වලට අසාධාරණකම්වලට ලක්වෙන චරිත නිරූපණය කළා. ඒ අතින් මම හරි වාසනාවන්තයි. ඒ කාලේ හිතවත්කම්වලට චරිත දුන්නේ නැහැ. මදර් තෙරේසා, අක්බාර් වැනි විදෙස් නිෂ්පාදනවලට සම්බන්ධ වෙන්නත් ලැබුණා.
ඉදිරි කටයුතු කොහොමද?
චිත්‍රපටයක හොඳ චරිතයක් ලැබුණොත් කරනවා. මෑත කාලේ සමීර නාඔටුන්නගෙ ‘වයිෆ්’ චිත්‍රපටයේ සහ අශෝක අතාවුද හෙට්ටිගේ චිත්‍රපටයක රඟපෑවා. කුඩා චරිතයක් වුණත් හදවතට දැනෙනවා නම් කරන්න කැමතියි. වීණා ජයකොඩි කියන නම දිගටම රඳා පවතින්න අන්තිම කාලේ වෙනකම් රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා.
ඔබ ආදරය දකින්නෙ කොහොමද?
ජීවිතේ මුල් කාලෙදි අපි ආදරය කියන දේ අවබෝධ කරගන්නේ වැරදි විදිහට. සුළු සුළු දේවල්වලට ආසා හිතිලා ආදරය කරනවා. අපි මුලින් සුරංගනා ලෝකයක් මවාගෙන ඉන්න නිසා අපිට තේරෙන්නේ නැහැ. හොඳ මවක් බිරිඳක් වෙන්න ඕනෑ කියලා මම ගෙදරටත් සාරි ඇඳගෙන ලොකු කැපකිරීමක් කළා. දාලා ගියාට පස්සෙ තමයි තේරෙන්නේ ඒක ලොකු පටලැවිල්ලක් කියලා. පිරිමියෙක් ඉන්න ඕන, තනියම ජීවත් වෙන්න අමාරුයි වගේ ප්‍රශ්න එනවා. හරියට මයුරිගෙ කතාව වගේ. ආදරය කියන්නේ පරිත්‍යාගයක්. නමුත් අනිත් පැත්තෙන් ඒක නොලැබෙන විට ප්‍රශ්නයක්. මම විවාහය පරෙස්සම් කරගන්න කියලා ‘සාගරයක් මැද’ චිත්‍රපටයෙ ඉඳලා ‘සිහින අහසේ වසන්තේ’ දක්වාම රඟපාන්නේ නැතුව හිටියා. අපි කැපවීම් කරලා හරි ඉන්න බලනවා. ඒත් වැඩක් වුණේ නැහැ. අපරාදෙ ඒ කාලේ. අපිට අවශ්‍ය දෙයක් අත්හැරලා තව කෙනෙකුට දෙයක් කරන්න පුළුවන්නම් ඒක ආදරයක්. මගෙ දෙවන විවාහය තුළ මම බලාපොරොත්තු වුණ දේ ලැබුණා. ඒත් ඔහු අසනීප වෙලා මිය ගියා. ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන දේවල් අපි හොයන ආදරය අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලද දෙයින් සතුටු වෙලා ජීවත් වෙන්න ඕනේ.