වැඩේ පටන් ගත්තේ ‘මෝඩ තරිඳුගේ අපල දුරුවේවා’ කියලයි. ඇත්තටම තරිඳුට දවස් සියයක් සපිරෙනකොට තරිඳුගේ විතරක් නෙමෙයි සිංහල සිනමාවෙත් අපල දුරු වුණා කියලයි අපට නම් හිතෙන්නේ. අපි එහෙම කිව්වේ ඇයි ද කියලා දන්නවාද? දවස් සියයක් ගතවෙද්දි වහල තිබුණු හෝල් ඇරල, රාත්‍රි 10 දර්ශන වාරත් පෙන්නල තමයි පසුගිය 20 වැනිදා වෙනකොට තරිඳු සිනමාවේ අපල දුරු කළේ. ඉතිං මෙච්චර හරියක් කරපු තරිඳු ගැන මොනවා හරි ලියන්න ඕනෑ කියලා අපිට හිතුණා. ඒ අදහස අනුව මෝඩ තරිඳුව කරළියට ගෙනාපු ඩිරෙක්ටර් මහත්තයා වන තිසර ඉඹුලානට මේ විදිහට ඉඩකඩ වෙන් කළා.
පසුගිය 20 වැනිදාට මෝඩ තරිඳුට දින සියයක් සපිරුණා. දින සියයක් පුරාවට තරිඳු එක්ක ගෙවපු ජීවිතය මොනවගේද?
“දින සියයයි, අපල දුරුයි” කියලා තමයි කියන්න වෙන්නේ. ඒ අත්දැකීම ඇත්තටම වටිනවා. ලංකාවේ චිත්‍රපටයක් දින සියයක් දුවනවා කියන එක චිත්‍රපටකාරයෙක්ට ඇත්තටම වටිනවා.
මේ දින සියය පුරාවට ලබපු අත්දැකීම් සම්භාරය ගැන කතා කළොත්?
චිත්‍රපට ශාලා හිමියෝ, ඊට පස්සේ ඒ ශාලාවලට එන ප්‍රේක්ෂකයෝ වගේම ඔවුන්ගෙන් ලැබෙන අදහස් සහ ඔවුන් සමග එකට වැඩ කරන්න ලැබිච්ච එක තමයි මම හිතන්නේ අපිට ලැබිච්ච ලොකුම අත්දැකීම. අපිට විවිධ පළාත්වල ප්‍රේක්ෂකාගාරය තවදුරටත් තේරුම් ගැනීමට අවස්ථාවක් උදා වුණා. මම හිතන්නේ සිනමා ශාලා හිමියන්ට අපේ චිත්‍රපටය තවත් එක චිත්‍රපටයක් විතරයි. හැබැයි ඔවුන්ට ලොකු අත්දැකීමක් තියෙනවා මොනවාද එන චිත්‍රපට. කොහොමද ඊට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම, එම චිත්‍රපටවලට කොහොමද ඔවුන් දර්ශන වාර තෝරා ගන්නේ කියන කාරණා සහ අත්දැකීම්. ඇත්තටම වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
තරිඳු මාර පොරක්. රාත්‍රි 10.30 දර්ශන වාරය ආපහු පටන් ගන්න පුළුවන් වුණා. ලේසි නැහැ වැඩේ?
ඒ ඒ සිනමා ශාලාවල දර්ශනවාර පිළිබඳව වගේම දර්ශනවාරවලට එන ප්‍රේක්ෂකයන් ගැන නියම අදහසක් තියෙනවා සිනමා ශාලා හිමියන්ට. අනික මෝඩ තරිඳු චිත්‍රපටය සෙට් පිටින් බලන මූඩ් එක තමයි ඒ චිත්‍රපටයේ තිබුණේ. මට ඒ වගේ ප්‍රේක්ෂකාගාරයක් එක්ක ගනුදෙනු කරන්න ලැබීම ලොකු අත්දැකීමක්. ඉස්සර දමිළ චිත්‍රපට තමයි රාත්‍රි 9.30, 10.30, 11.30, වේලාවන්වලට දර්ශනවාර පැවැත්වුණේ. හැබැයි සිංහල ප්‍රේක්ෂකයොත් ඒ වෙලාවට මෝඩ තරිඳු චිත්‍රපටය බලන්න හෝල්වලට ආවා. ඒ ගැන සතුටුයි ඒ ගැන.
තරිඳුව මේ විදිහට භාර ගත්තු ප්‍රේක්ෂකාගාරයට, අධ්‍යක්ෂවරයා විදිහට මොනවද ඔබට කියන්න තියෙන්නේ?
ප්‍රේක්ෂකාගාරය හින්දයි අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය සිනමා ශාලාවල දවස් සියයක් තිබ්බේ. ඒ ගොල්ලන්ට බොහොම ස්තුතියි මේ චිත්‍රපටය බැලුවට. අපි මුලින්ම අදහස් කළේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරය චිත්‍රපට ශාලාවකට ගෙන්වන්නේ කොහොමද කියන එකට ට්‍රයි කරන්න. මම හිතන්නේ ඒක යම්කිසි දුරකට සාර්ථකයි.
ඒ ප්‍රේක්ෂකාගාරය තමයි අපිව චිත්‍රපට හදන්න පොලඹවන්නේ සහ තව චිත්‍රපටයකට අපිට ආරාධනා කරන්නේ. මම හිතන්නේ අපිව මෝටිවේට් කරන්නේ සිනමා ශාලාවලට එන ප්‍රේක්ෂකාගාරය තමයි. මොකද ප්‍රේක්ෂකාගාරය සහ අපි කියලා බෙදන්න විදිහකුත් නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ. ඉතිං අපි හැමෝටම ලංකාවේ සිනමා ශාලාවලට එන්න ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් තමයි හැදුවේ. ඉතිං ඒ අතිශය ශ්‍රී ලාංකීය චිත්‍රපටය බලන්න ආපු ශ්‍රී ලාංකිකයන්ට සැලියුට්.
මෝඩ තරිඳු දින සියය පසු කරන විට දමිළ ප්‍රේක්ෂකාගාරයටත් තිළිණ කරන්න සූදානමක් තියෙනවා නේද?
මෝඩ තරිඳු චිත්‍රපටය යාපනයේ සිනමා ශාලා දෙකක තිරගත වුණා. එතකොට එහේ හිටපු සිංහල චිත්‍රපටය බලපු දමිළ ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වුණේ දමිළ භාෂාවෙන් හඬ කවලා නරඹන්න අවස්ථාව ලබාදෙන්න කියලා. මොකද දමිළ කතාබහ කරන සොයුර සොයුරියන්ට ඒක තේරුම් ගැනීමට පහසුවෙනවා කියලා ඒ ගැන හිතලා දමිළ භාෂා චිත්‍රපටයක් විදිහට චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ඉතිං මෙහි ගීත ටික දමිළ භාෂාවෙන්ම යළිත් වරක් දිනේෂ් ගමගේ ගායනා කරලා තියෙනවා. ඊට පස්සේ සිංහල චිත්‍රපටය දින සියය අවසන් වෙනවාත් එක්කම දමිළ චිත්‍රපටය තිරගත කළා. ඒක සිංහල චිත්‍රපටය තිරගත නොවූ සිනමා ශාලාවල උතුර -නැඟෙනහිර පළාත්වල, කොළඹ තදාසන්න ප්‍රදේශවල තිබෙනවා. දමිළ චිත්‍රපට පමණක් තිරගත වන සිනමා ශාලාවල තමයි තිරගත වෙන්නේ. අනෙක් සිනමා ශාලාවල සියල්ලේම වගේ මෝඩ තරිඳු තිරගත වුණා. ඉතිං අපිට අතහැරිල තිබුණේ දමිළ චිත්‍රපට පමණක් තිරගත වුණු සිනමා ශාලා. ඉතිං ඒවාට දමිළ හඬ කවපු මුට්ටාල් තරිඳු චිත්‍රපටය එළැඹෙන පෙබරවාරි මාසයේ සිට තිරගත කිරීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ දිගු නිහැඬියාවකට පසුව තමයි මෝඩ තරිඳු නිර්මාණය කරන්නේ. ඔබ ගත්තු විරාමය සාර්ථකයි කියලා හිතෙනවාද?
අනිවාර්යයෙන්ම. මට විතරක් නෙමෙයි තිසර මංගල බණ්ඩාර ඇතුළු අපේ කණ්ඩායම විශ්වාස කරන දෙයක් තමයි අපි කරන දෙය හරියට අවංකව කරන්න උත්සාහ කිරීම. අපි විශ්වාස කරන්නේ ප්‍රමාණය වැඩි කරනවාට වඩා අපේ නිර්මාණයේ ගුණාත්මක භාවය වැඩි කරගන්නයි. චිත්‍රපට කියන විෂය ඇතුළෙත් ඒ කාරණාව එලෙසමයි. අපි මැරෙනකම් හරි චිත්‍රපට හැදුවොත් ඒ හදපු චිත්‍රපට ගොන්න වැඩි වෙනවාට වඩා අපිට සතුටුවෙන්න පුළුවන් විදිහේ නිර්මාණ කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක අවුරුද්දකද දෙකකද දහයකද සහ විරාමයක් ද කියන කාරණාව නෙමෙයි වැදගත්. කරන දේ හරියට කරන්නයි ඕනෑ.
2025 වසරේ බ්ලොක් බස්ටර් අධ්‍යක්ෂවරයා තිසර. මොකද හිතෙන්නේ?
බ්ලොක් බස්ටර් ඩිරෙක්ටර්ද? බ්ලොක් බස්ටර් අධ්‍යක්ෂකද? කියන එක තීරණය වෙන්නේ ප්‍රේක්ෂකයන් මතයි. ඉතිං ඇත්තම කතාව 2025 වසරේ වැඩියෙන්ම බලපු චිත්‍රපටය මෝඩ තරිඳු වෙනවත් එක්කමයි ඔය කාරණාව නිර්මාණය වෙන්නේ. ඒ සම්බන්ධයෙන් මට ලොකු අදහසක්, ලොකු ආඩම්බරයක් මගේ ඔළුවේ නැහැ. හැබැයි මම හිතන්නේ ඒක එහෙම වෙන්න හේතුව 2023 වසරේ ඉඳලා පොඩ්ඩ පොඩ්ඩ වර්ධනය වුණු අපේ සිංහල සිනමාව. මේක අපේ චිත්‍රපටයකට විතරක් ආපු එකක් නෙමෙයි. පියවරෙන් පියවර හැදුණු එකක්. නම්බරයක් විදිහට 2025 වසරේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹල තියෙන්නේ මෝඩ තරිඳු චිත්‍රපටය. ඒකට මූලිකම හේතුව වසර ගණනාවක් තිස්සේ හැදුණු දේවල්. ඒක මට තනියෙම සතුටු වෙන්න පුළුවන් සහ ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. සිනමාකරුවෝ විදිහට අපි හැමෝටම සන්තෝෂ වෙන්න පුළුවන් කාරණාවක්.