නිරංජනී ෂන්මුගරාජා, සිංහල සිනමාවේ දමිළ තාරකාව ඇයයි. මෙතෙක් රඟපෑ සියලු නිර්මාණවලදී ප්‍රේක්‍ෂකාගාරය තමන් වෙත ඇද බැඳ තබාගන්න ඇය සමත් වෙනව. එයට අලුත්ම උදාහරණය ‘ෆාදර්’. අපි නිරංජනීට සවන් දෙමු.
නිරංජනී, ෆාදර් හි චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සාමාන්‍යයෙන් චිත්‍රපටවල ලොකු පරාසයක් තියෙන චරිත තමයි මම කරල තියෙන්නෙ. ඒවාට ලැබෙන ප්‍රතිචාර මම අත්විඳල තියෙනව. ෆාදර් චිත්‍රපටයෙ මට තියෙන්නෙ මිනිත්තු දෙකක දෙකහමාරක කොටසක්. නමුත් කියන්න සතුටුයි, චිත්‍රපටය පුරාම දුවන චරිතයක් හා සමානවම, සමහරවිට ඊටත් වැඩියෙන් මේ චරිතයට මට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනව. ඇත්තටම මේක මම කොහොමටවත් බලාපොරොත්තු නොවුණ ප්‍රතිචාරයක්.
කොහොමද ෆාදර් සමග සම්බන්ධ වෙන්නෙ?
චමින්ද අයියව මම මීට පෙර දැකල හඳුනගෙන කතාබහ කරල නැහැ. නමුත් දවසක් ඔහු මට කතාකරල කියනව, නංගි මගේ ෆිල්ම් එක කරනව, ඒකෙ දමිළ ගීතය ඔයා තමයි කරන්න ඕන කියල.
දෙවරක් නොහිතාම කැමති වුණා?
මෙහෙමයි, සිංහල චිත්‍රපටයක් ඇතුළෙ දමිළ ගීතයක් හදන්න ඕන කියල හිතපු සිතිවිල්ලට මුලින්ම මම ගරුකරනව. මොකක්ද මේ කතාව, සිංදුව මොකක්ද කියන මේ කිසිම දෙයක් මම ඇහුවෙ නැහැ. කලින් කිව්ව කාරණාව නිසාත්, ඒ ගීතය වෙනුවෙන් මාව තෝරා ගැනීමට ගරු කිරීමක් විදිහටත් දෙවරක් නොහිතාම මම හා කිව්වා.
මොකක්ද මේ ගීතයෙන් කියැවෙන්නෙ?
ඒ කාලවකවානුවේ සමාජය තුළ ගැහැනියක් මුහුණ දෙන කටුක අත්දැකීම තමයි මේ ගීතයෙන් පෙන්නල දෙන්නෙ. ඒ වෙලාවෙ මම හිතුවෙ මොන විදිහෙ ප්‍රතිචාරයක් ලැබුණත් මම මේක කරනව කියල. මොකද අපි පොසිටිව් වගේම නෙගටිව් ප්‍රතිචාරවලටත් මුහුණ දෙන්න ඕන.
දර්ශන තලයේ අත්දැකීම් මොන වගේද?
පූජන, සමන් කෝරලගේ වැනි කාස්ට් එකේ අපි හැමෝම යාළුවො. එළිවෙනතුරු මේ ෂූට් එක ගියා. නමුත් මහන්සියක්වත් දැනුණෙ නැහැ. ඒ වගේම විශ්වජිත් අයිය ඉතාමත් ලස්සනට මේ අවස්ථාව ඔහුගේ කැමරාවට නතුකරගෙන තිබුණා.
අනෙකුත් රඟපෑම් වැඩකටයුතු මොනවද?
මේ දවස්වල හිරු නාළිකාවෙන් විකාශය කරන ටෙලි නාට්‍යයකට සම්බන්ධවෙලා ඉන්නව. එහි රූගතකිරීම් කටයුතුවලට සහභාගි වෙනව. චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. ඒවායේ වැඩකටයුතු ලබන මාර්තු හෝ අප්‍රියෙල් මාසවලදි පටන්ගනීවි. සාමාන්‍යයෙන් මම කතාකරන හැම වැඩකටම සම්බන්ධ වෙන කෙනෙක් නෙමෙයි වගේම හැම වෙලාවෙම ටෙලි නාට්‍යයක හෝ සිනමා නිර්මාණයක ඉන්න ඕන කියල හිතන කෙනෙකුත් නෙමෙයි. ප්‍රේක්‍ෂකයෙක් විදිහට සිනමා ශාලාවකට ගිහින් මම රඟපාපු චරිතය මම ම බලද්දි සෑහීමකට පත්වෙන්න පුළුවන් කියල හිතෙන චරිතයකට විතරයි මම සම්බන්ධ වෙන්නෙ. එහෙම සම්බන්ධ වුණ චිත්‍රපට කිහිපයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනව.
වැඩිපුර තෝරාබේරාගන්නකොට ගොඩක් අවස්ථාවන් ඔබෙන් ගිලිහිලා යනව?
මම හිතන්නෙ දැනට ලංකාවේ දමිළ රංගන ශිල්පිනියකට ඉන්නෙ මම විතරයි. ඒ නිසා මට යම් විශේෂත්වයක් තියෙනව. මූලිකම දේ තමයි සිංහල සිනමා ක්‍ෂේත්‍රයේ දමිළ රංගන ශිල්පිනිය වීම. ඒ නිසා මම හැම වෙලාවෙම හිතන දෙයක් තමයි මගේ රංගන හැකියාව අවශ්‍යම තැනටයි මම සම්බන්ධ වෙන්න ඕන කියන එක. එහෙම නොකළොත් ඒක මම මටම කරන අපරාධයක් විදිහටයි මම දකින්නෙ. මේ ලොකුකමට කියන දෙයක් නෙමෙයි. මට ලැබිල තියෙන යුනික් එක හරි විදිහට භාවිත කළ නිසයි අදටත් මට මේ තරම් ප්‍රතිචාර ලැබෙන්නෙ කියන දේ මම විශ්වාස කරනව.
ඔබේ චරිතයට ලැබිල තියෙන්නෙ ඉතාමත් සීමිත කාලයක්. නමුත් සිනමාහල්වල ඔබේ රුව රැගත් පෝස්ටර්වලට ලොකු ඉඩක් දීල තියෙනව?
ඔව්, මම මේ චිත්‍රපටය තුළ මහ ලොකුවට ප්ලේ කරන්නෙ නැහැ. නමුත් ඒ කරන ටික හරියට කරපු නිසා තමයි අධ්‍යක්‍ෂවරයා තීරණය කරන්නෙ නිරංජනීත් මේකෙ ඉන්නව කියන එක තියටර් එකට එන රසිකයන්ට පෙන්නන්න ඕන කියල.
නිරංජනී කොහොමද ජනප්‍රියත්වය දකින්නෙ?
ජනප්‍රියත්වය කියන දේ අපිට ඕන විදිහකට ගන්න පුළුවන්. හොඳ වැඩ වගේම නරක වැඩවලිනුත්. නමුත් පැවැත්ම කියන දේ වෙනුවෙන් තියෙන ජනප්‍රියත්වය ගන්න හරි අමාරුයි. අන්න ඒකටම තමයි මම කෑදර. ඒකටම තමයි මම ආසා කරන්නෙ. කවදා හරි මම නැති දවසක මගේ නම ගූගල් කරල බැලුවාම ෆිල්ම් ලිස්ට් එක දකින දරුවෙක් වුණත් කියයි අපේ රටේ මේ වගේ කෙනෙක් ඉඳල තියෙනවනෙ, එයා කරල තියෙන්නෙ සුපිරි ෆිල්ම් ටිකක්නෙ කියල. ක්‍ෂණිකව ඇතිවෙලා ක්‍ෂණිකව නැතිවෙලා යන ජනප්‍රියත්වයට වඩා මට වටින්නෙ ඒක.
මේ තාක් ලැබුණ චරිත ගැන තෘප්තිමත්ද?
ඔව්, මේ තාක් මට ලැබුණ හැම චරිතයක් ගැනම මම තෘප්තිමත් වගේම ඒවායින් මම අලුත් දේවල් ඉගෙනගත්තා. ඒ වගේම හැම චරිතයක්ම මට වටිනාකමක් එකතු කළා.
නිවේදන වැඩකටයුතු කොහොමද?
මගේ මුහුණ, මගේ හඬ මුලින්ම රටට පෙන්නුවෙ ජාතික රූපවාහිනිය සහ නේත්‍රා නාළිකාව. ඉතිං මම එදා ඉඳන් අද දක්වාම එතැන නිවේදිකාවක් හැටියට කටයුතු කරනව.
ඔබේ ප්‍රේක්‍ෂකාගාරය මොන වගේද?
කිසිම සැකයක් නැතිව මම කියනව මට ඉන්නෙ සිංහල ෆෑන්ස්ල කියල. කොහේ ගියත් මම කියන්නෙ මට ආදරේ කරන්නෙ සිංහල මිනිස්සු කියල. මොකද ෆාදර් ෆිල්ම් එකේ මං ඉන්න පුංචි කොටස් රෙකෝඩ් කරල අපේ අක්කා, අපේ නංගි, අපේ ශම්මු කියල පුදුම විදිහට සහෝදරත්වයෙන් පෝස්ට් දානව. මේ ඔක්කොම සිංහල අය. ඇත්තටම මට හරිම සතුටුයි. ඒ දේ රැකගන්නයි මම මහන්සි වෙන්නෙ.