වටිනා ගස් හැදෙන්න ටිකක් කල් යනවා - බිමල් ජයකොඩි

gossiplanka image 1
 

අපි ඔහුට ආදරේට කියන්නේ බිමා කියලා. චිත්‍රපට දෙකක් නරඹලා බිමා නැතිනම් බිමල් ජයකොඩි එක්ක පොඩි චැට් එකක් දැම්මා. අවුරුදු 20ක විතර අපි දන්න කාලේ ඉඳලා බොහොම සද්ද බද්දයක් නැතිව බිමල් ගහපු ගේම් එක වැඩ කරන්නේ දැන්ද මන්දා කියලත් වෙලාවකට හිතෙනවා. මේ දවස්වල ඔහුගේ චිත්‍රපට දෙකක් රිදී තිරයේ දිග හැරෙනවා. එකක් චමින්ද ජයසූරියගේ ෆාදර්. අනෙක අරුණ ජයවර්ධනගේ ධර්ම යුද්ධය -2. ඉතිං අපි බිමා එක්ක දාපු චැට් එක ඔයාලත් එක්ක බෙදා හදාගන්න කියලා හිතාගෙන මෙන්න මෙහෙම අකුරුවලට පෙරළුවා.


ඔබ 2026 ආරම්භ කරන්නේ වීරඟුල පොලිස් ස්ථානාධිපතිවරයාගේ චරිතයෙන් වගේම හරිස්චන්ද්‍රගේ චරිතයෙන්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


මීට කලිනුත් මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට දෙකක් මණ්ඩල දෙකකින් තිරගත වුණා. මේ වසරේ තිරගත වුණු මේ චිත්‍රපට දෙක ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා. මොකද සිනමාව කර්මාන්තයක් විදිහට අද ලොකු පිබිදීමක් ඇති වෙලා තියෙනවා. මේක තමයි මගේ රංගන ජීවිතයේ එක කාලයක් තුළ වැඩිම ප්‍රේක්ෂක කතාබහකට ලක්වෙච්ච කාලවකවානුව කියලයි මට හිතෙන්නේ.



වීරඟුල පොලිස් ස්ථානාධිපතිවරයාගේ චරිතයට ලැබුණු නරකම ප්‍රතිචාරය මොකක්ද?


නරකම ප්‍රතිචාරය තමයි මගෙත් එක්ක එහා පැත්තේ ෆාදර් චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹුවේ ආචාර්ය ජයන්ත ධර්මදාස සර්. ඒක සජීවීව ලැබුණු ප්‍රතිචාරයක්. එකපාරටම ඔහු කිව්වා දන්නවා නම් උඹ ළඟ වාඩිවෙන්නේවත් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මගේ පිටට තට්ටුවක් දාලා “උඹගෙ කාලෙ පුතා මේක” කියලා කිව්වා.


ඔබට ෆාදර් චිත්‍රපටයේ පිටපත හම්බ වෙනකොට මේ සිද්ධිය පිළිබඳ ඔබ හොඳින් දැනගෙන හිටියාද?


මට තිබුණු ලොකුම මතකය තමයි ඔය කියන උසාවිය ඇතුළේ වෙඩි තැබීමේ සිද්ධිය. අනික චමින්ද මාව මුලින්ම හම්බ වෙන්න ආපු දවසේම ඒ ටික මම කියවලා ඉවර කළා. පිටපත කියවලා චමින්දත් එක්ක කතාබහ කරලා චරිතය නිර්මාණය කළා. චමින්දගේ ඔළුවේ තිබුණු චරිතයට මගේ තිබුණු අත්දැකීම් පාවිච්චි කරලා චරිතය ප්‍රතිනිර්මාණය කළා.



ෆාදර් රූගත කිරීමේදී ඔබේ ජීවිතයත් අනූනවයෙන් බේරුණා කියන්නේ ඇත්තද?


මගේ දර්ශනයක් රූගත කරද්දී කලා දෙපාර්තමේන්තුවේ ළමයෙකුට ඇත්තටම ගිනි ඇවිළුණා. මගේ ඇස් දෙකේ ගින්දර පේන රිෆ්ලෙක්ෂන් එක ගන්න ගිහිල්ලා ඒකට පොඩි පන්දම් වගයක් පත්තු කරන්න ගිහිල්ලා අපි හිටපු පොඩි කාමරය ඇතුළට ගිනි ඇවිළුණා. කැමරාවට මාව හිරවෙලා මට එතැනින් එහාට පැනගන්න බැරි වුණා. මම ජීවිතයේ දැක්ක අමිහිරිම අත්දැකීමක් තමයි මම එහිදී වින්දේ. සහෝදර ශිල්පියකුගේ මුහුණට ගිනි ඇවිළීම. අපි එවෙලේම රූගත කිරීම් නතර කරලා ඉස්පිරිතාලෙට අරගෙන ගියා. ඒක මතක් වෙනකොටත් හරිම භයානක සිද්ධියක්. විශේෂයෙන් ජගත්ට වෙඩි වදින දර්ශනය රූගත කරන කොටත් යම්කිසි අකරතැබ්බයන් කිහිපයක් සිදුවුණා.


බිරිඳ සුජානි ෆාදර් නරඹලා ඔබට මොනවද කිව්වේ?


ඇත්තටම සුජානියි මමයි තමයි මේක ගැන සෑහෙන කතා කළේ. අපි දෙන්නා තව සැරයක් නරඹලා මේක ගැන කතා කරමු කියලත් කිව්වා. මොකද සමහර දේවල් අපිට මිස්වුණා. කොයි නළුවා දිහාද කියලා බලාගෙන ඉන්නේ කියලා හිතාගන්න බැහැ. මේක රඟපාන එකා කවුද? නැති එකා කවුද? කියලා බලලා ඉවරයක් කරන්න බැහැ. මත්පැන් පානය කරන, දුම් පානය කරන දර්ශන දැකලා කිව්වේ ඔයාට ඒවා නම් හොඳට පුළුවන් කියලයි.


88, 89 කාල වකවානුව තුළ ඔබ ජීවිතයේ ලද අත්දැකීම් ගැන කතා කළොත්?


ඔය කාලය කියන්නේ මගේ වයස අවුරුදු දොළහක් එකොළහක් විතර ඇති. මගේ තාත්තත් සක්‍රීය දේශපාලනයේ හිටියේ. එතකොට අපේ ගෙදර තිබුණෙත් දේශපාලන වටපිටාවක්. ඒවත් එක්ක අපේ ගෙවල් දොරවල්වල වෙච්ච සමහර සිද්ධිත් මතකයි. මේ තරම් අමිහිරි අත්දැකීම් අපිට නැහැ. කතා කරනවා අහලා තියෙනවා.


ධර්ම යුද්ධය 2 නැතිනම් හරිස්චන්ද්‍රගේ කතාව මාධ්‍ය දර්ශනය වෙනකම් ලොකු හිසරදයකින් ඉන්න ඇති නේද?


පැහැදිලිවම. ඔබ සඳහන් කළා සේම අවදානමක් සහ අභියෝගයක්. ඒකට හේතුව මම නිතර නිතර කියලා තියෙනවා වගේම නැවත නැවතත් කියන්න ඕනෑ එකක් තමයි ධර්ම යුද්ධය -1 කියන්නේ ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරය ඉතාම ආදරයෙන් වැලඳගත් චිත්‍රපටයක් වගේම ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක්. ඉතිං ඒ විශ්වාසය බිඳින්න කොයිම වේලාවකවත් අපිට ඉඩක් නැහැ.


අනිත් එක තමයි මහා රංගධරයා ජැක්සන් ඇන්තනී ඉතාම හොඳට නිර්මාණය කරලා තිබුණ හරිස්චන්ද්‍රව පරිස්සම් කරන්න ඕනෑ. මේ කාරණා දෙක සම්බන්ධයෙන් අපි කණ්ඩායමටම අභියෝගයක් තිබුණා. හැබැයි අරුණ ඇතුළු අපි කණ්ඩායම හිටියේ බොහොම ධනාත්මක තැනකයි. විශේෂයෙන් චන්න අයියා, සුනෙත් වගේම අපේ නළු නිළි කණ්ඩායමේ දිල්හානි අක්කා සහ අශාන් යන කණ්ඩායමට මේක කරන්න පුළුවන් කියන තැනයි මුල ඉඳලාම හිටියේ. මේකෙ හරි ඉක්මනින් වෙනස්වෙන කතාවේ ස්වභාවයක් තිබුණා. අපි හරියට අධ්‍යයනය කරලා තිබුණා මේක හරියටම කරන්නේ කොහොමද කියලා.


මෙහි පිටපත් ඔබේ අතට හම්බවෙන කොට මලයාලම්, හින්දි නිර්මාණ ඔබ නරඹලා ද හිටියේ?


මේකේ පිටපත අතට හම්බවෙන කොට මලයාලම් භාෂාවෙන් නිර්මාණය වුණු චිත්‍රපට දෙකම නරඹලා තිබුණා. ඊට අමතරව දමිළ භාෂාවෙන් නිර්මාණය වුණු ප්‍රපාතාසම් නරඹලා තිබුණා. ජැක්සන් ඇන්තනී රඟපෑ නිර්මාණය නරඹලා තිබුණා. හින්දි එක නරඹලා තිබුණේ නැහැ. මම අධෂ්‍යක්‍ෂවරයාගෙන් ඇහැව්වා ‘මම හින්දි එක බලන්නද කියලා’ ඔහු කිව්වේ, නෑ… නෑ.. උඹ මේකට එකක් හදපන් කියලයි.


මේ අභියෝගය අපි ජයගත්තු විදිහ තමයි “මම හරිස්චන්ද්‍ර ගැන බලාගන්නම් කියලා” අධ්‍යක්‍ෂවරයාට මගේ අදහස කිව්වා. මම ඒ වගකීම ගන්නම් කිව්වා. අරුණ ඇත්තටම හරිම නම්‍යශීලී අධ්‍යක්‍ෂවරයෙක්. එතකොට ඔහු කිව්වේ උඹ හදපන් හරිස්චන්ද්‍රව, මම ඉතුරු ටික බලාගන්නම් කියලයි. අපි මේක බෙදාගත්තා.


ඇත්තටම බිමල් හරිස්චන්ද්‍රව බලාගත්තේ කොහොමද?


විදේශීය රටවල නළුවෝ මේ නිර්මාණයේ මේ චරිතය රඟපානවා අපි දැකලා තියෙනවා. මට ඕනෑ වුණා හරිස්චන්ද්‍රට වෙනම පෞරුෂයක් අරගෙන එන්න. ඒකට තමයි මම ට්‍රයි කළේ. ජැක්සන් ඇන්තනී අනුකරණය කරන්න හෝ ජැක්සන් ඇන්තනී වගේ රඟපාන්න හෝ එහෙම නැතිනම් මාමොට්ටි, කමලා හසන්, අජේ


දේව්ගන් වගේ රඟපාන එක නෙමෙයි කරන්න ඕනෑ වුණේ. මම කළේ යම් විදිහක පෞරුෂයක් හරිස්චන්ද්‍රට ආරෝපණය කිරීමක්. හරි ආදරණීය පියකුගේ චරිතයකට වඩා මට තිබුණේ බොහොම සූක්‍ෂ්ම කෑල්ලක්. ඉතිං මම එක්ට හරි සියුම් විදිහට මගේ අත්දැකීම් සහ අරුණගේ මෙහෙයවීම මත හරි සියුම් පෞරුෂයක් හරිස්චන්ද්‍රට ආරෝපණය කළා.


අපි මෙහිදී ඔබව සිනමා පසුබිම් ගායකයෙක් විදිහටත් දකිනවා. මෙය ඔබගේ ප්‍රථම සිනමා පසුබිම් ගායනය නේද?


මට විනාඩි පහක් විතර යනකම් චිත්‍රපටය පේන්නේ නැතිව ගියා. මොකද මගේ ගීතය ඇහෙන්න පටන්ගත්තාට පස්සේ ඕනෑම ගායකයෙක් වෙන්න හීන දකින කෙනෙකුගේ ලොකුම හීනය තමයි සිනමා පසුබිම් ගායකයෙක් වෙන එක. ඒක හැමෝටම ඉෂ්ට කරගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. විශාල ශාලාවක් ඇතුළේ මම ඒක අහනකොට මම බැලුවේ වටේ පිටේ මිනිස්සුන්ගේ මූණවල් මොන වගේද මිනිසුස්නට මේක දැනෙන්නේ කියලා. මගේ කටහඬ මම අහගෙන ඉන්නකොට මගේ අම්මව, මගේ තාත්තාව, මගේ මල්ලිව, අපේ බාප්පලා, නැන්දලා වගේ හැමෝම මතක් වෙන්න ගත්තා. මගේ වාසනාවකට ඒ මිනිස්සුන්ගේ තිබුණු මොනවා හරි තමයි මට ලැබිලා ඇත්තේ කියලා. මම යම්කිසි ප්‍රගුණයක් කළා තමයි. මම මගේ ගීතයත් එක්ක පොඩි විනාඩි පහක විතර මගේ ජීවිතයේ අතීත ජර්නි එකකට ගියා. ඇස් කඳුළුවලින් පිරිලා වගේ එකක් මට දැනුනා. ඉතාම සතුටුදායක දවසක්.


වීරඟුල ඕ.අයි.සී. හරිස්චන්ද්‍ර වගේම චිත්‍රපට පසුබිම් ගායකයා. 2026 අවුරුද්ද බිමල්ගේ ජීවිතයේ හැරවුමක්ද?


පැහැදිලිවම ඇත්තටම හදවත බරවෙන තරම් සංවේදී වෙන සතුටක් මට තියෙන්නේ. මේවා ඔක්කොම මට එක පෙළට ලැබෙන කොට තව කොච්චර මේ දේවල්වලට වගකියන්න ඕනෑද කියන එක තමයි මගේ හිතට දැනෙන්නේ. ඒත් එක්කම එළැඹෙන මාර්තු මාසයේ සුරංග ද අල්විස් අධ්‍යක්‍ෂණය කළ 106 කියන චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. ඒකත් සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඉතිං ආන්දෝලනයට තුඩුදුන් චරිතය තමයි මම නිරූපණය කරන්නේ.


මෙච්චර අවදානම් චරිත ටිකත් රඟපාන්න හිතුවේ ඇයි?


ජීවිතයේ සමහර දේවල් මම එහෙම අවදානම් ද නැද්ද කියලා හිතුවෙත් නැහැ. මගේ ඉතිහාසය ගත්තොත් මම කවදාවත් චිත්‍රපටයක ඒකෙ ප්‍රධාන චරිතයද උප ප්‍රධානද අතිරේකද වගේ ඒවා බැලුවේ නැහැ. මම ඒ චරිතය ඇතුළේ යමක් කරන්න පුළුවන් නම් මම ඒක භාරගන්නවා. මම අවංකව කරපු දේවල්වලින් ලැබුණු පන්නරය මට වටිනවා. එහි ප්‍රතිඵලයත් මට ලැබිලා තියෙනවා. මම නිරුවත් දර්ශනවලටත් පෙනී ඉඳලා තියෙනවා. එදත් මගෙන් කවුරු හරි ඇහැව්වා ඔබ රූපවාහිනියේ දුටුව හරි ආදරණීය චරිතයක්. මේ දේවල්වලින් ඔබව මිනිස්සුන්ට එපා වෙන්න පුළුවන් කියලා. මම භාරගන්න චරිතයට සාධාරණයක් ඉෂ්ට කළොත් ඒක චරිතයක් විතරයි. පුද්ගලික ජීවිතයේ මම ඒක අරගෙන යන්නේ නැහැ. ඉතිං මම ඒ වගේ අභියෝග ගන්නවා කියන එක ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඒ වගේම රුක්මල් නිරෝෂ් අධ්‍යක්‍ෂණය කළ අළුපැහැ වලාකුළක් චිත්‍රපටයත් මට ගොඩක් දේවල් එකතු වෙන චිත්‍රපටයක්. මම හිතනවා මගේ අත්දැකීම් හොඳ විදිහට ප්‍රයෝජනයට ගන්න පුළුවන් අවුරුද්දක් කියලා.


රංගන ශිල්පියා ස්ථාවර වුණාට පසුවයි ඔබ ගායකයාව එළියට ගන්නේ. චිත්‍රපට පසුබිම් ගායනය අහනකොට හිතුණේ නැත්ද ගායකයෙක් වුණා නම් මීට වැඩිය හොඳයි කියලා.


මම රඟපාන ඒවා බලනකොට මටත් හිතෙනවා මේවා කොහාමද කළේ කියලා. අපි දැන් මේක ඇතුළේ සෑහෙන පරිණතයි කියලා තේරෙනවානේ. ගායනය මම කරනවා නම් තව ටිකක් හොඳින් ඒ සඳහා හැදෑරීමකුත් කරන්න ඕනෑ සහ ඒ වෙනුවෙන් තව ලොකුවට කැපවෙන්න ඕනෑ කියලා මට හිතෙනවා. දැන් අපේ මුහුකුරා ගිය අත්දැකීම් ගණනාවක් එක්ක ඉන්න නිසා අපිට තව හොඳ චරිත ඉක්මනින් ලැබෙනවා නම් අපිට තව හොඳ රංගන කුසලතාවයන් පෙන්වන්න පුළුවන්. රංගනය සහ ගායනය කියන්නේ එකට බැඳිච්ච දෙයක්. හැබැයි මම දැන් ගායනය සම්බන්ධයෙන් වෙනදාටත් වඩා මහන්සි වෙනවා.


මේ අවුරුද්දේ ඔබේම කොන්සර්ට් එකක් කරන්න අදහසක් නැතිද?


දැනට නැහැ. තවත් විශේෂ දේවල් වෙනවා. මමත් අභිෂේකත් එකට එකතුවෙලා පෙබරවාරි 14 වැනිදා යුග ගීතයක් එළිදක්වනවා. ඒකත් ප්‍රේක්‍ෂකයන්ගේ ලොකු ඉල්ලීමක්. අනික මම කොහොමටත් ගායනය සම්බන්ධයෙන් ලොකුවට මහන්සිවෙන අවුරුද්දක්.


ඔබට ධර්ම යුද්ධය – 2 රූගත කිරීම්වලදී මොහාන් ලාල්වත් මුණගැසෙනවා නේද?


මේ අවුරුද්ද කියන්නේ මට විශේෂ පුදුම සහගත අවුරුද්දක්. මම බෙහෙවින් ආස කරපු රංගන ශිල්පියෙක්. මම ඔහුගේ මලයාලම් චිත්‍රපට නරඹලා තියෙනවා. බොහොම සැහැල්ලු රංගන ශිල්පියෙක්. මම මොහාන් ලාල්ගේ ඉතාම හොඳ රසිකයෙක්.


මට තමයි මුලින්ම ආරංචිය එන්නේ මොහාන් ලාල් චිත්‍රපටයක රූගත කිරීම්වලට මේ කාලයේදීම ලංකාවට එනවා කියලා. එතකොට මමම තමයි සිරසට කතා කරලා කියන්නේ මෙන්න මෙහෙම මෙයා එනවා. අපි ඔහුට ආරාධනාවක් කරමු එන්න කියලා.


හැබැයි ඒ වෙනකොටත් සිරස ආයතනයට මේ පණිවුඩය ලැබිලා ඔහුන් සමග ඒ සංවාදය යනවා. ඇත්තටම ඔහු එන්න හිටියේ අපේ දර්ශනතලට. ඔහුගේ රූගත කිරීම්වල මොකක් හරි ප්‍රමාදයක් නිසා එදා එන්න බැරි වුණා. ඊට පසුව ඔහු අනිවාර්යයෙන්ම යන්න කලින් කොහොම හරි මුණගැසෙමු කියලා කියලා තියෙනවා. ඔහු ලංකාවෙන් යන්න පැය කිහිපයකට පෙර අපිට හමුවෙන්න අවස්ථාව ලබාදුන්නා.


මම ඒ හමුවෙන් ඉගෙන ගත්තේ මට තව කොච්චර දේවල් තියෙනවාද ඉගෙන ගන්න කියලා. මම ඔහුව මුණගැසෙන්නට යන කොට අන්තර්ජාලය හරහා මාව සම්පූර්ණයෙන්ම සොයාබලා මා ගැන සියලු දෑ සොයාගෙන. මම දිනපු සම්මාන පවා දන්නවා. අන්තිමේ ඔහු මට එහෙට එන්න කියලා ආරාධනාවක් කළා. ඔහු මංගල දර්ශනයට සහභාගි වෙන්න හිටියේ. ඔහු එහෙට ඇවිල්ලා මගෙත් එක්ක එකට වාඩිවෙලා නරඹන්න කියලා. නුදුරේදී ඒ සිදුවීම සිදුවේවි. මොහාන් ලාල් එක්ක එකට ධර්ම යුද්ධය නරඹන්න අවස්ථාවක් හම්බවෙනවා.


2026 බිමල්ගේ අවුරුද්ද කියලා අපට හිතෙනවා. ඒ කතාවට උත්තරයක් දීලාම මේ කතාව අහවර කරමු නේද?


සහතිකවම ඇත්ත. දශක දෙකකට ආසන්න කාලයක තියෙන අත්දැකීම්වල ප්‍රතිඵල තමයි භුක්ති විඳින්නේ. අනික මට ලොකු හදිසියක් තිබුණෙත් නැහැනේ. මගේ ගමන මම ආවෙත් ටිකක් හෙමින්. හැබැයි මම කාලාන්තරයක් එක විදිහට මගේ අනන්‍යතාවය සිනමාවෙත්, රූපවාහිනියෙත්, වෙළෙඳ දැන්වීම් ක්‍ෂේත්‍රයෙත්, කටහඬ මේ හැම එකකම එකහා සමානව මේ කාලවකවානුවේදී මට පවත්වාගන්න හැකි වුණා. මම ගෙවන හරි සැහැල්ලු සරල ජීවිතයත් එක්ක සහ මගේ තිබුණ තෝරා බේරා ගැනීම් එක්ක. ඉතිං මේ වසර ගොඩගැහිලා, ගොඩගැහිලා ලොකු කතාබහක් එක්ක එළැඹෙන කොට ඕවා මම හිතන්නේ දශක දෙකකට වැඩිය කාලවකවානුවක කරපු කැප කිරීම්වල මහන්සියේ ප්‍රතිඵල දැන් තමයි භුක්ති විඳින්න පටන් අරගෙන තියෙන්නේ ඛියලා. අපි අමාරුවෙන් වැව්වා නම් ඒවායේ ඵල නෙළාගන්න වෙන්නේ අවුරුද්දකින් වගේ තමයි මගේ අදහස. ටිකක් වටිනා ගස් හැදෙන්න ටිකක් කල් යනවා වගේ හෙමින් හෙමින් මෝරපු ඵල අරටු තමයි දැන් මට පේන්න තියෙන්නේ.


දිනේෂ් විතාන


Previous Post Next Post