ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘ජහුටා’ ටෙලි නිර්මාණය මෙන්ම ඉන්දික ධර්මතිලකගේ ‘ආලේ’ ටෙලි නිර්මාණය ඔස්සේ මේ දිනවල ප්‍රේක්ෂක ඔබ හමුවට එන ඔමන්දි වික්‍රමාරච්චි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2016 වසරේ ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමිනි. ආලේහි රන්දාරා නිසා මේ දිනවල හොඳ නරක දෙපසින්ම ප්‍රතිචාර ලබමින් ප්‍රේක්ෂක අවධානය දිනාගනිමින් සිටින ඇය අද අපේ කතාබහට එක්වූවාය.
ඔමන්දි ගැන මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක්වෙන්නෙ රන්දාරා නිසා නේද?
ඇත්තටම ඔව්. මේ වෙද්දි මං ටෙලි නිර්මාණ පහළොවකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් ප්‍රේක්ෂකයන්ට වැඩිපුරම දැනිල තියෙන්නෙ රන්දාරා කියන චරිතය. මිනිස්සු මං ගැන කතාවෙන්න පටන් ගත්තේ රන්දාරා නිසා කියන එක පැහැදිලියි ලැබෙන ප්‍රතිචාර දැක්කම. රන්දාරා ඉන්නේ මේ දිනවල විකාශය වන ඉන්දික ධර්මතිලකගේ ආලේ ටෙලි නිර්මාණයේ. රන්දාරා මේ දවස්වල ගොඩක් බැණුම් අහන චරිතයක් නිසා ප්‍රතිචාරත් ඉහළයි.
ඔයතරම් ප්‍රේක්ෂක සිත් දිනාගන්න සමත්වුණු රන්දාරා මොන වගේ කෙනෙක්ද?
රන්දාරා කියන්නෙ ජීවිතය විනාශ කරගත්ත ගෑනු ළමයකුගේ ජිවිතය බේර ගන්න උදවු කරන කෙල්ලෙක්. එතනදි ඒ ගෑනු ළමයගෙ තාත්තා තමන්ගෙ දුවට සාධාරණයක් ඉෂ්ට කරගන්න යොදාගන්නෙ මේ රන්දාරාව. රන්දාරා ඒ වෙනුවෙන් මුදලක් ගැනීම තමයි මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහන්න හේතුව වෙලා තියෙන්නේ. එහෙම නැතුව රන්දාරා නරක කෙනෙක් නෙවෙයි. සල්ලි ගන්නෙ නැතුව උදවු කරන්න බැරිද කියල අහලා ප්‍රතිචාර දක්වන අයත් ඉන්නවා.
බැණුම් අහනවා වගේම රන්දාරාට ප්‍රේක්ෂක ආදරෙත් ලැබෙනවා නේද?
ඔව්. ඔව්… ප්‍රේක්ෂකයන්ගේ ආදරෙත් ගොඩක්ම ලැබෙනවා. ඔයා ලස්සනයි. හරිම චාම්, අඳින විදිහ ලස්සනයි කියලා ගොඩක් ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා.
දක්ෂ සම්මානලාභී අධ්‍යක්ෂවරුන් යටතේ වැඩ කරන්න ලැබීම මොන වගේ අත්දැකීමක් ද?
ඒක මට ලොකු අත්දැකීමක් වුණා. ඔවුන්ගෙන් ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. ජහුටා ටෙලි නිර්මාණය ගැන කතා කළොත් ආකර්ෂණාගේ හොඳම යාළුවා විදිහට තමයි මං කතාවට එකතු වෙන්නේ. නිතරම ආකර්ෂණා එක්කමයි ඉන්නේ. මගේ චරිතය සම්බන්ධ වුණේ ළඟකදි නිසා තාම ලොකුවට දුවන්න පටන් ගත්තෙ නැහැ. ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබේවි. සිවා සර් කියන්නෙ රංගන පාසලක් කිවුවත් හරි. හරිම නිහතමානී, ඉවසිලිවන්ත අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ එක නිර්මාණයකට හරි දායක වෙන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. මට ඒ වාසනාව ලැබිල තියෙනවා. ඒ වගේමයි ඉන්දික ධර්මතිලක අයියා. මුලින්ම මං හිතන් හිටියෙ ඔහු ගොඩක් සැර කෙනෙක් කියලා. ඒත් වැඩ කරද්දි තේරුණා ඔහු හරිම හොඳ, සුහදශීලි කෙනෙක් කියලා. වැරදුණත් කෑගහන්නෙ නෑ. නංගි ඕක ඔහොම නෙවෙයි මෙහෙම කරන්න කියල කියලා දෙනවා. ඒ වගේම නාට්‍ය කණ්ඩායම් දෙක ගැනත් මතක් කරන්නම ඕන. හැමෝම හරිම සුහදශීලියි.
ඔමන්දිගේ ඉදිරි කලා කටයුතු ගැන කතා කරනවා නම්?
මේ දිනවල මගේ කුලුඳුල් වේදිකා රංගන අත්දැකීමට මුහුණ දෙමින් ඉන්නවා. මිහිර සිරිතිලක අයියාගේ ළමයින් සම්බන්ධ වේදිකා නිර්මාණයක්. කැලෑවක සත්තුත් එක්ක ගෙවන ජීවිතයක් ගැන. මේ දවස්වල පුහුණුවීම් කටයුතුවල නිරත වෙලා ඉන්නවා. ඒකත් හරිම ලස්සන වැඩක්. ඒ වගේම පහුගිය දවස්වල මං සිනමාවටත් සම්බන්ධ වුණා. උදාර පල්ලියගුරු අධ්‍යක්ෂණයෙන් නිමවුණු සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. දෙකටම ප්‍රධාන චරිතවලින් දායක වෙන්න ලැබුණා. එකක් වලව්වක් ගැන කියන හරි ලස්සන කතාවක්. ත්‍රිලර් ටයිප් චිත්‍රපටයක්. අනෙක් එක අද සමාජයේ බොහෝදුරට සිද්ධ වෙනවා වගේ තුන්කොන් ප්‍රේමයක්. ඒකෙ වීඩියෝ ක්ලිප්ස් මේ වෙද්දි සමාජ මාධ්‍යයේ ගොඩක් ශෙයාර් වෙමින් ප්‍රතිචාර ලබනවා. ඉතාම ඉක්මනින් තිරගත වේවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම තව අලුත් ටෙලි නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.
ඔබ දැන් වේදිකාව, පුංචි තිරය, රිදී තිරය කියන මාධ්‍ය තුනටම සම්බන්ධ වෙලා ඉන්නවා. වඩාත්ම කැමති මොකකටද කියලා කියනවා නම්?
මං ඒ මාධ්‍ය තුනටම කැමැතියි. නමුත් ටෙලිනාට්‍ය පැත්තට ටිකක් වැඩිපුර කැමතියි කිවුවත් හරි.
ඔමන්දිගේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කරනවා නම්?
මට ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ 2016 වසරේ ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය වීමත් එක්ක. මුලින්ම මං රංගනයෙන් දායක වෙන්නේ ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නිර්මාණයේ නීෂා කියන කැරැක්ටර් එකෙන්. ඊට පස්සේ දිගින් දිගටම සම්බන්ධ වුණා. මේ වෙද්දි මං සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ගේ ඉම්පාස් ඇක්ටින් ස්කූල් එකේ රංගනය හදාරනවා. ඒ හරහාත් මට ගොඩක් රංගන අවස්ථා ලැබිල තියෙනවා. මේ වෙද්දි ටෙලි නිර්මාණ පහළොවකට විතර සම්බන්ධ වෙලා තියෙනවා.
ඔමන්දි වැඩිය යාළුවෝ ආශ්‍රිය කරන්නෙ නැති පාඩුවේ වැඩ කරන් ඉන්න කෙනෙක් කියන්නේ ඇත්තද?
ඔව්..මං යාළුවෝ ආශ්‍රය කරනවා නම් අඩුයි. ක්ෂේත්‍රයේ වුණත් මට යාළුවෝ අතළොස්සයි. හැමදේටම උදවු කරන එක යාළුවෙක් ඉන්නවා. ක්ෂේත්‍රයට ආපු දවස්වල ඉඳන්ම මට උදවු කළ සිරසෙ ධර්ම ශ්‍රී අයියා වගේම සුපුන් රත්නායක අයියා විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම ගෙදරිනුත් ලොකු සහයක් ලැබෙනවා. ඒ ඇරුණම ඉන්න යාළුවෝ කිහිපදෙනා එක්ක චිත්‍රපට බලන්න යනවා, පොත පත කියවනවා. හරි ලස්සනට පාඩුවේ ජීවිතේ ගෙවනවා.
ආදරය ගැන ඔමන්දිට තියෙන්නෙ මොන වගේ අත්දැකීමක්ද?
ආදරය සුන්දරයි, හොඳයි ඉතින් හරි විදිහට ලැබුණොත්. ආදරණීය අත්දැකීම් ලබල තියෙනවා. ආදරේට මාත් හරි ආදරෙයි.