පසුගිය සතියේ අපි ‘ෆාදර්’ චිත්‍රපටයේ ඩෙස්මන් එක්ක පොඩි චැට් එකක් දැම්මා. ඔන්න මෙදාපාර අපි ඩෙස්මන්ගේ නංගි එක්ක පොඩි චැට් එකක් දැම්මා. ඩෙස්මන්ගේ නංගිට ජීවය දෙන්නේ කවුද කියලා දන්නවාද? මනෝජා ප්‍රනාන්දු. ඉතිං මේ ඇගේ හඬයි.
‘ෆාදර්’ සඳහා රංගනයෙන් දායක වෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ගොඩාක් සතුටු හිතුණා. මට මෙහි අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය තමයි ආරාධනාව කළේ. මොකද චමින්ද අයියා කියන්නේ මේ ක්‍ෂේත්‍රයේ වසර ගණනාවක හොඳ අත්දැකීමක් තියෙන පරිපූර්ණ ශිල්පියෙක්. ඔහු මේ නිර්මාණය අධ්‍යක්ෂණය කිරීම පිළිබඳව මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒකත් එක්ක මම දන්නවා එයා කරන වැඩක් හරියටම කරනවා කියලත්. අපි කියන්නේ තිතටම වැඩක් කරනවා කියලා. ඒ නිසා මේක ලස්සන බයිස්කෝප් එකක් වේවි.
රූගත කිරීම්වල අත්දැකීම් මොනවගේද?
මට ගොඩක් මේ නිර්මාණයට සම්බන්ධවෙන්න ලැබුණේ ඩෙස්මන්ගේ නංගිගේ චරිතයට. ගෙදර ඇතුළේ තියෙන රූගත කිරීම්වලට තමයි සම්බන්ධ වුණේ. හැබැයි මම දැක්ක දේ සහ අපේ කට්ටිය කියන දේවල් අනුව හැමෝටම මේ වැඩේ ගොඩක් දැනිලා තිබුණා. හැමෝටම එහෙමයි.
ගම්පහ ඔස්මන්ගේ සැබෑ කතාව දැනගෙන තිබුණද?
ඔව්. මීට කලින් මම ඒ කතාව අහලා තිබුණා. අනික ඒ කතාව හරි ප්‍රසිද්ධයි. ගම්පහ කිව්ව ගමන් ඕනෑම කෙනෙක් ඒ කතාව දන්නවා. මම ඒ කතාව පිළිබඳව හොඳ අවබෝධයකින් හිටියේ.
ඩෙස්මන්ගේ නංගිට ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?
ඉතාමත් හොඳ ප්‍රතිචාර තමයි ලැබුණේ. තවමත් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ඒක ගැන ඇත්තටම හරි සතුටුයි. කණ්ඩායමක් විදිහට එකතුවෙලා කරපු නිර්මාණයක්. හැමෝම කිව්වේ මේක මරු බයිස්කෝප් එකක් කියලා. ලංකාවේ මේ වෙනකම් බිහිවුණ නිර්මාණ ඇතුළේ මේක සුවිශේෂී නිර්මාණයක් කියලා හැමෝම වගේ කිව්වා.
දැවැන්ත නළු නිළියෝ ගොන්නක් මැද්දට වැටුණහම මොකද හිතුණේ?
ඒක තමයි මට තිබුණ ඇත්තටම ලොකුම සතුට. මොකද සාමාන්‍යයෙන් යම්දෙයක් තේරෙන කාලේ ඉඳලා මම රඟපාන්න ආසාවෙන් හිටපු කාස්ට් එකක් එක්ක තමයි මට රඟපාන්න ලැබුණේ. ඉතිං මම වාසනාවන්තයි කියලා හිතනවා. ඒක මාර අත්දැකීමක්. අනික ඔවුන් එක්ක වැඩකරන්න හරිම ලේසියි. ඔවුන් සමග වැඩකරන්න කිසිම ගැටලුවක් මතුවෙන්නේ නැහැ.
රූගත කිරීමෙන් පසුව අධ්‍යක්ෂවරයා ඩෙස්මන්ගේ නංගි ගැන මොනවාද කිව්වේ?
ඔහු කලාකරුවන්ව අධ්‍යක්ෂණය කරනවා වගේම අපේ ස්වාභාවිකත්වයට හානියක් නොවන ආකාරයට තමයි අධ්‍යක්ෂණය සිදුකරන්නේ. එතකොට ඔහු අපෙන් උපරිම ස්වාභාවිකව එන දේ බලාපොරොත්තු වෙනවා. ඒක ඇතුළේ එයාට අවශ්‍ය දෙයක් එන්නේ නැතිනම් ඔහු ළඟට ඇවිත් හෙමිහිට කියනවා. ඉතිං ඔහු මට කීවා ඔයා වැඩේ හරියට කළා කියලා.
මාධ්‍ය දර්ශනයේදී ලැබුණ හොඳම ප්‍රතිචාරය?
මට පුද්ගලිකව කිව්වා ඔයා මරුනේ කියලා. ඊට අමතරව ඉතිං නිර්මාණයට පොදුවේ කිව්වේ මේක මාර වැඩක් කියලා තමයි.
‘ෆාදර්’ ඔබේ කීවැනි සිනමා නිර්මාණයද?
මේ මගේ හතර වැනි සිනමා නිර්මාණය.
මේ දවස්වල වේදිකාවේ වැඩකටයුතු එහෙම කොහොමද?
මේ දවස්වල අපි චාලක රණසූරිය අයියා අධ්‍යක්ෂණය කරනු ලබන දිලූපා නිරෝෂනී ද අල්විස් නිෂ්පාදනය කරන අටවන බුවනෙක වේදිකා නිර්මාණය එක්ක සම්බන්ධවෙලා ඉන්නවා. පසුගිය දවස්වල එහි දර්ශන වාර එක්ක රටවටා ගමනක් යනවා.
වේදිකාවේදී ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැන් ඉස්සරට වඩා සිනමාවට තමයි වැඩි උද්‍යාගයක් තියෙන්නේ. අනික ගොඩක් සිනමා නිර්මාණ බිහිවෙනවා. ඒ වගේම ගොඩක් ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම වේදිකාවෙත් පසුගිය කාලවල ලොකු පසුබෑමක් තිබුණානේ. ඒ පසුබෑම කෙමෙන් කෙමෙන් වියැකෙනවා කියලා තේරෙනවා. වේදිකා නාට්‍ය දර්ශන වාරත් දැන් දැන් හවුස්ෆුල් වෙනවා.
ඔබේ ගමන් මාර්ගය ගැන පසුවිපරමක් සිදුකළොත්?
ආපසු හැරී බැලුවොත් හරි සතුටුයි. මේක මම හරි ඉවසීමෙන් ආපු ගමනක්. මට එහෙම කිසිම කලබලයක්, හදිසියක් තිබුණේ නැහැ කිසිම වෙලාවක. බොහොම ඉවසීමෙන් ආපු නිසා බොහොම ලොකු ගමනක් ඇවිත් තියෙනවා කියලා මම හිතනවා. මම පිළිබඳ මට සතුටුයි.
රංගන ශිල්පිනියන් වෙනවා කියන එක පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක් සැබෑවීමක්ද?
නැහැ. පුංචිකාලේ එහෙම අදහසක් තිබුණේ නැහැ. තේරෙන්නේ නැතිකාලෙක ඉඳලා චිත්‍රපට නරඹනවා. දැක්කම ආසයි. ඒවා බලලා ඒ දේවල් කරනවා. හැබැයි ඊට පස්සේ ඉස්කෝලේ යනකාලේ මාව බලෙන් වගේ නාට්‍යවලට ගන්නකොට මට ලැජ්ජයි. නමුත් චූටිම කාලේ තිබුණ ආසාව තරුණියක් වෙනකොට ඉබේම ආවා. ඒ ගැන සතුටුයි.
ටෙලිනාට්‍ය රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?
ප්‍රියන්ත ප්‍රනාන්දු අයියාගේ අලුත්ම ටෙලිනාට්‍යයකට රංගනයෙන් දායක වුණා.
ඔබ නිර්මාණ තෝරාබේරා ගැනීමක් සිදුකරනවාද?
ඔව්. මම නිර්මාණ තෝරාබේරා ගැනීමක් සිදුකරනවා. මොකද මම හිතනවා වඩාත් ගුණාත්මක නිර්මාණවලට සහභාගිවෙන එක තමයි වටින්නේ කියලා. ඉතිං ඒ හින්දා ඒ ගැන හිතලා මම අනිවාර්යයෙන්ම තෝරාබේරා ගැනීමක් සිදුකරනවා. සමහර වෙලාවට අපේ ශිල්පීන්ට පොදුවේ තෝරාබේරා ගැනීමක් සිදුකරන්න බැරිවෙන අවස්ථා තියෙනවා. එහෙම අපහසු අවස්ථා දෙක තුනක් ඇවිත් තියෙනවා. ඊට අමතරව මම වැඩිපුර උත්සාහ කරන්නේ තෝරාබේරා ගැනීමකින් යුතුව නිර්මාණ භාරගන්න.
ඇයි මේ හෙමින් ගමනක් යන්න උත්සාහ කරන්නේ?
මම හිතනවා මේ ගමනේ හොඳම ප්‍රතිඵලය ලබන්න පුළුවන් වෙන්නේ ඉවසුවොත් තමයි කියලා. මම ඒක ලොකුවට විශ්වාස කළා. බොහොම කලබලයෙන්, හැම වැඩේම භාර අරගෙන, හැම වැඩේම බදාගෙන පොදිගහගෙන ගියොත් මට හිතෙන්නේ මම බලාපොරොත්තු වෙන මට්ටමට මට යන්න බැරි වේවි කියලා. ඒ නිසා හොඳම දේ තමයි ඉවසීම.
දිනේෂ් විතාන