ශෂිකා, ඔබ පසුබිම් ගායනයෙන් සම්බන්ධ වුණු ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටය ගැන කතා කළොත්?
ඇත්තටම ඒක හරිම සංවේදී චිත්‍රපටයක්. ඒ වගේම දෙමාපියෝ නැරඹිය යුතු චිත්‍රපටයක් කියලා හිතනවා. වෙනස්ම තේමාවක් එක්ක දෙමාපියන්ට වගේම දරුවන්ට ලොකු පණිවුඩයක් ලබාදෙනවා. මේ චිත්‍රපටය පුරාවටම එක ගීතයයි තියෙන්නේ. ඒක තමයි මම ගායනා කරන්නේ.
වසර නවයකට පසුව කුලරත්න ආරියවංශගේ පද රචනාවකට ශෂිකා හඬ මුසු කරනවා?
ඇත්තටම කුලේ අංකල් මට කියපු විදිහට ගීත ලියන එක නවත්තලා ඉඳල තියෙන්නේ. නමුත් එයාගේ පුතාලා දෙන්නාගේ ඉල්ලීමට තමයි මේ පද රචනාව සිදුකරලා තියෙන්නේ. මේ ගීතය ගැන කතාබහ වෙනකොට කුලේ අංකල් වෙන වෙන රචකයන්ගේ නම් යෝජනා කරලා තියෙනවා. නමුත් කුලේ අංකල්ගේ දරුවන් දෙදෙනා වන කල්පන සහ වින්දන දෙපළ ඒ අදහසට අකැමැතිවෙලා අන්තිමේ ඔවුන්ගේ දැඩි ඉල්ලීමට තමයි පද රචනාව සිදුකරලා තියෙන්නේ. ඇත්තටම හිතාගන්න බැරි පද රචනාවක්. හරි ලස්සන වචන ටිකක්. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ.
මේ ආරාධනාව ලැබුණේ කාගෙන්ද?
මුලින්ම කතා කළේ කුලරත්න ආරියවංශ අංකල්. ඉතිං ඒ ආරාධනාව ලැබෙනකොට මට පුදුම සතුටක් ඇතිවුණේ. මොකද චිත්‍රපට ගීතයක්. ඒකට රෝහණ සර් සංගීතය සපයන්නේ. හොඳ සිනමා නිර්මාණයක්. ඊළඟට දැනගන්න ලැබුණා මේ සඳහා රංගනයෙන් දායකවෙන්නේ සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය නිළි රැජන වන මාලනී ෆොන්සේකා කියල. මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි මාලනී ඇන්ටි, සමනලී වගේම, කතාවට අනුව සමනලීගෙ දුවට රඟපාන්නෙත් සමනලීගෙ පවුලේම දුවෙක්. එතැනත් සුවිශේෂයි. හැමදේම අනුව සාර්ථක නිර්මාණයක්. මම හරි ආසවෙන් සහ උනන්දුවෙන් ඒ වැඩේට දායක වුණා.
ඔබේ හඬට ලැබුණේ මොනවගේ ප්‍රතිචාරයක්ද?
ඇත්තටම මලකි දුවේ නුඹ චිත්‍රපටයට දායකවෙන්න ලැබීමත් සතුටට කාරණාවක්. ඒ වගේම චිත්‍රපටය නරඹපු, ගීතය අහපු ගොඩක් දෙනකුගෙන් වගේම ක්‍ෂේත්‍රයේ අයගෙනුත් මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ගීතය පටිගත කිරීමේදී පවා හරි ඉක්මනින් ග්‍රහණය කරගෙන ගායනා කරපු ගීතයක්.
මේ දවස්වල සංගීත වැඩකටයුතු කොහොමද?
සාමාන්‍ය විදිහට කරගෙන යනවා. එළිමහන් ප්‍රසංගවලට වැඩිය ගෘහස්ථ ප්‍රසංග පැවැත්වෙනවා. රූප රචනාවක් සමග ගීතයක් නිර්මාණය කරන්නත් අදහස් කරගෙන ඉන්නවා.
ශෂිකා ඒකපුද්ගල ප්‍රසංගයකට මේ දිනවල සූදානම් වෙනවා කියලත් ආරංචියි?
1999 වසරේ පැවැත්වුණ තුරුණු ශක්ති වැඩසටහන ජයග්‍රහණය කරන මම මේ වන විට ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය ගායිකාවක් විදිහට වසර විසිපහක් තිස්සේ වැඩකරනවා. දිස්ත්‍රික් තරගයෙන් ජයග්‍රහණය කරපු දවසේ ඉඳලා මම ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු ගොඩක් කළා. ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ රොබින්සන් අන්දරේ තේමා ගීතයේ ඉඳලා වැඩසටහන්වලට ඒ කාලෙත් මට ආරාධනා ලැබුණා. ඊට පෙරත් මම 1990, 1991 වසරේ ජාතික රූපවාහිනියේ, ගුවන්විදුලියේ ළමා ගායිකාවක් විදිහට වැඩකරල තියෙනවා. ගොඩක් දෙනෙක් මාව දැනගත්තේ තුරුණු ශක්ති වේදිකාවෙන්. ක්‍ෂේත්‍රයට ඇවිත් වසර විසිපහක් වන නිසා ඒක සමරන්න ප්‍රසංගයක් සංවිධානය කළා. ගොඩක් දෙනෙක් මට ආරාධනා කළා මගේ තනි
ප්‍රසංගයක් කරමු කියලා. හැබැයි මට හිතුණා මගේ තනි ප්‍රසංගය මම ම සංවිධානය කරනවා කියලා.
මේ ප්‍රසංගය පවත්වන්නේ කවදාද? කොහේදිද?
එළැඹෙන පෙබරවාරි මාසයේ 27 වැනිදා නෙළුම් පොකුණේදි තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. එහි සංගීතය අධ්‍යක්ෂණය සිදුකරනු ලබන්නේ පහන් සංදීප. ප්‍රසංගය නම් කරලා තියෙන්නේ ශෂිකා 25 යි කියලා. මම ඉතුරු ටික තියාගන්නම් සර්ප්‍රයිස් එකක් විදිහට. මොකද තව විශේෂත්ව කිහිපයක්ම තියෙනවා. මම එහිදී ගීත විසිපහකට අධික ප්‍රමාණයක් ගායනා කරනවා. ඉතිං මගේ රසිකයන්ට අරාධනා කරනවා එදාට මේ ප්‍රසංගය නරඹන්න එන්න කියලා.
ටෙලිනාට්‍ය, චිත්‍රපට වගේම ප්‍රසංගවලින් ඔබේ ගීත අහන්න ලැබෙනවා?
දැන් මම ටෙලිනාට්‍ය හැටකට ආසන්න ප්‍රමාණයක තේමා ගීත ගායනා කරලා තියෙනවා. මේ දිනවල විකාශය වන බැද්ද අද්දර ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කළෙත් මමයි. පසුබිම් ගීත ගායනා කරපු චිත්‍රපට දෙකක් විතර තිරගතවීමට නියමිතයි. ඉතිං ඇත්තටම කියනවා නම් මුල ඉඳලා මේ දක්වාම මට ලැබුණේ හොඳ නිර්මාණ. මගේ ගීත එකතුවලටත් හොඳ නිර්මාණ ලැබුණා. අදටත් හොඳ නිර්මාණ හොයනවා. මගේ හඬට සහ රසිකයන්ට විඳින්න පුළුවන්ද කියලා බලලා තමයි ගීත නිර්මාණය කරන්නේ. පීපල්ස් අවෝර්ඩ් හි මම වසර දහයක් එක දිගට ජනතා සම්මානය හිමි කරගන්නවා. මේ වෙනකොට ඔක්කොම සම්මාන තිස්හයක් තියෙනවා.
1999 වසරේ තුරුණු ශක්ති වේදිකාවට ගොඩවීම ගැන තියෙන්නේ මොනවගේ අදහසක්ද?
ඇත්තටම මෙහෙමයි, පුංචි කාලේ ඉඳලා මාව ගායිකාවක් කරන්න ආසාව තිබුණේ තාත්තට තමයි. ඉතිං ඒ ආසාව නිසාම සංගීතය පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිය පවා හැදෑරුවේ සංගීතයෙන්ම තමයි. ඉන්දියානු රාගධාරී සංගීතයත් පොඩිකාලේ ඉඳලා හදාරන්න පුළුවන් වුණා. තාත්තා ඒකට මට මඟපෙන්නුවා. ඊළඟට පාසල් වේදිකාවලත් මම වැඩිපුරම සංගීතය තමයි හැදෑරුවේ. ඒ අත්දැකීම් හරි වටිනවා. පුංචිකාලේ ඉඳලා මට හොඳ අඩිතාලමක් වැටුණා. සංගීත ක්ෂේත්‍රයට තිබුණ ආසාව, කැපවීම හින්දයි මට මේ ගමන එන්න පුළුවන් වුණේ. අනික සංගීතය කියන විෂය ‘සාගරය’ වගෙයි. ඉගෙනගෙන ඉවර කරන්න බැහැ. මම තවමත් සංගීතය පුහුණුවෙනවා, අධ්‍යයනය කරනවා. මේ හැමදේමත් එක්ක කැපවීමකින් තමයි මේ ගමන යන්නේ.