මගෙයි නැන්දගෙයි දුවගෙයි දර්ශනය සුවිශේෂයි – සමනලී ෆොන්සේකා

gossiplanka image 2
 


නිමංසාව අපිට හම්බවෙන්නේ මේ දිනවල අතිසාර්ථක ලෙස රටපුරා සිනමාහල්වල තිරගත වෙන කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ සම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු ‘මලකි දුවේ නුඹ’ සිනමා නිර්මාණය හරහායි. නිමංසාට ජීවය දෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වන සමනලී ෆොන්සේකා. ඉතිං නිමංසාට ජීවය දෙන සමනලී සමඟ අපි නිමංසා ගැන පහුගිය දවසක පුංචි සංවාදයක පැටළුණා.


සමනලී රංගනයෙන් දායක වෙන මලකි දුවේ නුඹ චිත්‍රපටය මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වෙනවා. මොනවගේ ප්‍රතිචාරද ඔබට ලැබෙන්නේ?


ඇත්තටම මේ වසරේ තිරගත වෙන්න පටන්ගත්තු පළමු චිත්‍රපටය. ඉතිං ගොඩක් හොඳ ප්‍රතිචාර මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. මිනිස්සු හරිම ආදරණීය විදිහට චිත්‍රපටය වැලඳගනිමින් ඉන්නවා. ඒ ගැන සතුටුයි.



එකම චිත්‍රපටයේ පරම්පරා තුනක් නියෝජනය කරනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. ඒ ගැන කතා කළොත් ?


අපේ පවුලේ අය එකතුවෙලා රඟපාන චිත්‍රපට හෝ නිර්මාණවල පළමුවැනි එක නෙමෙයි මේ. අපි මීට කලිනුත් එහෙම වැඩකරලා තියෙනවා. උදාහරණයක් විදිහට කෙම්මුර ටෙලිනාට්‍යයේ මමත් නැන්දත් රඟපෑවා. ඒ වගේම අඹුදරුවෝ කියලා සුදත් රෝහණ අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයක ලොකු නැන්දා, දමයන්ති ෆොන්සේකා, මනෝලි ෆොස්සේකා රඟපෑවා. ඊට පස්සේ ආකාස කුසුම් එකේ නැන්දා, මම, තරින්දි ෆොන්සේකා, සඳුනි ෆොන්සේකා රඟපෑවා. එහෙම අපි එකතුවෙලා වැඩකරලා තියෙනවා. හැබැයි මේ පළමුවැනි වතාව පරම්පරා තුනක් එකම නිර්මාණයක වැඩකරන. අනික ඒ චිත්‍රපටයෙත් පරම්පරා තුනක් තමයි නියෝජනය කරන්නේ. ඒක සුවිශේෂී කාරණාවක්.


ඔබේ චරිතය වන නිමංසා ගැන කතා නොකරම බැහැ. නිමංසා වෙනුවෙන් මොනවගේ කැපකිරීම් ද සිදුකළේ ?


මුලින්ම මම චරිතය වටහාගන්න කළේ නිමංසාගේ ඉතිහාසය කොයිවගේ එකක් වෙන්න ඇතිද?.


ඇය කොයිවිදිහට ඇගේ ජීවිතේ සමහර තැන් පහුකරන්න ඇතිද?. යන දේ මගේ හිත ඇතුළේම නිර්මාණය කරගෙන නිමංසාගේ ජීවිතය පොඩ්ඩක් ආපස්සට අරගෙන ගියා. එතැනදීත් මම හිතපු දෙයක් තමයි සමස්තයක් විදිහට ලෝකයේ ගැහැනිය වෙනුවෙන් ගොඩාක් වෙලාවට තීරණ ගන්නේ පිරිමි. එතකොට පොඩි කාලේ තාත්තා, ඊට පස්සේ පෙම්වතා, සහෝදරයා, සැමියා, පුතා වෙන්න පුළුවන්, ගැහැනිය වෙනුවෙන් ජීවිත කාලය පුරාම තීරණ ගනිමින් සමාජයක් සකස් වෙනවා කියලයි මම කියන්නේ. හැබැයි හැමතැනම නෙමෙයි. ඉතිං එහෙම සමාජයක තමන් වෙනුවෙන් තීරණ අරගෙන තමන්ගේ ජීවිතේ තමන්ට ඕනෑ විදිහට ගතකරන කෙනෙක් තමයි නිමංසා කියන්නේ. ඒ තැන්වලදී එයාට වරදින්නත් පුළුවන්, හරියන්නත් පුළුවන්. හැබැයි ඒ වරදින හරියන හැම වෙලාවේම ඒ වගකීම තමන් විසින් භාර අරගෙන තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන චරිතයක්. ප්‍රතික්ෂේප වෙච්ච අස්ථා තියෙනවා. ඒකට හේතුව ඇගේ දරුවා. හැබැයි ඒ වුණාට ඒ හේතුව ඒ දරුවා ඉතාම තදින් තුරුලු කරගෙන තමයි ඇය ඒ ගමන යන්නේ. නිමංසා ලයික් ගැන වීව්ස් ගැන ගොඩක් හිතනවා. දුවගේ කටින් මේ දේවල් කියවෙනවා. ඉතිං බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි උන්නතිකාමයෙන් පෙළෙන ගැහැනියක් විදිහට. ඇගේ දරුවා තමයි ඇගේ මේන් ෆෝකස් එක.



පාලම උඩ දර්ශනයේදී නිමංසා කියනවා ‘හරියන්න හරි වරදින්න හරි උඹ මගෙත් එක්ක එන්න ඕනෑ, මම උඹේ අම්මා’ කියලා. හැඟීම් ඉස්මතුවන දර්ශනයක් සහ දෙබසක්. ඒ ගැන කතා නොකරම බැහැනේ ?


පිටපත අතට ලැබුණට පස්සේ ඒ දර්ශනය ගැන තමයි මම ලොකුවට හිතමින් හිටියේ. මොකද මගෙයි නැන්දගෙයි දුවගෙයි දර්ශනය සුවිශේෂයි. මුලදී මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා හිතුවා. හැබැයි මොනවා හිතුවත් එතැනට ගියාට පස්සේ අනෙකුත් සියලුම සාධක එකතුවුණාට පස්සේ පරිසරය, කැමරාව ඒ වගේම අපිත් එක්ක වැඩකරන චූටි දුවයි මමයි නැන්දාගේ දේවලුත් ඒකට එකතුවුණාට පස්සේ වෙනස්ම තැනකට ඒ රිද්මය අපිව අරගෙන යනවා.


මීට කලිනුත් ඔබ කල්පන වින්දනගේ ප්‍රේමය නම් චිත්‍රපටයේ වැඩකළා. මෙවර මලකි දුවේ නුඹ වෙනුවෙන් ආරාධනාව ලැබුණහම මොකද හිතුණේ ?


ඔව්. ඇත්තටම මම කැමැතියි කල්පන වින්දන එක්ක වැඩකරන්න. මොකද හරි කැපවීමකින්, උනන්දුවකින් වැඩකරන දෙන්නෙක්. ප්‍රේමය නම් චිත්‍රපටයත් හරි ලස්සන විදිහට ප්‍රේක්ෂකයන් වැලඳගත්තා. ඒ වගේම ශ්‍යාම් අයියත් එක්ක වැඩකරන්න ලැබුණ එකටත් හරි කැමැතියි. මොකද හරි ප්‍රොෆෙෂනල් විදිහට වැඩකරන හරිම ආදරණීය සහෝදරයෙක්. දර්ශන තලයේදීත් අපි දෙන්නා හම්බවුණහම අපි දෙන්නාට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මම සතුටුවෙනවා මාව මේ චරිතයට තෝරාගැනීම සම්බන්ධව.


ඔබ ජීවත්වන වටපිටාව ඇතුළත නිමංසා වගේ චරිත මුණගැහිලා තියෙනවාද?


ඔව්. අනිවාර්යෙන්ම. දැන් සින්ගල් මාම්ලා, සින්ගල් පේරන්ට්ලා ගොඩාක් ඉන්නවා. සමාජයට බයේ හෝ ලැජ්ජාවෙන් අමාරු තැන්වල දැන් ජීවත්වෙන්නේ නැහැ. කාන්තාව ස්වාධීනයි. ඇයට පුළුවන් නරක විදිහට සලකන තැන්වල තවදුරටත් රැඳෙන්නේ නැතිව තමන්ගේ සුබසිද්ධියට වඩා සමහර වෙලාවට තමන්ගේ දරුවාගේ සුබසිද්ධිය උදෙසා ඒ තැන්වලින් ඉවත්වෙලා ඉදිරියට යන්න. ඉතිං ඒ වගේ චරිත මට ගොඩාක් හමුවෙලා තියෙනවා. මම ඒ චරිතවලට ගොඩාක් ගරු කරනවා. ඒ ගොල්ලෝ දරුවන් ගැන හිතලා තමන්ගේ ජීවිතේම කැප කරලා ඒ වුණාට තමන්ගේ වැඩ ටික කරගන්නේ නැතිව ජීවත්වෙන ලස්සන ගැහැනු.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post