අපේ රටේ සිනමාලෝලීන්ට හරිස්චන්ද්‍ර කියන්නෙ අමතක නොවෙන චරිතයක්. 2017 වසරේ එක්තරා දවසක සිදුවුණ ඒ අමිහිරි සිදුවීමෙන් වසර අටක් ගෙවුණ තැන වැළලුණ අතීතයක රහස් නැවතත් එළිවෙන්න පටන් අරගෙන. මේ සිද්ධිදාමය හරිස්චන්ද්‍ර පවුළට මොන විදිහට බලපායිද?.
කොහොම වුණත් මුල් කාලෙ මේ සිදුවීම්වලින් වැඩිම බලපෑම තිබුණෙ පොඩ්ඩිට. මොකද ඇය පවුලේ බාලයා වීම නිසා. විනුමි වන්සදී, අවුරුදු අටකට පස්සෙ පොඩ්ඩි ගැන කියන කතාව මොන වගේද?. අපි අහල බලමු.
‘ධර්ම යුද්ධය’ දෙවැනි කොටස සමග හරිස්චන්ද්‍රගෙ පොඩි දුව නැවතත් ළඟදීම සිනමා ශාලාවල දකින්න ලැබෙනව. කොහොමද මාධ්‍ය දර්ශනයේදි ලැබුණ ප්‍රතිචාර?
ඇත්තටම එදා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ අධ්‍යාපන කටයුතු නිසා ධර්ම යුද්ධය පළමු චිත්‍රපටයෙන් පස්සෙ මම සිනමා ක්‍ෂේත්‍රයෙන් ටිකක් ඈත් වෙලා හිටියා. නැවතත් ක්‍ෂේත්‍රයට එන්නෙ ධර්ම යුද්ධය දෙවැනි කොටසින්. බිමල් මහත්මයා වගේම දිල්හානි මහත්මිය කියන්නෙ කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයො. ඔවුන් වගේ විශිෂ්ට චරිත සමග මෙවැනි සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.
අවුරුදු අටකට පස්සෙ තිරයේ ඔබට ඔබව දකින්න ලැබෙනව?
ඔව්, ලොකු කාලෙකට පස්සෙ. මුල් කොටස කරද්දි මම නවය ශ්‍රේණියේ ඉගෙනගන්නව. මේ චිත්‍රපටය තුළ මම සතුටින් ඉන්න තැන් ගොඩක් අඩුයි. මගෙ මූණෙ හිනාවක් තියෙනව ප්‍රේක්‍ෂකයන්ට දකින්න ලැබෙන්නෙ තත්පර ගාණයි. වැඩිපුරම දකින්න තියෙන්නෙ අඬනව, බයවෙලා බලන් ඉන්නව. ඉතිං මට මාව දැක්කාම හිතුනෙ මම ඒ අභියෝගයට පුළුවන් උපරිමයෙන් මුහුණදීල තියෙනව කියල. ඉතිරි ටික ප්‍රේක්‍ෂකයන්ට බාරයි.
මීට අවුරුදු අටකට කලින් පොඩ්ඩිගෙ ජීවිතේ මතක් කළොත්?
මම සිරස ටීවී නාළිකාවෙ කිඩ්ස් ෆස්ට් පෝග්‍රෑම් එක එක වසරෙ පටන් අවුරුදු දහයක් දොළහක් එක දිගටම මෙහෙයවූවා. ඒ නිසාම තමයි ධර්ම යුද්ධය පළමුවැනි කොටසට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙන්නෙ.
පළමු වැනි කොටසෙදි ඔබට රඟපාන්න ලැබෙන්නෙ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී සමග. ඒ අත්දැකීම මොන වගේද?
ඇත්තටම මට ඒක කියන්න තේරෙන්නෙ නැහැ. චිත්‍රපටයේ රූගතකිරීම්වලදි වගේම චිත්‍රපටය නරඹද්දිත් මට ජැක්සන් මාමාව ගොඩාක් මතක් වුණා. මොකද පළමු කොටස රූගතකිරීවලදි ජැක්සන් මාමා මාව ගොඩක් හොඳට බලාගත්තා. පාඩම් කරද්දි ළඟට ඇවිත් ඉතිහාසය ගැන ගොඩක් දේවල් කියල දුන්නා. මං කන්න ආසා දේවල් මොනවද කියල අහල ඒ දේවල් ගෙනත් දුන්න. ෂූටිං ඉවර වුණාට පස්සෙ අපි ටි්‍රප් ගියා. ඒ වගේ අපිට නිදහසේ ඉන්න කාලය තිබුණා. ඇත්තටම ඒක හරිම සුන්දර කාලයක්.
බිමල් ජයකොඩිගෙන් ලැබුණ සහයෝගය මොන වගේද?
බිමල් මාමා කියන්නෙත් මල්ටි ටැලන්ටඩ් කෙනෙක්. මම ආධුනිකයි කියල සැලකුවෙ නැහැ. ගොඩක් දේවල් කියල දුන්න. අපි හතර දෙනාම ගොඩක් සතුටින් තමයි කාලය ගත කළේ. ඒ වගේම මගේ රංගන ජීවිතයටත් අත්දැකීම් ගොඩක් ලබාගන්න අවස්ථාව ලැබුණා.
විනුමි දැන් මොකද කරන්නෙ?
මම දැන් කොතලාවල ආරක්‍ෂක විද්‍යායතනයේ දෙවන වසරේ ඉගෙනුම ලබනව. මම අධ්‍යාපනය ලබන්නෙ ්චචකසැා ඊසදඑැජයබදකදටහ අංශයෙන්. චිත්‍රපටයේ රූගතකිරීම් තිබුණ කාලෙ මට විභාගයකටත් මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා ෂූටිං අතරතුරත් මම පාඩම් කරනව. මගේ යාළුවො, අම්මා, තාත්තා, මල්ලි මේ හැමෝගෙම උදව්වෙන් විභාගය වගේම ෂූටිං වැඩ ටිකත් හොඳින් කරගන්න පුළුවන් වුණා.
දෙවැනි කොටස වෙනුවෙන් කවුද විනුමිට ආරාධනා කරන්නෙ?
මට මේ ආරාධනය කරන්නෙ ධර්ම ශ්‍රී මාමා. ඔහු මට කතාකරල කියනව, ධර්ම යුද්ධය දෙවැනි කොටස පටන් ගන්නව, ඔයා අනිවාර්යයෙන් එන්න කියල. මම අම්මගෙනුයි තාත්තගෙනුයි අහල කැමැත්ත දුන්නා.
මෙහි දෙවැනි කොටසක් කෙරෙයි, ඒකට ආරාධනයක් ලැබෙයි කියල බලාපොරොත්තුවක් තිබුණද?
පළමු කොටස අවසන් වෙද්දි ප්‍රශ්න ගොඩක් ඉතිරි වුණානෙ. ඒ ප්‍රශ්නවලට කොතැනකදි හරි උත්තර ලැබෙන්න ඕනනෙ කියන දේ ඒ කාලෙ ඉඳන්ම මගෙ හිතේ තිබුණා. ජැක්සන් මාමාත් ඒ දවස්වල කිව්වා මේකෙ දෙවැනි කොටසක් එනවනම් නියමයි කියල.
මෙහි හින්දි, මලයාලම් චිත්‍රපට නැරඹුවාද?
ඔව්, මෙහි දෙවැනි කොටස සහිත හින්දි චිත්‍රපටය මම බැලුවා.
විනුමි කලාව පැත්තෙන්ම ඉදිරියට යනවද?
මගේ අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වය දෙනගමන් හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්න අදහසකින් ඉන්නව. නමුත් වෘත්තීයමය වශයෙන් රංගනය තෝරාගන්න අදහසක් නැහැ දැනට.
මේ අවුරුදු අට තුළ රංගනයට ආරාධනා ලැබුණෙ නැද්ද?
චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. ෂූටින් තිබුණෙ තායිලන්ඩ්වල නිසාත් මම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන කාලෙ වුණ නිසාත් සම්බන්ධ වුණේ නැහැ.
විනුමිගෙ විස්තර ටිකක් කියමු?
මගේ ගම කැලණිය. පාසල් ගියේ කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයට. පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. විශේෂයෙන්ම කියන්න ඕන, පවුලේ අයගෙන් වගේම අද මම ඉන්න තැනට එන්න පාසලෙන් ලැබුණ පන්නරයත් ඉතාමත් වටිනව.
ඔබේ පළමු චිත්‍රපටය ධර්ම යුද්ධය නොවෙයි?
ඔව් ධර්ම යුද්ධය මගේ දෙවැනි චිත්‍රපටය. පළමු එක වුණේ හෝගානා පොකුණ. ඒකට සම්බන්ධ වෙද්දි මම ඉගෙන ගත්තෙ පහ ශ්‍රේණියේ.
ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් නම් ලොකු අදහසක් මට නැහැ. නමුත් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවෙන ආකාරයට හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නව.