පාසල් ප්‍රේමයේ සුන්දරත්වය මවන ‘මං ආදරෙයි’ පසුතලය සොයා ගියෙමු -හර්ෂ උඩකන්ද

gossiplanka image 2
 


කෙළිලොල් පාසල් ප්‍රේමය සිහිගන්වන ‘මං ආදරෙයි’ ටෙලි නිර්මාණය මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් වී ඇති ටෙලි නිර්මාණයකි. දෙරණ නාළිකාවේ විකාශය වන මං ආදරෙයි කතාව, නිෂ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණය ද හර්ෂ උඩකන්දගේය. තිර රචනය හර්ෂ උඩකන්ද සමඟින් අහිංසා නිල්මිණීය.


සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් පාසලක් තෝරා ගන්නා දරුවන් පිරිසක් දිවයිනේ නන් දෙසින් පැමිණ එකම පාසලක අධ්‍යාපනය ලබන අතරේ ඔවුන් අතරේ ඇතිවල සබඳකම් ගැන කියවෙන මං ආදරෙයි හරි අපූරු සුන්දර අත්දැකීමකි.


පාසල් ප්‍රේමය පදනම් කරගෙන නිර්මාණය වී ඇති මං ආදරෙයි මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන අතිශයින් ජනප්‍රිය ටෙලි නිර්මාණයකි. පාසල් පෙමක පැටලී නැති කෙනෙක් වේ නම් ඒ ඉතාම කලාතුරකිනි. වර්තමානය වනවිට එය අසුන්දර අත්දැකීම් එකතු කළද අතීතයේ එය අතිශයින්ම සුන්දර අත්දැකීමක් ලෙස සිහිපත් කරන්නන්ද සිටිති.


ජනප්‍රිය රචක, නිෂ්පාදක මෙන්ම අධ්‍යක්ෂවරයෙක් වන හර්ෂ උඩකන්ද පාසල් ප්‍රේමයේ දුටු සුන්දරත්වය මං ආදරෙයි ඔස්සේ ප්‍රේක්ෂක ඔබ වෙත තිළිණ කරන්නේය. එහි අපූරුව විඳගැනීමේ අදහසින් අපි එහි පසුතලය සොයා ගියෙමු.


මං ආදරෙයි නිර්මාණාත්මකව ඔබ වෙත තිළිණ කරන්නට වෙහෙ­‍ෙසන හර්ෂ ඔහුගේ අභියෝගාත්මක අත්දැකීම මෙලෙස අප හා බෙදා ගත්තේය.


මං ආදරෙයි නිර්මාණය වෙන්නේ පාසල් ප්‍රේමයම මූලික කරගෙන. සාමාන්‍ය පෙළ ඉවරවෙලා උසස් පෙළ හැදෑරීම සඳහා දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් එන දරු දැරියන් පිරිසක් එකම පාසලකදී හමුවීමෙන් ගොඩනැඟෙන සබඳකම් ගැන කියවෙන්නේ. පළමු ප්‍රේමයම අවසන් ප්‍රේමය කරගෙන විවාහය දක්වා ගෙනයන්න හැකිවෙන්නේ කීයෙන් කීදෙනාටද? අන්න ඒ කාරණය තමයි මං ආදරෙයි සඳහා පාදක වෙන්නෙත්.


මේ නාට්‍යයේ පළමු රංගන අත්දැකීම ලබන නවක මුහුණු තමයි වැඩිම පිරිසක් ඉන්නේ. සාවින්දි සෙනායා, උත්පලා පීරිස්, දේශිත කාවින්ද පීරිස්, සඳනි වක්කුඹුර, තුසිත් එස්. බණ්ඩාර,පබුදු කවීෂා, දෙව්මි පෙරේරා, චංදීප වීරසිංහ, කවිඳු යසස්, බිවාන් ෂයිමිනු රාජපක්ෂ, ශශිකා මධුෂානි, සංකල්ප පෙරේරා කියන්නෙ තිරයට අලුතෙන්ම හඳුන්වා දෙන පිරිසක්. මුල ඉඳන්ම ඔවුන් පුහුණු කරමින් යන ගමනක් නිසා මං ආදරෙයි මට අභියෝගයක් නොවුණාමත් නෙවෙයි. නමුත් ඒක හරි සුන්දර අත්දැකීමක්. ඒ වගේම මහේන්ද්‍ර වීරරත්න, අශිකා මතසිංහ, ලාල් වීරසිංහ, එස්. අයි. සමරක්කොඩි, නිරංජලා ජයසිංහ, පැතුම් රුක්ෂාන්, අනුරාධා උදයංගනී. නිර්මලා නිශාන්ති, තිළිණි පෙරේරා, කුමුදුනී අධිකාරී, විජිත කුමාර, අමෝද්‍යා රත්නායක, මනෝජ් කොතලාවල වගේ රංගනයේ අත්දැකීම් ලබපු දක්ෂයන් පිරිසකුත් මේකට එකතු වෙලා ඉන්නවා. ප්‍රවීණයන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා.


වග, අවිස්සාවේල්ල, කොළඹ අවට තමයි රූගත කිරීම් කළේ. දීර්ඝ ටෙලි නාට්‍යයක් වුණත් ලොකුවටම ගෙනියන්න නම් අදහසක් නැහැ. පුළුවන් තරම් කතාවට සාධාරණයක් කරලා නාට්‍ය ඉවර කරන්න තමයි සැලසුම් කරල තියෙන්නේ.


නවකයන් රැසක් සමඟ මෙතෙක් ආ ගමනේ සාර්ථකත්වය ගැන හර්ෂ පැවසුවේද ලොකු සටනකින් ජයග්‍රහණය කළාක් වැනි හැඟීමකිනි.


අපේ කාලෙ අපි වින්ද පාසල් ප්‍රේමයේ සුන්දරත්වය තමයි මේකෙන් ගොඩක් දුරට කියවෙන්නේ. ලක්සිරි වික්‍රමගේ ගේ සංකල්පයකට අනුව ඒ අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කළා. මං ආදරෙයි ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිත මවන තරුණ රංගන ශිල්පීන් සියල්ලම වගේ නවකයන් වීම තමයි මට තිබුණු ලොකුම අභියෝගය වුණේ. ඔවුන් හැමෝම කැමරාවට අලුත්. අතිරේක පිරිසත් එක්ක ගත්තොත් සීයක් විතර ඉන්නවා. ඒ වගේ පිරිසක් එක්ක වැඩ කරනවා කියන එක පහසු නැහැ. ඔවුන්ට කැමරාව වගේම මේ සබ්ජෙක්ට් එකත් අලුත්. කිසිම අත්දැකීමක් නැති වුණහමත් ටිකක් අමාරුයි. අවුරුදු හතරක විතර පොඩි ළමයෙකුත් ඉන්නවා. එයා එයාට ඕන විදිහට හැසිරෙන්නේ. සමහර වෙලාවට එයාට ඕන දේ කරන්න දීලා අපිට බලාගෙන ඉන්න වෙනවා. සාමාන්‍ය ටෙලි නාට්‍යක් කරනවට වඩා තුන් ගුණයක විතර මහන්සියක් කාලයක් යනවා අලුත්ම පිරිසක් එක්ක වැඩ කරද්දී. ඒත් ඒක හරිම සුන්දර අත්දැකීමක් වුණා.


අනිත් විශේෂම කාරණය තමයි අපි මේ ටෙලි නිර්මාණය රූගත කරන්නේ චිත්‍රපටයක් ආකාරයට. ගීත කිහිපයක් තියෙනවා. ඒ සින්දු ෂූට් කරන්නත් චිත්‍රපටයක් තරමටම ලොකු කැපකිරීමක් කරන්න වුණා.


මං ආදරෙයි පාසල් ප්‍රේමයෙන්ම කෙළවර වන්නේදැයි ඇසු පැනයට හර්ෂගෙන් ලැබුණේ මෙවන් පිළිතුරකි.


පාසල සහ ඒ කාලවකවානුව තුළ තියෙන සුන්දරත්වය, දඟකාරකම, බරක් පතළක් නැතිකම, වගකීම් විරහිතභාවය එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. යොවුන් වියේ ඉඳන් එතනින් එහාට තියෙන වගකීම් සම්භාරයත් එක්ක තමයි කතාව නිම වෙන්නේ. වගකීම් විරහිත කාලයේ ඉඳලා වගකීම් සහගත කාලයට මුහුණ දෙන්නේ කොහොමද කියන තැනත් අපි කතා කරනවා. පාසල් කාලයේ කොතරම් ප්‍රේම කළත් ඒ ප්‍රේමය විවාහය තෙක් ගෙනියන්නේ අතළොස්සයි. වර්තමානයේ පාසල් ප්‍රේමය ගැන කතා කරන නිර්මාණවලට දෝෂාරෝපණ එල්ල වන අවස්ථා තියෙනවා. ඒත් මං ආදරෙයි ටෙලි නිර්මාණයට මේ වෙනතුරු කිසිම දෝෂාරෝපණයක් එල්ල නොවීම සතුටට කරුණක්. ඒකට හේතුව වෙන්න ඇත්තේ විශේෂයෙන්ම අපි අපේ සංස්කෘතියත් එක්කම ඉඳගෙන මේ වැඩේ කරන නිසා වෙන්න ඇති. කිසිම වෙලාවක නරක ආදර්ශයක් දෙන්න උත්සාහ කරන්නෙ නැහැ. ඒ නිසා ළමයින්ගේ මනස විකෘති කරනවා කියන චෝදනාව අපිට ඇවිත් නැහැ. ගොළු හදවතේ ඉඳන්ම අපි පාසල් ප්‍රේමය ගැන කතා කළා. දම්මි-සුගත් ප්‍රේමයට කවදාවත් කවුරුවත් දොස් කිව්වෙ නෑ. ඒ වගේ අපිට ලැබෙන ප්‍රතිචාරත් සතුටුදායකයි.


දෙරණ යූටියුබ් හරහා වැඩිපුරම බලන නාට්‍ය බවටත් පත්වෙලා තියෙන්නෙත් මං ආදරෙයි. සාරන්‍යා, යෙනාරා සහ සේසත් කියන තුන් දෙනා අතර ඇතිවන තුන්කොන් ප්‍රේමයක් ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ. ප්‍රේක්ෂකයන් ඒ ඒ චරිත ආදරෙන් වැලඳ ගෙන ඉන්න නිසා ගැළපෙන දෙන්නා කවුද කියන එක ඔවුනොවුන්ම තීරණය කරනවා. සාරන්‍යායි සේසතුයි එකතු වෙන්න ඕන කියල සමහරු කියනවා. නෑ නෑ…. යෙනාරායි සේසතුයි තමයි ගැළපෙන්නේ කියලා තවත් සමහරු කියනවා. වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ තරුණ පිරිසගෙන්.


චූටි බිවාන් පුතු නිර්මාණයට අමුතු ආලෝකයක් ගෙන ආ බව පැවසූ හර්ෂ ළමා සිතුවිලි කොතරම් සියුමැලි ද යන්න බිවාන් තුළින් හොඳින්ම ගම්‍යවන බව ද පැවසුවේය.


බිවාන් කියන්නේ තාමත් ළමා මානසිකත්වයේ ඉන්න දරුවෙක්. මේක ෂූට් එකක් කියන එක ඔහුට තේරෙන්නෙ නැහැ. ඔහු ඔහුගේ ලෝකයේ ඉන්නේ. ඩයලොග් එකක් කිව්වහම හොඳට මතකයි. ඒ වගේම සින්දු කියන්නත් දක්ෂයි. එයාව හසුරුවන එක තමයි අමාරුම වැඩේ වුණේ. අන්තිමට එයාව ෆලෝ කරන්න විතරක් වෙනම කැමරාවක් සවි කරන්න වුණා. නමුත් හරිම විනෝදයි. සමහර වෙලාවට පිටපතට හානියක් නොවන විදිහට ඔහු නිදහසේ කරන කියන දේවලුත් අපි කතාවට එකතු කරගන්නවා.


තවත් විශේෂයෙන්ම කිව යුතු දෙයක් තියෙනවා. මේකෙ වැඩිම පිරිස නවකයන්. ප්‍රවීණයන් පිරිසකුත් ඉන්නවා. දෙගොල්ලො හරිම එකමුතුයි. හරියට එක පවුලක් වගේ. හරිම සමගියෙන් වැඩ කරනවා. කාලෙකින් මට හමුවුණු හොඳම කණ්ඩායමක්. මේ පවුලේ සමගිය පවත්වා ගෙන යන්න වගේම නවකයින් පුහුණු කරන්න ශලිනිගෙන් ලොකු සහායක් ලැබෙනවා. පුහුණුවීම් කරවලා ඔවුන් නියම පාර්ත් එකට ගන්න ඇය ගොඩක් වෙහෙසෙනවා.


නිර්මාණයට නැවුම් බවක් ගෙන දීමට නවකයන් බොහෝ පිරිසක් සම්බන්ධ කරගැනීමේදී දැඩි අපහසුතාවට පත්වී තිබුණ ද නිර්මාණයේ ආකර්ෂණීය බවට එය මුල් වී ඇති බවද පෙනේ.


තිරපිටපත ලියලත් අපිට ටික කාලයක් බලාගෙන ඉන්න වුණා ඒ ඒ චරිතයට ගැළපෙනම රංගන ශිල්පීන් තෝරා ගැනීමේ අර්බුදයට මුහුණ දෙමින්. සාමාන්‍යයෙන් මං කොහොමත් අලුත් කෙනෙකුට හෝ දෙන්නෙකුට මගේ නිර්මාණවල අවස්ථාව දෙනවා. මේකෙදි මට ඕන වුණා අලුත් මුහුණු වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න. හාරදාහක් විතර ඉන්ටවීව් කරලා තමයි ප්‍රධාන චරිත ටික හොයා ගත්තේ. ඒක තමයි ලොකුම අභියෝගය වුණේ. අවුරුද්දක් විතරම තිර පරීක්ෂණ කළා. වෙන කතාවක චරිතයක් ඔස්සේ මේ කතාවේ චරිතයක් හඳුන්වනවට මං කොහොත්ම කැමති නැහැ. ඒ නිසාමයි මං ප්‍රධාන චරිත සියල්ලටම අලුත් මුහුණු හෙව්වේ. මගේ උත්සාහය සාර්ථකයි කියල හිතනවා. මොකද මේ වෙද්දි සාරන්‍යා, සේසත්, යෙනාරා වගේම සුදු පුතාත් ගොඩක් ජනප්‍රිය චරිත බවට පත්වෙලා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

gossiplanka image 1
Previous Post Next Post