තෙළිඟු සිනමාවට ආරාධනා ලැබූ ලෝචනා ඉසුරින්දි

gossiplanka image 2
 

රංගන ශිල්පිනියක්, ගුරුවරියක් වගේම ව්‍යාපාරිකාවක් ලෙසින් තම සාර්ථකත්වය සොයා යන සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක් වූ ලෝචනා ඉසුරින්දී කියන්නෙ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් චරිතයක්. රංගනයේ ඉහළින් වැජඹෙන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියන් අතරින් පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේත් දකින ඇය සමඟයි මේ සොඳුරු කතාබහ.


මේ දවස්වල ලෝචනාගෙ තොරතුරු කොහොමද?


ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් එක්ක තරමක් කාර්යබහුලයි. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතුවලටත් මුල්තැන දෙමින් හැමදේම සමබරව කරගෙන, ගොඩක් හොඳින් සහ සතුටින් ඉන්නවා.


වෘත්තියෙන් ගුරුවරියක් වුණු ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?


ඇත්තටම ගුරුවරියක් වෙන්නත් කලින් තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. 2015 වර්ෂයේ පෞද්ගලික ආයතනයකින් සංවිධානය කරපු අවුරුදු කුමරිය තරගයකින් පළමුවැනි තැනට තේරී පත්වෙලා ඉද්දි තමයි, මට මුලින්ම එම ආයතනයේ වෙ‍ෙළඳ දැන්වීමකට ආරාධනා ලැබෙන්නේ. ඒ විදිහට තමයි මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ.


නිළියක් වෙන එක පුංචි කාලේ ඉඳන්ම තිබුණු හීනයක්ද?


නැහැ, මට නිළියක් වෙන්න ඕනමයි කියලා විශේෂ ආසාවක් හෝ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.


ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස මෙතෙක් දායක වුණු නිර්මාණ ගැනත් සඳහන් කරමු ?


ඉරගිනි මද්දහන, පට්ටි ගෙදර ටෙලි නාට්‍ය තමයි මෑත කාලීනව කරපු නිර්මාණ. ඊට කලින් මම ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. නමුත් දීර්ඝ චරිත නිරූපණයක් කළේ නැහැ. මෙම නිර්මාණ දෙකම ඉතාමත් උසස් කලා නිර්මාණ දෙකක් සහ මගේ දක්ෂතාවය උපරිමයෙන්ම ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුණු නිර්මාණ දෙකක් කියලා මම හිතනවා.


මේ දිනවල විකාශනය වන පට්ටි ගෙදර ටෙලි නාට්‍යයේ ‘බේබි‘ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බේබිට හැමෝම ආදරෙයි. පෞද්ගලිකව මඟතොට මුණගැහෙන මිනිස්සු පවා පට්ටි ගෙදර කතාව බලනවා, ලස්සනට රඟපානවා කියලා කියනවා. බේබි කියන්නේ ගමක අහිංසක ගෑනු ළමයෙක්. පවුලෙ අයගෙන් බැණුම් අහන, පීඩනයට ලක්වෙන සහ අක්කට ගොඩක් ආදරය කරන චරිතයක්. හැමෝගෙම ආදරේ දිනාගත් චරිතයක් හැටියට ප්‍රේක්ෂකයන් අතර බේබි චරිතය ගොඩක් ජනප්‍රියයි කියලා හිතනවා.


නවක රංගන ශිල්පිනියක් විදිහට කලාව ගැන මොකද හිතන්නේ?


මම දකින විදිහට කලාව කියන්නේ ආදරණීය මිනිසුන් මුණ ගැසෙන, සුන්දර තැනක් වගේම මිනිසුන්ගේ සිත් සුවපත් කරන හදවතට කතා කරන තැනක්. ඉතින් මේ සුන්දර කලාව රැක ගන්න එක අපි හැමෝගෙම වගකීමක් කියලයි මං හිතන්නේ.


වෘත්තියෙන් ගුරුවරියක් වන ඔබ චරිත තෝරාගැනීමේදී වැඩි අවධානයක් යොමු කරනවා ඇති නේද?


අනිවාර්යයෙන්ම. මේ ළඟදිත් මම චරිතයක් ප්‍රතික්ෂේප කළා. ඒක ගොඩක් හොඳ චරිතයක්. මං හිතන විදිහට ඒ ටෙලි නාට්‍ය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙයි. ප්‍රධාන චරිතයට මට ආරාධනා ලැබුණේ. මගේ හැකියාව ඇතුළේ මට ඒක කරන්න පුළුවන් වුණත් මම හැමවෙලේම මගේ වෘත්තීය ජීවිතය සහ මගේ පවුල් පසුබිම පිළිබඳව හිතනවා. එහෙම බැලුවහම ඒ චරිතය කරන්න පුළුවන් පසුබිමක් මට නැහැ. ඒ වගේ චරිතයක් කරන්න මං කැමති නැහැ. කොහොම වුණත් මම අනිවාර්යයෙන්ම චරිතයක් තෝර ගන්නේ මගේ සීමාව ඇතුළේ. මොකද මගේ වෘත්තිය ගැන අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා.


ක්ෂේත්‍රය තුළ ඔබ ලබාගත් වටිනාම ජයග්‍රහණය..?


ක්ෂේත්‍රය නිසා ලබාගත් වටිනාම ජයග්‍රහණය සහ වත්කම විදිහට මම දකින්නේ ප්‍රේක්ෂක ආදරය. ඒක මට ක්ෂේත්‍රය නිසයි ලැබුණේ. ඔවුන් මගේ රංගනයට හරිම ආදරෙයි සහ මම ගෙවන ජීවිතයට ආදරෙයි. ඒ නිසා තමයි මම මෙතරම් ජනප්‍රිය වුණේ.


ඔබව තෙළිඟු සිනමාවේත් දැකගන්න ලැබුණා. ඒ ගැනත් යමක් කියමු?


මට තෙළිඟු සිනමාවට මුලින්ම ආරාධනා ලැබෙන්නේ මධු පනාගොඩ අක්ක හරහා. ඒ වගේම දැනට ඉන්දියාවට ගිහින් රූගත කිරීම් කරන්නත් ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. මේ වෙද්දී සිංහල සිනමාවටත් චිත්‍රපට තුනකට දායකත්වය ලබා දීලා තියෙනවා. ළඟදීම තවත් සිනමාපටයක් ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ වගේම තව ආරාධනා කිහිපයක් ලැබිලත් තියෙනවා.


ඇතැම් නළු නිළියන්ට සමාජ මාධ්‍ය හරහා එල්ල වන විවිධ චෝදනා ගැන ඔබට මොකද හිතන්නේ?


ලංකාව වගේ රටක නළු නිලියන්ට මඩ ගහන එක සාමාන්‍ය දෙයක්. ඒ කෙනා වගේ වෙන්න බැරි වුණහම කෙනෙක්ව විවේචනය කරනවා. ඉහළට යන්න යන්න ළඟම ඉන්න පිරිස තමයි විවේචන එල්ල කරන්නේ. අපි දැනගන්න ඕන හරියට ඉන්න. මේ වෙනකම්ම මට කිසිම කෙනෙකුට මඩ ගහන්න පුළුවන් අවස්ථාවක් මං නිර්මාණය කරගෙන නැහැ. ඉදිරියට නිර්මාණය කරගන්නෙත් නැහැ. මාව දරාගන්න බැරි කෙනෙක් මාව විවේචනය කළා කියලා මම වැඩිය ගණන් ගන්නෙත් නැහැ. බාහිරින් එල්ල එන දේවල්වලින් අපි ඇහුම්කන් දෙන්න ඕන හොඳ දේවල්වලට විතරයි. එහෙම නොවුණොත් අපිට අපේ ගමන යන්න බැරිවෙනවා.


ඉදිරි කලා කටයුතු ගැනත් සඳහන් කරමු..?


ඉදිරියේදී සිනමාවට සහ ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මේ දිනවල මම මගේ ව්‍යාපාර කටයුතුවලට මුල් තැනක් දීලා කටයුතු කරන ගමන් මේ වසරේ විදේශ රටවල් කිහිපයක සංචාරය කරන්නත් බලාපොරොත්තු වෙනවා. අම්මවයි තාත්තවයි බලාගෙන මගේ රංගන කටයුතු, වෘත්තිය කටයුතු, ව්‍යාපාර කටයුතු වගේම මගේ උසස් අධ්‍යාපන කටයුතුත් කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 1
Previous Post Next Post