අමාරුම සීන් තිබුණෙ සමනලී නැන්දා එක්ක -කුෂේන්‍යා ෆොන්සේකා

gossiplanka image 2
 


මලකි දුවේ නුඹ චිත්‍රපටයෙන් ඔබ හමුවට එන ඇය ෆොන්සේකා පරම්පරාවේ තුන්වැනි පරම්පරාවේ පළමුවැනි රංගන ශිල්පිනිය. ඇය මේ චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා සමඟ එකට රංගනයෙන් දායක වෙනවා. ඇය යොවුන් රංගන ශිල්පිනියක්. මින් පෙර රූකඩ පැංචි චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක ඔබ ඇයව දැක ඇති. ඇය නමින් කුෂේන්‍යා ෆොන්සේකා. මෙවර ‘හදගැස්ම‘ට මේ සොඳුරු කතාබහ ඇයගෙන්.


යොවුන් රංගන ශිල්පිනියක් විධියට එක් වුණු මලකි දුවේ නුඹ චිත්‍රපටයේ අත්දැකීම කොහොමද?


මම කලින් දායක වුණු රූකඩ පැංචි චිත්‍රපටයට වඩා වෙනස්ම ආකාරයේ අත්දැකීමක් තමයි මේ චිත්‍රපටයෙන් ලැබුණේ. කලින් චිත්‍රපටය ළමා චිත්‍රපටයක්. මේක පවුලක් එක්ක ගොඩනැඟුණු චිත්‍රපටයක් නිසා මට වෙනස්ම අත්දැකීමක් වුණා. ඉතින් ඒ ගැන මට සතුටුයි.


වින්දන ආරියවංශ හා කල්පන ආරියවංශ ඔබට වඩාත් හුරුපුරුදු අධ්‍යක්ෂවරු දෙදෙනකු නේද?


ඔව්. කලින් චිත්‍රපටයෙන් තමයි ඔවුන් දෙදෙනාව පළමුවරට මට හමුවුණේ. මම පොඩි කාලේ මට උදවු කළා වගේම ඔවුන් මට මේ ෆිල්ම් එකටත් ගොඩක් සහයෝගය දැක්වූවා. මම අලුත් කෙනෙක් කියලා වෙනසක් නොකර මට ගොඩක් හොඳ සහයෝගයක් ලබා දුන්නා.


ඔබ මාලිනී ෆොන්සේකා මහත්මිය දකින්නේ කෙසේද?


ආච්චි එක්ක තියෙන මතක අවදි කළොත් මුළු පවුලම එකට එකතු වන අවස්ථාවල තමයි අපි මුණ ගැහෙන්නේ. අලුත් අවුරුද්දෙදී, උපන්දින සාදවලදී අපේ මුළු පවුලම එකට එකතු වෙනවා. ඊට අමතරව මේ චිත්‍රපටයේදී තමයි මගේ ආච්චි මාලිනී ෆොන්සේකාව සමීපව ඇසුරු කරන්න ලැබුණේ. ආච්චි හරිම නිහතමානි කෙනෙක්. ඇය පවුල තුළ හිටියේ මාලිනී ෆොන්සේකා ඇය නෙවෙයි වගේ හරිම නිහතමානි විධියට.


ෆොන්සේකා පරම්පරාවේ තුන්වැනි පරම්පරාවෙන් කලාවට පැමිණි පළමුවැනියා ඔබ වීම ගැන මොකද හිතෙන්නේ?


ඒ ගැන හරිම සතුටුයි. ඒ වගේම ආඩම්බරයි.


මාලිනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා සමඟ ඔබත් එකට රංගනයෙන් දායක වීමේ අත්දැකීම කොහොමද?


ආච්චි එක්ක මට පොඩි සීන් ටිකක් තමයි කරන්න තිබුණේ. නමුත් ඒකත් මට ලොකු අත්දැකීමක් වුණා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මගේ රංගන ජීවිතයට ඒකෙන් ලොකු අත්දැකීම් ලැබුණා. මගේ නැන්දා එක්ක තමයි මට ගොඩක් අමාරු සීන් කරන්න තිබුණේ. ආච්චි එක්ක රඟපාද්දි පොඩි අමුතු හැඟීමක් දැනුණා. නැන්දයි මමයි ගොඩක් සමීපයි. ඒ නිසා ඇය සමඟ රඟපාන එක ගොඩක් වෙනස් විධියේ අත්දැකීමක් වුණේ නෑ. දෙදෙනාත් එක්කම එකට රඟපාන්න ලැබීම ගැන සතුටුයි.


ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


අම්මයි, තාත්තායි තමයි මට ගොඩක්ම සහයෝගය දක්වන්නේ. නැන්දත් මට ගොඩක් සහයෝගය දක්වනවා. මගේ පවුලේ හැමෝම ලොකු සහයෝගයක් දක්වනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.


ඔබව ඉදිරියට පුංචි තිරයෙන් දකින්න ලැබේවිද?


තවම නැහැ. නමුත් ඉදිරියේදී හොඳ වැඩකට ආරාධනා ලැබුණොත් බලලා භාර ගන්නවා.


කුෂේන්‍යා චරිතයක් තෝරා බේරා ගන්නේ කෙසේද?


මුලින්ම මට ඒක කරන්න පුළුවන්ද කියලා බලනවා. ඊට පස්සේ අම්මා, තාත්තා, නැන්දා එක්ක කතා කරනවා. නැන්දා තමයි ගොඩක් දේවල් තෝර ගන්න උදවු කරන්නේ.


ඔබ දිගටම රංගනයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවාද?


ඔව්. නමුත් වෘත්තීමය වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. විනෝදාංශයක් විධියට කරන්න බලාපොරොත්තු වෙනවා.


ඔබ ඉදිරියේදී රංගනය ගැන හැදෑරීම් කරන්න බලාපොරොත්තු වෙනවාද?


මම රංගනය ගැන හැදෑරීම් කටයුතු කරලා නෑ. නමුත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් උසස් අධ්‍යාපන කටයුතු කරන ගමන් ඉන්නේ.


ඔබට මේ වෙද්දී මලකි දුවේ නුඹ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රතිචාර ගොඩක් හොඳයි. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.


ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?


මම උසස් අධ්‍යාපනය හදාරන පැත්තෙන් ඉහළටම යන්නත් රංගනයෙනුත් හොඳ තැනකට ගිහින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.


ඔබේ ඉදිරි වැඩකටයුතු කොහොමද?


දැනට එක් නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඒක සාකච්ඡා කරමින් තමයි තියෙන්නේ.


රුවිනි අමරකෝන්

gossiplanka image 1
Previous Post Next Post