හැමෝම බලන්නේසුදු පාටට ඉන්න -රොෂානා ඔන්ඩච්චි

gossiplanka image 2


ඇය මෙරට රංගන ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් රුවැත්තියක් ලෙස හඳුන්වා දිය හැකිය. කලෙකට පසුව රාත්‍රි 8ට ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘මම සහ ඔබ‘ ටෙලි නාට්‍ය සමඟින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන ඇය නමින් රොෂානා ඔන්ඩච්චිය. මේ ‘හදගැස්ම‘ අපි ඇය සමඟින් කළ කතාබහකි.


මුලින්ම ‘මම සහ ඔබ‘හි රංගනය ගැන කතා කරමු?


‘මම සහ ඔබ‘ ටෙලි නාට්‍යයේ ලකී මුදලාලිගේ (චන්දික නානායක්කාරගේ) බිරිය ලෙස රඟපානවා. ඒ චරිතය තුළින් කතා කරන්නේ ගැහැනියක් තමන්ගේ පවුල රැකගන්න කරන කැපවීම් ගැනයි. මොකද බිරිය දැනුවත්වම ස්වාමි පුරුෂයාට අනියම් සම්බන්ධයක් තිබෙනවා. ඒ වගේම මගේ පුතා මගේ ස්වාමි පුරුෂයා අනියම් සම්බන්ධය පවත්වන කාන්තාවගේ දුවත් එක්ක සම්බන්ධතාවක් හදාගන්න උත්සාහ කරනවා. මේ සියලු දේ ගැන දැනගෙනත් දන්නෙ නැහැ වගේ ඉන්නවා. එහෙම කරන්නෙ පවුලේ සමඟිය ආරක්ෂා කර ගන්න. ඒ නිසා තමයි මම කිව්වේ තමන්ගේ පවුල රැකගන්න තමා වෙත පැමිණෙන සියලුම ගැටලු දරාගෙන ජීවත් වෙන චරිතයක් කියලා. ඒ වගේම තමයි මේ චරිතය සමාජයට පෙන්වන්නේ හරිම හොඳ අහිංසක කෙනෙක් විධියට. ඒත් ඇත්තටම එහෙම නැහැ. පිටතට පෙන්වන කෙනා නෙවෙයි ඒ චරිතය ඇතුළත ඉන්නෙ.


කොහොමද ලැබෙන ප්‍රතිචාර?


පසුගිය කාලයේ රංගනයෙන් ඈත් වෙලා හිටියා. ඉතින් හරිම සතුටුයි එහෙම ඈත් වෙලා ඉඳලා නැවත රංගනයට ආවමත් හරිම ආදරණීය ප්‍රතිචාර තමයි රසිකයන්ගෙන් ලැබෙන්නේ. 1999 වසරේදී මුලින්ම රංගනයට ආව කාලයේදී වගේම මේ නාට්‍ය තුළ මම රඟපාන චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් ලැබෙනවා. සමහරු කතා කරලා කියනවා මේ චරිතය ඔයාගේ ඇත්ත චරිතයට සමානයි කියලා. ඇත්ත ජීවිතේදී මම හරි වසයි. මාව ආශ්‍රය කරන අය ඒක හොඳටම දන්නවා. මම රඟපාන මෙම චරිතයෙත් සැර පරුෂ නපුරු ගති තියෙනවා. ඒ නිසා වෙන්න ඇති ගොඩක් අය එහෙම කියන්නේ.


‘මම සහ ඔබ‘ නාට්‍ය පිළිබඳ සහ එහි අධ්‍යක්ෂවරයා ගැනත් කියමු?


කාලයක් වැඩ කළේ නැහැ. එහෙම සිටියදීත් ජගත් බෙනරගම අයියා මම සහ ඔබ ටෙලි නාට්‍යයට කතා කළාම ආස හිතුණා. මොකද ජගත් අයියා කියන්නෙ දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම මේ නාට්‍යයේ ඉන්න අනෙකුත් රංගන ශිල්පීන් වුණත් ගොඩක් දක්ෂයි. ඔවුන් සමඟ වැඩකරද්දි ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබෙනවා.


‘මම සහ ඔබ‘ දැනෙන්න දෙයක් කරන්න පුළුවන් නාට්‍යයක් කියලා තමයි කියන්න තිබෙන්නෙ.


මෙහි අධ්‍යක්ෂවරයා ජගත් බෙනරගම ගැන කතා කළොත් ඔහු මේ නාට්‍ය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම ඔහු නළුවකුට වඩා හොඳ අධ්‍යක්ෂවරයෙක් කියලයි මට හිතෙන්නේ. නවක පරපුරට ගොඩක් ඉගෙන ගන්න දේවල් තිබෙන හොඳ ගුරුවරයෙක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. අපි එක්ක එකට ඉඳගෙන කෑම කන වෙලාවෙදි වුණත් ටෙලි නාට්‍යයට අදාළ චරිතය ගැන කියලා දෙනවා. වර්තමානයේ එහෙම අධ්‍යක්ෂවරු හමුවෙන්නෙ හරිම කලාතුරකින් ඉදිරියේදී මෙවැනි අධ්‍යක්ෂවරු පිරිසක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


රංගන ශිල්පිනියක් වීම ගැන සතුටුයිද?


ඔව්. රංගන ශිල්පිනියක් වීම ගැන සතුටුයි වගේම ආඩම්බරයි. රංගන ශිල්පිනියක් වීම නිසා මගේ ජීවිතයට ගොඩාක් දේවල් ලැබුණා. මම විතරක් නෙවෙයි මගේ දුව බලාගන්නේ, එයාට ඉගැන්නුවේ මේ හැමදේම කළේ රඟපාල උපයාගන්න මුදලින්. මම රංගනයට ඒ කියන්නේ මගේ රස්සාවට හරි ආදරෙයි. ඒ වගේම හරිම ගෞරවයෙන් සලකනවා.


එහෙත් ලංකාවේ හැදෙන ටෙලි නාට්‍ය දවසින් දවස දුර්වලයි. මේ ගැන ඔබේ මතය?


ටෙලි නාට්‍ය තුළ බොහෝ විට මම දැකපු දෙයක් තමයි සමහර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ට ඕන සල්ලි. එහිදී කවුරුන් හෝ හොඳට සල්ලි තිබෙන නිෂ්පාදකයෙක් යොදාගෙන ටෙලිනාට්‍යයේ කතාවට මොන දේ වුණත් කමක් නැහැ. ඔවුන් ඔවුන්ගේ එදා වේල හම්බකර ගන්නවා. මෙහෙම වැඩ කරන නිෂ්පාදකවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට රංගන ශිල්පීන් ගැන හෝ කණ්ඩායමේ අනෙක් අය ගැන කිසිම හැඟීමක් නැහැ. එහෙම වුණාම නිර්මාණයන් සාර්ථක වෙන්නෙ නැහැ. මේ වෙද්දි අතීතයේ තිබුණා වගේ හොඳ ටෙලි නාට්‍ය තිබෙනවා. නමුත් රැල්ලට යෑම නිසා නිර්මාණයන්වල යම් යම් අසාර්ථක වීම් සිදුවෙනවා.


නවක පරපුර කොහොමද?


අපේ කාලේ අය වගේ නෙවෙයි. දැන් ඉන්න නවක පරපුරේ රංගන ශිල්පිනියන් ටිකක් වෙනස්. හමේ පාට, කොණ්ඩය පාට කරන විධිය, කොණ්ඩ මෝස්තර දාන විධිය, එකම විධියයි. හැමෝම බලන්නේ සුදු පාටට ඉන්න. එහෙම වුණාම නිර්මාණයක විවිධත්වයක්, වෙනසක් නැහැ. අපේ කාලයේ එහෙම නෙවෙයි දමිතා අබේරත්න, කාංචනා මෙන්ඩිස්, නිල්මිණි තෙන්නකෝන්, අනුරුද්ධිකා පාදුක්කගේ, දිනක්ෂි ඔවුන් එක්කෙනකුට එක් කෙනෙක් වෙනස්. දැනුත් එහෙම වෙනස් අය බිහි වුණොත් ටෙලි නාට්‍යයේ වගේම සිනමාවෙත් ඉදිරි ගමන්මඟ සාර්ථක වේවි. ඒ වගේම දැන් ඉන්න විධියට සුදු වෙලා හිටියට අලුත් අලුත් රංගන අවස්ථා උදා වෙන්නෙ නැහැ. සීනිබෝල වගේ හිටියම බිහි වන නිර්මාණත් සීනිබෝල ‍වගේ වෙනවා. එම නිසා එහෙම නොවී සාර්ථකත්වයට ගමන් කරන්න මාවත විවර කර ගන්න තමන්ට සුදුසු තමන්ට ආවේණික ආකාරය මොකක්ද කියලා තෝරාගෙන සාර්ථකත්වය කරා යන්න කියලා නවක පරපුරෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි.


සම්මාන සහ ඇගයීම් ගැන ඔබේ අදහස?


මට නම් සම්මාන ලැබිලා නැහැ. සම්මාන ලැබිලා නැති වුණාට කමක් නැහැ. ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර සහ ආදරය ලැබෙනවා. ඒ කාලයේ ඉඳලා සම්මාන දීපු විධිය සහ ගන්න විධිය ගැන පැහැදීමක් නැහැ. මම නම් සම්මාන පස්සේ ගිහිල්ලත් නැහැ. ඒ වගේම සම්මාන ගන්න  පුළුවන් විධියේ චරිතත් මට ලැබිලා නැහැ.  බොරු කියන්න ඕන නැහැ මම සමහර ටෙලි නාට්‍යවල රඟපාන්න ගියේ ජීවත් වෙන්න මුදල් ඕන නිසා.  මොකද ඒ මගේ රස්සාවනේ.  සම්මාන ගන්න ඒ කාලේ නම් ආසාවක් තිබුණා.  දැන් නම් ඒ ගැන අදහසක් නැහැ.


දුව රංගනයට එනවට කැමතිද?


එයා පොඩි දවස්වල ඉඳලම මම රඟපාන්න යද්දි මගේ පස්සෙන් ගියා. දුව රඟපානවට මගේ අකමැත්තක් නැහැ.  එයාට  තේරුම් ඇති දවසේ ඉඳලම ඩබින් කරපු කෙනෙක්.  ඒ වගේම චූටි කාලේ ඉඳලම ඩබින් කරලා හම්බ කළා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් දෙක තුනකත් පෙනී හිටියා.  ඒත් එයා දැන් නිතරම කියනවා අම්මේ අම්මා කන කට්ට කන්න මම කැමැති නැහැ. ඩබින් කරන එක ඊට වඩා හොඳයි කියලා. ඉතිං මං කැමැතියි එයාගේ කැමැත්තට ඉඩ දෙන්න.


අනාගතයේ මොන වගේ නිර්මාණවලින්ද දැක ගන්න පුළුවන්?


මගේ ඥාති සහෝදරයෙක් සමඟ එකතු වෙලා ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළා. එය මේ අවුරුද්දෙදී විකාශනය සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතිනවා. මේ නාට්‍යය හරි සතුටින් කරපු එකක්. ඒ වගේම වෙනස් නාට්‍යයක්. අහම්බෙන් පටන් ගත්ත වැඩක් වුණාට ඒ සඳහා හොඳ පිටපතක් ලැබුණා. පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් නිර්මාණයක්. පොල්පිතිගම ප්‍රදේ‍ශයේ  තමයි රූගත කිරීම් කළේ.  එහි කළණ ගුණසේකර,  කුමාර තිරිමාදුර, ජයනි සේනානායක, ජගත් චමිල වගේ ප්‍රවීණයන් රඟපානවා. රෙබෙකා – දිල්රුක්ෂි වැනි නවක පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියන්ද මේ නාට්‍යයට සහභාගි වුණා.  මෙතැනින් නවතින්නේ නැහැ දිගටම නිෂ්පාදනයත් සමඟ රැඳී සිටිනවා.

gossiplanka image 1
Previous Post Next Post