ඔහු නාට්‍ය කලාව වෙනුවෙන් තම දිවිය වෙන් කළ කලාකරුවෙකි. පත්තර කලාවේද හසළ දැනුමක් ඇති මොහු තිරපිටපත් රචනය තම දිවිය කර ගත්තෙකි. කලාකරුවෙක් ලෙස තම ප්‍රකාශනය නොබියව ඉදිරිපත් කරනා මොහු කෙළින් මිනිසෙකි. මේ දිනවල විකාශය වන කොටු ටෙලි නාට්‍යය පිළිබඳව සමාජය තුළ කතාබහක් ඇති වෙලා. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ අසංක සායක්කාර.
ඉතින් මේ දවස්වල වැඩ කටයුතු ගැන මුලින්ම කියමු?
මේ දවස්වල මූලිකවම කොටු ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟ කාලය ගෙවී යනවා. ඊට අමතරව සින්ටෝ ටෙලි නාට්‍යයේ අවසන් කොටස් කිහිපයේ රූගත කිරීම් සිදු කරගෙන යනවා. ඒ වගේම මේ වසරේ සිදු කිරීමට නියමිත සිනමාපට ද්වයක වැඩකටයුතු සමඟ කාලය ගෙවී යනවා. මේ වසරේ පළමු කාර්තුවේදීම ඒ සිනමාපටවල වැඩ කටයුතු සිදු වේවි කියා සිතනවා. මීට අමතරව සකියෝ කියලා කණ්ඩායමක් සිටිනවා. ඔවුන් සමඟත් මේ දවස්වල වැඩකටයුතු සිදු වෙනවා. ඔවුන්ගේ නිර්මාණවලටත් දායකත්වය සපයමින් මේ දවස් ගෙවී යනවා.
රවුම් ජීවිතේ හතරැස් කතාවට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොනවගේද?
ඉතා හොඳ ප්‍රතිචාර තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ලැබෙන ප්‍රතිචාර වගේම මෙහි සිටින නළු-නිළියන්ට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. අපි බලාපොරොත්තු වුණු මට්ටමට වඩා ප්‍රේක්ෂකයන් අතර මේ ගැන කතාබහක් ඇති වී තිබෙනවා. ඉතින් මේ ලැබෙන හොඳ ප්‍රතිචාර පිළිබඳව සන්තෝෂයි.
කොටු හැදෙන කොටු වේදිකා නාට්‍යයෙන් ඒ ගැන කියමු?
මෙය වේදිකා නාට්‍යකින් නිර්මාණය වුණු කතාවක්. මේ බව මම කිහිපවරක්ම කියලා තිබෙනවා. මෙම කතාව නිර්මාණය කිරීමට මුල්ම ප්‍රස්තුතය මට ලැබුණේ කොරෝනා කාලයේදී. වේදිකාවට රැගෙන ආවට පසුව තමයි මට තේරුණේ මෙය වෙනත් මාධ්‍යයන් තුළත් සංසරණය කරන්න පුළුවන් කියලා. එහිදී අපේ සැලැස්ම වුණේ ටෙලි නාට්‍යක් ලෙස නිර්මාණය කරලා ඉන්පසුව වේදිකාවට මෙය ගෙනත් පසුව නවකතාවක් බවට පත් කිරීමට. මෙය තුන් ඈඳුතු නිර්මාණ වියමනක් බවට පත් කිරීමට අපිට අවශ්‍ය වුණා. නමුත් අපි උත්සාහ කළාට මුලින්ම ටෙලි නාට්‍යයක් කිරීමට නාළිකාවලින් අවස්ථාව ලැබුණේ නැහැ. ඉන්පසුව මම කොටු වේදිකා නාට්‍ය කළා. ඉන්පසුව සින්ටෝ කරන අවස්ථාවේදී ටෙලි නාට්‍යයක් කිරීමට මට අවස්ථාව ලැබුණා. එහෙම තමයි කොටු ටෙලි නාට්‍යයක් බවට පත් වුණේ.
මේ කතාව තුළ තිබෙන්නේ අනියම් සබඳතා නිසා ඇති වන ආදීනව ගැන සමාජය දැනුවත් කිරීමක්ද?
නැහැ. කිසිසේත්ම මට සමාජයට මෙහි ආදීනව කියලා දෙන්න වුවමනාවක් නැහැ. කොටු කියන නමේම අර්ථකථන කිහිපයක් තිබෙනවා. මිනිස්සු මේ තැනට එන්නේ කොටු වීම නිසා. පවුල් සංස්ථාව තුළ හෝ සමාජය තුළ කොටුවීම නිසා තමයි මෙවැනි දේවල් සිදු වන්නේ. මේ අරුතින් තමයි අපිට කොටු පනිනවා කියන එක ගන්න වෙන්නේ. මේ සබඳතා සංකීර්ණයි. ඒවා කිසි විටෙක එළියෙන් ඉඳන් විනිශ්චය කරන්න බැහැ. මේ දේවල් නියම්ද අනියම්ද කියලා එළියෙන් ඉඳන් කතා කරන්න බැහැ. මට අවශ්‍ය වුණේ මේ දේවල් කෙතරම් සංකීර්ණද කියලා සිදුවීම් ඇසුරෙන් පෙන්වා දෙන්න. මේක හොඳයිද නරකයිද කියන එක විනිශ්චය කිරීම සමාජයට භාරයි.
විවාහය කියන සංකල්පය සමාජ පීඩාකාරී සංස්ථාවක්ද? ඒ පිළිබඳව ඔබේ අදහස?
මේ දෙය එක එක මට්ටම්වලින් අපිට විග්‍රහ කරන්න පුළුවන්. විවාහය පීඩාකාරී වන්නේ අපි සමාජය තුළ මුල් බැසගෙන සිටින දේවල් සමඟ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපි විවෘත නැතිකම සංස්කෘතිය අපිට පනවා තිබෙන සීමා තුළ නොගැළපෙන දෙදෙනෙක් මේ සබඳතාව පවත්වා ගෙන යන්නේ කෙසේද යන්න අපිට සොයා ගන්න තිබෙනවා. මිනිසකුගේ ජීවිත කාලය පුරාවට එය සොයා ගත යුතු වෙනවා. එය පීඩාකාරී කියා මම භාරගන්නේ නැහැ. එය තුළ රසවත් දේවල් තිබෙනවා. එය පීඩාකාරී කියන දෙයට එකඟ වෙන්න අමාරුයි.
කොටු ටෙලි නාට්‍ය අඳුරු ප්‍රහසනයක්ද මේ ගැන ඔබේ අදහස?
ඔව්. අනිවාර්යයෙන්ම මේක බ්ලැක් කොමඩියක්. මම බ්ලැක් කොමඩි ශානරයට කැමැතියි. මගේ වේදිකා නාට්‍ය තුළ මේ ශානරයේ ලක්ෂණ තිබුණා. ටෙලි නාට්‍යවලත් අඩු වැඩි වශයෙන් දක්නට ලැබුණා. කොටු කියන්නෙත් ඒ අරුතෙන් බ්ලැක් කොමඩියක්.
අසංක සායක්කාරට දැන් වේදිකාව අමතක වෙලාද?
අසංක සායක්කාරට වේදිකාව කිසිසේත්ම අමතක වෙලා නැහැ. ටෙලි නාට්‍ය සමඟ අවිවේකී වීම නිසා සමහරක් විට එය අමතක වී ඇති බව වෙනත් කෙනකුට පෙනෙන්න පුළුවන්. කොටුවලින් පසුව මට වේදිකා නාට්‍යයක් කරන්න අවස්ථාවක් උදා වුණේ නැහැ. මේ වසරේදී වේදිකා නාට්‍යයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
කොටු වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය වුණා වගේ ටෙලි නාට්‍ය සිනමාපටයක් බවට පත්වෙයිද?
අනිවාර්යයෙන්ම පත්වෙනවා. මේක අපේ මූලික සිහිනවල තිබුණ දෙයක් නෙවෙයි. සිනමාවේ ඇති වී තිබෙන නව ප්‍රබෝධයත් සමඟ අපිට ඇරයුම් කිහිපයක්ම ඇවිත් තිබෙනවා කොටු ටෙලි නාට්‍යයෙන්ම සිනමාපටයක් කරමු කියලා. ඉතින් ප්‍රේක්ෂකයන්ට එය බලාපොරොත්තුවෙන් සිටිය හැකියි කියා කියන්න පුළුවන්.
ඉදිරි වැඩකටයුතු ගැන කියනවා නම්?
ඉදිරි අවුරුද්ද සිනමාවට බර තබලා වැඩ කිරීමට සිතාගෙන සිටිනවා. ඒ වගේම නවකතාවක වැඩ නිම කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම තවත් ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම සකියෝ සමඟ වැඩකටයුතු කිහිපයක්ම සිදු කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.