ගෙවින් අභිෂේක් කියන්නේ කලා ක්ෂේත්‍රයට අමුතුම ආලෝකයක් ගෙන එන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්. ඔහු මේ දිනවල ආලේ ටෙලි නාට්‍යයේ ද්විත්ව චරිත ඔස්සේ ප්‍රේක්ෂක ඔබේ ආලින්දයට ගොඩ වෙනවා. ඉතින් මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඔහුගෙන්.
මේ දිනවල ඔබේ අලුත් වැඩ කටයුතු කොහොමද?
මේ දවස්වල වැඩ කටයුතු ඉතා හොඳින් කර ගෙන යනවා. ඉන්දික ධර්මතිලක අයියාගේ ආලේ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. ඒ වගේම සමන් කුමාර ලියනගේ මහත්මාගේ චංචල රේඛා ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා. ඒ දෙකේ ෂූටින්වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම චිත්‍රපට දෙකකටත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඉතින් ඒ දෙකටත් සූදානම් වෙමින් ඉන්නවා.
ආලේ ටෙලි නාට්‍යයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මට ඉතාමත් හොඳ ප්‍රතිචාර මුල ඉඳන්ම තිබුණා. මොකද මම ඒ ටෙලි නාට්‍යයේ චරිත දෙකක් කරනවානේ. ඉතින් මගේ තාත්තාගේ තරුණ කාලයේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සහේන් කියන චරිතය නම් ටිකක් කෙළිලොල් චරිතයක්. ඒකට මුල ඉඳන්ම අයියගෙයි, නංගිගෙයි සම්බන්ධය ගැන හොඳ ප්‍රතිචාර තිබුණා. නමුත් කතාව ඉදිරියට ඇදෙන කොට සහේන්ගෙ චරිතය හරහා තමයි කතාව විහිදිලා යන්නේ. සහේන්ගේ චරිතය ටිකක් හොඳ ප්‍රතිචාරවලට වඩා ටිකක් නරක ප්‍රතිචාර ලැබෙන චරිතයක් විධියට වෙනස් වෙනවා. ඒකත් එක්ක මේ ටිකේ හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් සමානව විඳිමින් ඉන්නවා.
ආලේ තුළ ඔබට ද්විත්ව චරිත නිරූපණයට ලැබීම මොනවගේ අත්දැකීමක්ද?
මම ඒක ඉතාමත් කැමැති අත්දැකීමක්. ඉස්සර ඉඳන්ම මම කැමැති එකකට එකක් වෙනස් චරිත කරන්න තමයි. ඉතින් එකම නාට්‍යයක් ඇතුළේ එහෙම චරිත දෙකක් කිරීමට ලැබීම සහ එකකට එකක් ඒ චරිත දෙක වෙනස් කර ගැනීමට ලැබීම ගැන මට ලොකු සතුටක් තිබෙනවා. මම සාර්ථකයි කියන දේ මට ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් තේරෙනවා. ඉතින් ඒ අත්දැකීමට අධ්‍යක්ෂවරයාට සහ අංග රචනා ශිල්පී ජනක අයියාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. සහාය අධ්‍යක්ෂ නලින්ද අයියාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මගේ තාත්තාගේ තරුණ කාලය නිරූපණය කරද්දි මම තාත්තගෙ චරිතය දිහා බලලා ලක්ෂණ ටිකක් අරගෙන ඒ චරිතය හදාගත්තා. සහේන්ගේ චරිතය එතරම්ම අමාරු නෑ. ඒක කෙළිලොල් තරුණයකුගේ චරිතයක්.
ආලේ ටෙලි නාට්‍යයේ ඔබේ සැබෑම පියා සමඟ එකට රංගනයේ යෙදීමට ලැබීම දැනෙන්නේ කොහොමද?
ඒක තාත්තා සහ මම තාත්තයි පුතයි විධියට නාට්‍යයක ප්‍රධාන චරිතයක් එකට කරන පළමුවැනි අවස්ථාව. ඉතින් මම චින්තක කුලතුංගගේ පුතා වීම නිසා තාත්තා වගේම තවකකු මේ ටෙලි නාට්‍යයට ඕනෑ වීම නිසාම තමයි මටයි තාත්තටයි මේ ආරාධනය ලැබෙන්නේ. මම බෑ කිව්වා නම් සමහරවිට තාත්තත් නාට්‍යයේ නැති වෙන්න තිබුණා. අපි දෙන්නවම එකට තමයි මේ නිර්මාණයට අවශ්‍ය වුණේ. තාත්තයි, මමයි දෙන්නම සෙට් එකට ගියාම අපි දෙන්නම නළුවො දෙන්නෙක්. මට ඒ වෙලාවට මගේ තාත්තව පේන්නෙත් නෑ. මගේ තාත්තට මාව පේන්නෙත් නැතිව ඇති. අපි රංගන ශිල්පීන් විධියට අනෙක් රංගන ශිල්පීන් එක්ක රඟපානවා වගේම තමයි.
කලා නිර්මාණ සමාජ මාධ්‍ය හරහා විචාරය මෙන්ම විවේචනය ඔබ දකින්නේ කෙසේද?
මම නම් ඇත්තටම සමාජ මාධ්‍ය තුළ ලොකු වෙලාවක් ගත කරන කෙනෙක් නෙවෙයි. මම එහෙම දේවල් නිතරම පෝස්ට් කරන කෙනකුත් නෙවෙයි. හැමවෙලේම මගේ අවධානයේ තිබුණේ චිත්‍රපට නළුවෙක් වෙන්න. මම තවම ඒ ටාර්ගට් එකට යන ගමන් ඉන්නේ. ඉතින් හැමවෙලේම රංගන ශිල්පියෙක් විධියට මට ඕනෑ වුණේ මගේ හැකියාවන් වර්ධනය කරගන්න තමයි. ඒ වගේම මගේ පෞද්ගලික ජීවිතේ පෞද්ගලිකව ගත කරන්න සහ සතුටෙන් ඉන්න කැමැතියි. සමාජ මාධ්‍ය තුළ අපි ඕනෑවට වඩා වේලාවක් ගත කරන්න ගියොත් ඒ් දේවල්වලට බලපෑමක් වෙනවා.
ඔබ සිනමාව ගැන බොහෝ උනන්දුයි. අලුත් වැඩකට සම්බන්ධ වුණේ නැද්ද?
මම සුනිල් ආරියරත්නගේ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයෙන් පසුව ක්‍රිස්මස් ඉන් කලම්බු කියලා විදේශීය අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයකට දායක වුණා. මේ පෙබරවාරි මාසයේ සතිර කියන තරුණ අධ්‍යක්ෂවරයාගේ අන්තරාවී කියන චිත්‍රපටයේ රූගත කිරීම් කරන්න නියමිතයි. මගේ මිත්‍රයා මහේල හෙට්ටිආරච්චි මාර්තුවල තව චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කරනවා.
රසික ආදරය ඔබට දැනෙන්නේ කොහොමද?
රසික ආදරය මට ඉස්සර ඉඳන්ම තිබුණා. දැන් මම රංගන ශිල්පියෙක් විධියට වැඩ කරන්න අරගෙන අවුරුදු දොළහක් විතර. නමුත් ඒ කාලයට මම කරලා තිබෙන නිර්මාණ තිබෙන්නේ හරිම අතළොස්සයි. ඒ මම නිතරම දේවල් තෝරා ගෙන යන නිසා. ඒ වගේම මට ඕනෑ වුණේ විවිධ චරිත කරන්න. මට අභියෝගයක් වන චරිත කරන්න දුන්නම මම ඒවා කළා. මම එහෙම කරපු නිසා මාව අද ජනප්‍රිය වෙලා හෙට අමතක වෙන ප්‍රේක්ෂකයන් පිරිසක් නෙවෙයි මට ඉන්නේ. මට තරුණ අයගේ ඉඳන් වයසක අත්තම්මලා දක්වාම ප්‍රේක්ෂකයන් ඉන්නවා. ඉතින් මට ඒක සතුටට කරුණක්. ඒ ආදරය හැමදාම එකම විධියට තිබෙනවා කියලා මට දැනෙනවා.
නවක පරපුර හා ප්‍රවීණ පරපුර අතර අන්‍යොන්‍ය බැඳීම කොහොමද?
ඉතාම හොඳයි. ලංකාවේ ඉන්න ප්‍රවීණයන් ඉතාම හොඳයි. මට ජීවිතේට වැරැද්දක් කරපු කෙනෙක් හමුවෙලා නෑ. මම කාටවත් වැරැද්දක් කරලා නෑ කියලත් මම හිතනවා. ඉතින් හැමෝම හැමෝටම උදවු කර ගන්න තමයි හදන්නේ. මම රඟපාන්න පටන් ගත්ත කාලෙ ඉඳන්ම දැවැන්ත චරිත එක්ක එකට රඟපාන්න මට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඔවුන්ගේ ගුරුහරුකම්, මඟ පෙන්වීම් සහ ආදරය මැද තමයි මම මේ තැනට ඇවිල්ලා ඉන්නේ.
ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන මතක් කළොත්?
කලින් කිව්වා වගේ අන්තරාවී චිත්‍රපටයේ රූගත කිරීම් පෙබරවාරි මාසයේ ආරම්භ වෙනවා. ඊට අමතරව තව චිත්‍රපට දෙකකට කතා කරලා තිබෙනවා. මම හිතන්නේ 2025 අවුරුද්ද අපේ චිත්‍රපට කර්මාන්තයට හොඳ අවුරුද්දක් වුණා. 2026 අවුරුද්දේ මට සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථා ගොඩක් තිබෙනවා. එහෙම වුණොත් පුංචි තිරයට වඩා මම ගොඩක් රිදී තිරයට බර වෙයි කියලා හිතනවා.
රුවිනි අමරකෝන්