මම කැමැතිම නිළිය එක්ක ෆාදර් චිත්‍රපටයේ රඟපානවා -අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර

gossiplanka image 2
 


මීට වසර කීපයකට පෙර දෙරණ නාලිකාව තුළ "මල් පිපෙන කාලේ" නමින් ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් විකාශනය වුණා .ඒ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළේ තුෂාර තෙන්නකෝන්. එදා ඒ ටෙලිනාට්‍යය හරහා ඉතා හැඩකාර යුවතියන් දෙපළක් පුංචිතිරය වෙතට පැමිණියා. ඒ නිවුන් සහෝදරියන් දෙදෙනෙක් වූ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර. එතැන් පටන් බොහෝ ප්‍රේක්ෂකයන් ඔවුන්ව හැඳින්වූයේ "අනූ - කනූ" ලෙසින්. ඉන්පසු ඔවුන් දෙදෙනා විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂක සිත් සොරාගත්තා. ඔවුන්ගේ අතරින් මේ දිනවලදි අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර (අනූ) ගැන බොහෝදෙනෙක් කතා කරන්න අරන්. ඊට හේතුව පසුගිය ජනවාරි 09 වෙනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගතවීම් ආරම්භ කළ "ෆාදර්" (Father) චිත්‍රපටය හරහා ඈ රිදීතිරයට පැමිණීම. ඉතින් කුලුඳුල් සිනමා රංගනයේ තතු විත්ති ගැන අහන්න මෙවර අපි රංගන ශිල්පිනී අනුෂ්කි ප්‍රේමචන්ද්‍රට කතා කළා.




ඉතින් අනුෂ්කි, අලුත් අවුරුදු කොහොමද?




මෙදා සැරේ නම් අලුත් අවුරුදු හොඳටම සුබයි. මොකද මුලින්ම මේ අවුරුද්ද ආරම්භ කරන්නේ සිනමා නිර්මාණයකින්.




ඒකට හේතුව පසුගියදා තිරගත වූ "ෆාදර්" (Father) චිත්‍රපටය වෙන්න ඇති?




ඔව් "ෆාදර්" චිත්‍රපටය තමයි. මොකද ඒක මගේ පළමුවෙනි චිත්‍රපටය. පසුගිය ජනවාරි 09 වෙනිදා ඉඳන් දිවයින පුරා සිනමාශාලාවල ඒක තිරගත වෙනවා. ඉතින් ලැබෙන ප්‍රතිචාරත් එක්ක හරිම සතුටින් මේ දිනවල ඉන්නේ. ඒ ගැන කියන්න වචන නැ. මම හිතක්කේ මේ අවුුරුද්දේ තිරගත වෙන දැවැන්තම චිත්‍රපටයේ රඟපාන්න ලැබීම වාසනාවක්.




ඇත්තටම ලැබෙන ප්‍රතිචාර කොහොමද?




තවම චිත්‍රපටය තිරගත වෙන්න අරන් දින කීපයයි. ප්‍රතිචාර හොඳයි. මම හොඳට රඟපානවා කියලා කියනවා. ඉදිරියේදි ප්‍රතිචාර වැඩිවෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේමයි මං හැමෝටම කියනවා ළඟම සිනමා ශාලාවට ගිහින් මගේ කුලුඳුල් චිත්‍රපටය "ෆාදර්" නරඹන්න කියලා. මේක හිතාගන්න බැරි කතාවක්. මම හිතන්නේ සිංහල සිනමාවේ මෙවැනි චිත්‍රපටයක් තාමත් නිර්මාණය වෙලා නැහැ.




"ෆාදර්" චිත්‍රපටයේ කතා තේමාව ගැනත් දැනගන්න අපි කැමැතියි?




70 - 90 දශකවල අපේ රටේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. චමින්ද ජයසූරිය මහතාගේ අධ්‍යක්ෂනයක්. මමත් එක්ක රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළු නිළියන් බොහෝමයක් ඊට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේ පිරිසක් එක්ක රඟපාන්න ලැබීමත් මං ලබපු භාග්‍යයක්. ලංකාවේ ඉන්න දක්ෂතම නළු නිළිය කැළක් එකට රඟපානවා. භීෂණ සමයේ සිදුවූ යටගිය කතාවන් රැසක් ෆාදර් නිසා බොහෝ දෙනෙක්ට දැකගන්න පුළුවන්.




ඒ චිත්‍රපටයේ ඔබේ චරිතය මොන වගේද?




"ෆාදර්" චිත්‍රපටයේ මගේ චරිතය තමයි සඳලතා.




ඒ නමේ හැටියට නම් ඒක ගැමි චරිතයක් කියලයි හිතෙන්නේ?




ඔව් සඳලතා කියන්නේ ගැමි චරිතයක්. එහෙම චරිතයක් කරන්න මං හරි ආසාවෙනුයි හිටියේ. මම හීනෙන්වත් හිතාගන්නවත් බැරි අවස්ථාවක තමා මට ඒ මොහොත උදාවෙන්නේ.




චිත්‍රපටය තු‍ළ සඳලතා කියන්නේ මොන වගේ කෙනෙක්ද?




තමන්ගේ සහෝදරයාට සහ ඔහුගේ මිතුරන්ට වෙන අසාධාරණයක් වෙනුවෙන් පෙනී ඉන්න ඉතාම නිර්භීත ගැහැනියක් කිව්වොත් හරියටම හරි. ඒ වගේම තමයි ඇයට බෑ කියලා දෙයක් නෑ. දිවි පරදුවට තියලා ඇය ඕනෑම දේකට මුහුණ දෙන්න ලෑස්තියි.




ඒ චරිතය ඔබට අභියෝගයක් වුණේ නැද්ද?




මොකද නැත්තේ අභියෝගයක් වුණා. ඇත්තටම මං සාමාන්‍ය ජීවිතේදී හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඒත් සඳලතාගේ චරිතය එයට හාත්පසින්ම වෙනස්. හරියට අහසයි පො‍ළොවයි වගේ. ඒ නිසා ඒ චරිතය අභියෝගාත්මක එකක් වුණා. ඒ වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කරන්න පවා සිදුවුණා. නමුත් අධ්‍යක්ෂතුමාගේ මඟ පෙන්වීම යටතේ චරිතයට අනුගත වෙන්න පුළුවන් වුණා.




මේ චිත්‍රපටයට "ෆාදර්" වගේ නමක් දාන්න හේතුව මොකක්ද?




මේ "ෆාදර්" චිත්‍රපටය ගලායන්නේ අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න දැඩි පෞරුෂයක් තියන පිරිමි පුද්ගලයෙක් වටා. මං හිතන්නේ ඒක නිසා තමයි අධ්‍යක්ෂවරයා එහෙම නමක් යොදන්න ඇත්තේ. මේ චිත්‍රපටය පුරාම තිබෙන්නේ සත්‍ය සිදුවීම් පෙළක්.




රූගතකිරීම් අතරවාරයේ අමතක නොවන සිදුවීම් එහෙමත් වෙන්න ඇති?




මං පුංචි කාලේ ඉ‍ඳන් ආසම රංගන ශිල්පිනියක් තමයි දිල්හානි අශෝකමාලා මහත්මිය. "ෆාදර්" චිත්‍රපටයේ මට ඇයත් එක්ක එකට රංගනයෙන් දායකවෙන්න ලැබුණා. ඇය රඟපාන්නේ සඳලතා කියන මගේ චරිතයේ මැදිවයස් අවධිය. ඇයත් එක්ක ඒ විදිහට රඟපාන්න ලැබීම මට අමතක වෙන්නේ නෑ. ඒක මං ලබපු ලොකු ආශිර්වාදයක්.




සිනමා ශාලාවෙන් "ෆාදර්" චිත්‍රපටය නරඹද්දී ඔබට මොකද හිතුණේ?




ඇත්තටම ඒක කියාගන්නම බැරි හැඟීමක් වුණා. මොකද මං ගොඩාක් ආසාවෙන් හිටියා චිත්‍රපටයක රඟපාන්න. එදා මං ඒ පුළුල් තිරයෙන් දකිද්දි ඒක හීනයක්ද කියලත් හිතුනා. මොකද පුංචි තිරයෙන් අපේ රූපය කොච්චර දැක්කත් දැවැන්ත තිරයක දකිනකොට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ.




ඔබේ නිවුන් සහෝදරිය කනුෂ්කි චිත්‍රපටය නරඹලා මොකද කිව්වේ?




එයාටත් හරි සතුටුයි. නංගිත් චිත්‍රපටය නරඹලා මට සුබපැතුවා. අපි දෙන්නා එකටම රඟපාලා ඇය නැතුව මම රඟපාන අවස්ථා කීපයෙන් එකක් තමා ෆාදර් කියන්නේ.




ඔබේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණේ "මල් පිපෙන කාලේ" ටෙලිනාට්‍යය. එහෙම නේද?




ඇත්තටම ඔව්. ඒක මගේ පළවෙනි ටෙලිනාට්‍ය රංගනය. මමත් එක්ක කනුෂ්කිත් එහි රඟපෑවා.




"රොකී"ටෙලිනාට්‍ය හරහාත් ඔබට බොහෝ ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න ලැබුණා?




හරියටම හරි. සිරස ටීවී නාලිකාවේ විකාශනය වුණු "රොකී" කියන්නෙත් මගේ රංගන ජීවිතේට ආශිර්වාදයක් වුණු ටෙලිනාට්‍යයක්. එය අවසන් වුණත් අදටත් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ඉහළින් ලැබෙනවා.




ර‍ඟපාන්න හරි ආසාවෙන් ඉන්න චරිතයක් එහෙම අනුෂ්කිට තියෙනවද?




මං ආසයි දමිළ තරුණියකගේ චරිතයක් කරලා බලන්න. ඒක මට තියෙන ලොකු ආසාවක්. ඉදිරියේදීත් ඒ අවස්ථාව මට උදාවෙයි කියන විශ්වාසය හිතේ තියෙනවා.




මං නිවැරැදි නම් තවම ඔබ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවෙන කෙනෙක්?




ඔව්, මං මේ වෙනකොටත් කොළඹ සෞන්දර්ය විශ්වවිශ්‍යලයේ අවසන් වසරේ ඉගෙනගන්න ගමන් ඉන්නේ. ඉන්දියානු හා ආසියානු අධ්‍යයන අංශයේ භරත නාට්‍යම් සම්ප්‍රදාය තමයි ඉගෙන ගන්නේ.




අනුෂ්කිගේ පවුලේ වෙන ඉන්නේ කවුද?




අම්මයි අක්කලා හතරයි නිවුන් සහෝදරියයි.




ආදරය ගැන අනුෂ්කි මොකද හිතන්නේ?




මම හිතන්නේ ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. අපි හැම කෙනෙක්ම කැමැතියි තමන්ට ආදරේ ලැබෙනවට. මගේ පවුලෙන් සහ මමත් එක්ක ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් මට ආදරේ නොඅඩුව ලැබෙනවා.




නොකියා කියන්නේ පෙම්වතියක් නෙවෙයි කියලා නේද?




ඔව් තවම පෙම්වතියක් නෙවෙයි.




අවසාන වශයෙන් අලුත් අවුරුද්දේ අලුත්ම බලාපොරොත්තු ගැනත් කියමුද?




රංගන ශිල්පිනියක් විදිහට තව තවත් ඉහළට යන එක තමයි ලොකුම බලාපොරොත්තුව. මේ වසරේ මං රඟපෑ ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙන්න නියමිතයි. ඒ වගේම තව අලුත් සිනමා නිර්මාණයක වැඩකටයුතු සිදුකරගෙන යනවා.

gossiplanka image 1
Previous Post Next Post