දශක ගණනාවක් පුරා රිදී තිරය මෙන්ම පුංචි තිරයත් එක සේ බැබලවූ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන නිරෝමි සනෝජා බිබිලේ කලකට පසුව මෙසේ රසඳුන සමඟ පිළිසඳරකට එක් වූවාය.
මුලින්ම ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙනවා නම්?
මම සරලයි. ඒත් කෙසේ හෝ ජයග්‍රහණය ලබා ගැනීමට උත්සුක වන ආදරණීය චරිතයක්.
මංගල තෑග්ග චිත්‍රපටයෙන් ආරම්භ කළ ඔබේ රංගන ජීවිතයේ ජනප්‍රියත්වය අදටත් අඩු වෙලා නෑ නේද?
රංගන ක්ෂේත්රයට පිවිසෙන ඕනෑම ශිල්පියකුට හෝ ශිල්පිනියකට තම ප්‍රතිරූපය අඛණ්ඩව ප්‍රේක්ෂකයාගේ මනස තුළ දල්වාගෙන සිටීම අසීරුයි. නමුත් මම හිතනවා මම ඒ අභියෝගය ජයගත්තා කියලා. මම රංගනයට ප්‍රවිෂ්ට වුණේ නිරූපණය කළ චරිතය පිළිබඳ පුළුල් අවබෝධයකින්. ඒ වගේම සහායක ශිල්පියා සමඟ මනා අවබෝධයක් ගොඩනඟාගෙන. ඒ නිසා වෙන්න ඇති ප්‍රේක්ෂකයාට මාව මතක හිටින චරිතයක් බවට පත්වුණේ.
එතකොටහාසේයපාදන චරිතවලට පණ පොවන්න යොමු වුණේ කොහොමද?
සම්භාව්‍ය චිත්‍රපටවලට වැඩිපුර දායක වුණු මට හාස්‍යය රංගනය යම් තරමකට අභියෝගයක් වුණා. මම නිරන්තරයෙන්ම අභ්‍යාසයේ යෙදෙමින් ඒ චරිතය සමඟ ජීවත් වුණා. ඒ වගේම හාස්‍ය රංගනයේ නිරත වන රංගන ශිල්පීන් හාසේයදනය කිරීමට රංගන පෞරුෂය භාවිත කරන්නේ කෙසේද යන්න ගැනත් පුළුල් අධ්‍යයනයක් කරලා හැකියාව තවදුරටත් වර්ධනය කරගත්තා.
කලාවට පිවිසීම සිදුවුණේ කොහොමද කියල කියනවා නම්?
උඩරට සාම්ප්‍රදායික පවුල් පරිසරයකින් පැවත ඒම නිසා මට පවුලෙන් ලැබුණේ බොහොම සුළු පෙළඹවීමක්. කොහොමහරි එක් වාසනාවන්ත සිදුවීමක් මගේ ජීවිතයේ ස්වර්ණමය හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණා. මිතුරකුගේ මාර්ගයෙන් අහම්බෙන් මුණගැසුණු රංගන ශිල්පියකුගේ ආරාධනාව ඔස්සේ මට රංගන ක්ෂේත්රයට පිවිසීමේ වරම් ලැබුණා. විජය කුමාරතුංග නමැති ඒ විශිෂ්ට සිනමාවේදියාගේ ගුරුහරුකම් එදා නවකයකු වුණු මට විශාල ශක්තියක් වුණා.
අලුතින් නිර්මාණකරණයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට දෙන්න පණිවුඩයක් ඇති?
ඔව්. ටෙලි නාට්‍ය ගුණාත්මකව වර්ගීකරණයකට ලක්වෙනවා නම් හොඳයි. අලුත් සංකල්ප සහ තේමාවන් ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ රසඥතාව ඇවිළෙනසුලු ආකාරයට කලා නිර්මාණ කළ යුතුයි. ඒ වගේම රංගන ශිල්පීන් නිර්මාණවලට සුදුසු රංගන ශෛලියක් අනුගමනය කළ යුතුයි වගේම චරිතවලට අදාළ හැඟීම් මනාව අවබෝධ කරගැනීමත් වැදගත්.
ඔබ චරිතයකට සූදානම් වෙන්නෙ කොහොමද?
මුලින්ම තිර රචනයේ ඇතුළත් චරිත, රංගන ඉසව් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්න තිර පිටපත කිහිප වතාවක් කියවනවා. ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන චරිතයත් සමඟ මිත්රශීලීත්වයක් ගොඩනඟා ගන්නවා. ඒ වගේම තිර පිටපතේ සෙසු චරිත පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබාගෙන අධ්‍යක්ෂකවරයා සමඟත් සාකච්ඡා කරනවා. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් රංගනයේදී විශේෂයෙන්ම දැනගත යුතු කරුණු කිහිපයකුත් තියෙනවා. රඟපෑමේදී තමන් දෙසට යොමු වී ඇති ආලෝකය පිළිබඳ අවබෝධයෙන් රංගනයේ නිරත විය යුතුමයි. තමාගේ චරිතයට නියමාකාරව පණපෙවිය හැකි සතර අභිනයන් පිළිබඳ අවබෝධයක් තිබිය යුතුමයි.
ඒ වගේම එක් දර්ශනයක් ඉවර වුණු ගමන්ම එය සිතින් ඉවත් කර අනෙක් දර්ශනයට සූදානම් විය යුතුයි. ඒ ඒ අවස්ථාවට අනුව ගැළපෙන ඇඳුම් පැලඳුම්, වේශ නිරූපණය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. ඒ ඒ අවස්ථාවේ ඒ ඒ චරිතයේ පමණක් ජීවත් විය යුතුයි. මේ සියල්ල අනුගමනය කරනවා නම් ඕනෑම චරිතයකට සාධාරණයක් ඉටු කළ හැකියි කියලයි මට හිතෙන්නේ.
අත්දැකීම් බහුල ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට නවකයින්ට උපදෙසක් දෙනවා නම්?
රංගනය කියන්නෙ භාවමය ප්රකාශනයක්. ජීවිතයේ යථා ස්වභාවයට එහා ගිය විවිධ චරිත නිරූපණය කිරීමට අපට සිදුවන නිසා තමන්ගේ දක්ෂතාව, හැකියාව විශ්වාස කරගෙන නිතරම අභ්‍යාසවල නිරත වීම ඉතාම වැදගත්. ඒ වගේම නවක රංගන ශිල්පීන් විසින් රංගනය පිළිබඳ හැදෑරීමත් ඉතාමත් වැදගත්. විවිධ රංගන ශෛලීන්ට පහසුවෙන් අනුගතවීම පිළිබඳ සම්භාව්‍ය අධ්‍යයනයක්, අවබෝධයක් ලබා ගැනීමෙන් තමන්ට හමුවන විවිධාකාර වූ චරිත අභියෝගයකින් තොරව සාර්ථකව නිරූපණය කිරීමට වැදගත් වෙනවා. ඒ වගේම යහපත් ප්‍රතිචාර ලබාගන්නා පුද්ගල චරිතයක් වීමත් ඉතාම වැදගත්. රංගන ශිල්පියකු එකම රාමුවක් තුළ රාමුගත නොවී සමාජයේ සෑම පැතිකඩක් පිළිබඳව පුළුල් අවබෝධයකින්, අධ්‍යයනයකින් කටයුතු කළ යුතුයි.
කලාවේ හෙට දවස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් ඔබේ යෝජනා මොනවාද?
කලාවේ හෙට දවස ආරක්ෂා කරගැනීම සඳහා පවතින රජයේ ඍජු මැදිහත්වීම ඉතාමත් අවශ්‍යයි. කලා නිර්මාණ පිළිබඳ නිසි වර්ගීකරණයක් සිදු කර දක්ෂ රංගන ශිල්පීන් ඇගයීමට ලක්කළ යුතුයි. ඒ වගේම රංගන ශිල්පීන් නිසි වයසේදී විශ්‍රාම ගන්වා ඔවුන්ගේ ඉදිරි අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අරමුදලක් නිර්මාණය කිරීමත් ගොඩක් වටිනවා. සිනමා කර්මාන්තය තුළ විවිධ නිර්මාණ කරමින් එය ආරක්ෂා කර ගැනීමට උරදුන් පිරිසට නිසි වටිනාකමක් දිය යුතුයි. ඒ වගේම නවක රංගන ශිල්පීන් හඳුන්වා දීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කර රංගනය පිළිබඳ ඔවුන්ට විධිමත් අධ්‍යාපනයක් ලබා දීමත් ඉතාම වැදගත් වෙනවා.