මේ දිනවල විකාශය වන ‘අම්මා” ටෙලි නාට්‍යයේ ‘මැගී’ ඇයයි. නිවෙසේ ස්වාමි දියණියට ඉතා ළැදිව, ඇගේ සියලු රහස් රකිමින් සේවය කරන මෙහෙකාරිය වන මැගී ලෙස ඔබ හමුවට එන ඇය සුරංගි රුවන්මලීය. දශක තුනකට වැඩි කාලයක් කලා ලොවේ සැරිසරමින් සිටින සුරංගි බොහෝ කලකට පසු අප හා එක් වූයේ සිය නිර්මාණ දිවිය ගැන කතාබහ කිරීමේ අදහසිනි.
මැගී චරිතය භාරගත් ආකාරය පිළිබඳ ඇය පැවසූයේ මෙලෙසිනි.
” මේ දිනවල ‘අම්මා’ ටෙලි නාට්‍යයේ මැගීගේ චරිතයෙන් මම ප්‍රේක්ෂකයා මුණගැසෙනවා. ඒ චරිතයට රුවන් මල්ලි තමයි මට ආරාධනා කළේ. අපි අලුත් වැඩක් කරනවා. අක්කගෙ සහභාගීත්වයත් ඕන කියලා. ඔහු මට මැගීගේ චරිතය ගැනත් පුංචි හැඳින්වීමක් කළා. මේ වකවානුවේ මෙහෙකාරියගේ චරිතය මං කිහිප විටක්ම කරලයි තිබුණේ. ඒ නිසා මට ඒ චරිතය ඇති වෙලාත් හිටියේ. ඒත් මැගී චරිතය තුළ ඊට වඩා දෙයක් කරන්න තියෙනවා කියල මට දැනුණා. ඒ නිසා මං ඒක ආසාවෙන් භාර ගත්තා.
මැගී සුරංගීට දැනුණු ආකාරය ගැන ඇය පැවසුවේ මෙවැන්නකි.
මැගී කියන්නේ ගෙදර හැම දෙයක්ම බලා කියාගෙන ඉන්න කෙනෙක්. ඒ ගෙදර ප්‍රධාන ස්වාමි දියණියට ඉතා ළැදිව, සියලු රහස් දන්න, පිටට නොදී ඒවා රැකගෙන ස්වාමි දියණියත් ආරක්ෂා කරමින් අනෙක් අයවත් සාමකාමීව සමබර කරගෙන දිවෙන චරිතයක්. දැනට ඒ අයුරින් ගලාගෙන යනවා. ඉදිරියේදී වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.
අධ්‍යක්ෂ කපිල සුගත් විජේරත්න ගැන ඇයට තිබුණේ මෙවැනි කියවීමකි.
කපිල මල්ලි කියන්නේ ඇත්තෙන්ම බොහෝම නිහඬ චරිතයක්. මුලින්ම දැක්ක වෙලාවෙ අධ්යක්ෂවරයෙක් කියල හිතාගන්නවත් බැරි වුණා. ඒ තරම් සරල පුද්ගලයෙක්. ඇක්ෂන් කට් ඇතුළේ වුණත් යමක් පැහැදිලි කරල දෙන්නම අවශ්‍යනම් විතරක් ‘අක්කේ, මේක මෙහෙමයි, මේ විදිහටයි වෙන්නේ” කියල පැහැදිලි කරල දෙනවා. ඔහු සැබැවින්ම නිහඬ, සුන්දර මනුස්සයෙක්.
මැගීට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ඇය බෙහෙවින්ම සතුට පළ කළාය.
අම්මා ටෙලි නිර්මාණය විකාශය වෙන්නේ හවස 6.30ට. ඒ වේලාව ගොඩක් දෙනාට මඟහැරෙනවා ඇති. ඒත් ප්‍රතිචාරවල අඩුවක් නම් නැහැ. පාර තොටේදී හමුවන බොහොමයක් දෙනා මැගීට ඉතාම හොඳ ප්‍රතිචාර දක්වනවා. සුපර්මාර්කට් එකට ගියත් , මහමඟ සිටියත් “අනේ, මොකද ඉදිරියට වෙන්නේ ? මැගීට මොකද වෙන්නේ ? කියල අහනවා. ඒ ගැන සතුටුයි. විදෙස්ගතව සිටින මගේ මිතුරන් පවා හොඳ ප්‍රතිචාර දක්වනවා.
‘අම්මා’ රූගත කිරීම් අතරතුර ඒ ගැනද ඇය මෙසේ කීවාය.
හැම මොහොතෙම අපි ඉන්නෙ හිනාවෙලා. කවදාවත් විරසකවීම් වෙලා නැහැ. ලැබෙන සෑම විවේකයකදීම විහිළුවක් කරලා, කවුරුන් හෝ ගේන දෙයක් කකා බිබී හරිම විනෝදෙන් ඉන්නවා. තේ අල්ලන කෙනාගේ ඉඳන් අධ්යක්ෂතුමා දක්වා ඉතා සුහදව, සතුටින් වැඩ කරගෙන යනවා. ඒක ලොකු මානසික සුවයක්.
ඇය කලාවට පිවිසි අතීතය සහ වත්මන් ටෙලිනාට්‍ය කලාවේ වෙනස ඇය දැක තිබුණේ මෙලෙසිනි.
මම මගේ මුල්ම ටෙලිනාට්‍ය රූගත කිරීමට ගියේ අසූඅට අසූනවය වගේ කාලයේ. ඒ කාලෙ ටෙලිනාට්‍ය කොටස් 10-20ක් වගේ විකාශය වුණේ. ඒත් ඒ නිර්මාණවල හරවත් බවක් තිබුණා. පිටපත් රචකයා ඒ චරිතවලට යම් සාධාරණයක් කළා. ඒ කාලේ කුඩා චරිතයක් කළ කෙනා වුණත් ප්‍රේක්ෂක මතකයේ රැඳුණා. අද බොහෝ අය යම් තැනක් හදාගෙන තියෙන්නේ බොහොම අමාරුවෙන්.
වත්මන් තරුණ පරපුර තමන්ටත් වඩා දක්ෂ බැව් ඇය පැවසුවේ ද නිහතමානීවය.
අද නවකයෝ ඉතා දක්ෂයි. සමහරුන්ගේ දක්ෂතාවලට අපිට කිට්ටු වෙන්නවත් බැහැ. හරිම දක්ෂයි. ඒ වගේ අගය කළයුතු තැන් අපි අගය කළ යුතුයි. එහෙන් මෙහෙන් කරලා තම රාජකාරිය පැහැර හරින අයත් නැතිවාම නෙවෙයි. ඒක එයාලට හානියක්.
වේදිකාවේ මට ලොකු අත්දැකීම් නැතත් මම වේදිකාවට හරිම කැමැතියි. එය සජීවී මාධ්‍යයක්. එතැන වැරදුණොත් වැරදුණාම තමයි. වේදිකාව හරිම සුන්දර ස්ථානයක්. එතරම් වටිනා තැනක් මම දැකලා නැහැ. මම එකම එක වේදිකා නාට්‍යයයි කළේ. ඒ ‘ජනේලය’ වේදිකා නාට්‍යය. හෙන්රි ජයසේන සර් සිටින කාලයේ කළ ඒ නාට්‍යයේ මම නොසිටියත් පසුව කළ නව නිර්මාණයේ මම රඟපෑවා. නිෙවසේ වැඩත් එක්ක පෙර පුහුණුවීම් සඳහා යොමු වෙන්න අපහසු නිසා වේදිකා නාට්‍ය භාර ගත්තේ නැහැ. පුළුවන් සෑම මොහොතකම වේදිකා නාට්‍ය නරඹන්න යනවා.
මම පවුලේ එකම දරුවා. මම විවාහ වුණේ කලා ක්ෂේත්‍රයේ හැමෝම දන්න උදේනි අල්විස්ගේ තුන්වැනි මල්ලි නලින් ජිතේන්ද්‍ර අල්විස් එක්ක. ඔහු දැන් සංගීත විෂය පිළිබඳ විශ්‍රාමික ගුරු උපදේශකවරයෙක්. අපට දුවක් ඉන්නවා. ඇය පෞද්ගලික බැංකුවක රැකියාව කරනවා. අපි දැන් පදිංචි වෙලා ඉන්නේ කැලණිය පිලපිටියේ.