මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම වාගේ හුවාමරුවන ජායාරූප පෙළක අයිතිකාරිය එක්කයි අද අපේ මේ කතාබහ. ඇය කලක් ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක මෙන්ම රූපවාහිනී නිවේදිකාවක ලෙසත් කටයුතු කළ අයෙකි. මෑත කාලයේ කිසිදු නිර්මාණයකින් දැක ගන්න නොලැබුණු වින්ද්‍යා කාලයකට පසු සමාජ මාධ්‍ය ඔස්සේ නිතර දැක ගන්න ලැබෙනවා. නමුත් මේ අර අපි පුංචි තිරෙන් දැක්ක වින්ද්‍යාම දැයි හිතා ගන්නත් බැරි තරමට වෙනස් වෙලා. ඒ නිසාම අපි ඇය හා කතාබහක නියැළුණා.
වින්ද්‍යා මේ වෙද්දී ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර. ඇය ඔස්ට්‍රේලියාවට යන්නේ 2016 වසරේදී. අවුරුදු 10කට ආසන්න කාලයක්. වින්ද්‍යාට, වින්ද්‍යාව හමුවෙලා තියෙන්නෙත් ඔස්ට්‍රේලියාවේ ජිවත් වෙන්න පටන් ගැනීමත් සමඟ බවයි ඇය අප හා පැවසුවේ.
හැමෝම මාව දැනගත්තේ කලාවෙන් වුණත් මගේ මුල්ම රැකියාව වුණේ ශ්‍රී ලංකා යුද හමුදා සේවය. 2015 අග වෙනකම් මම ලංකාවේ හිටියා. අන්තිමටම රඟපෑවේ ජාතික රූපවාහිනියේ විකාශය වුණු ළබැඳියේ ටෙලි නාට්‍යයේ. 2016දී අපි ඔස්ට්‍රේලියාවට ආවා. මම ඔස්ට්‍රේලියාවට ආව මුල් කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවක් කළා. ඊට පස්සේ ව්‍යායාම උපදේශිකාවක් විදිහටත් වැඩ කරන්න පටන් ගත්තා. ඒ දැනට අවුරුදු තුනකට විතර කලින්. ව්‍යායාම කිරීමත් එක්ක දවසින් දවස මම වෙනස් වුණා. ඒ වෙනස් වීම හොඳ විදිහටයි වුණේ. දැන් මාව දකින කෙනෙක් මේ කලින් හිටිය වින්ද්‍යා කියලා හඳුනා ගන්නෙත් නැති තරම්. මම ඔස්ට්‍රේලියාවට එද්දී කිලෝ 85ක බරක හිටියේ. දැන් කිලෝ 54කට අඩු කරගෙන තියෙනවා.
ව්‍යායාම උපදේශිකාවක් විදිහට වැඩ කරද්දි මුලින්ම මම හරි පෙනුමට ඉන්න ඕනනේ. ඒ නිසා මම සෑහෙන කැපවීමක් කළා. අවුරුදු 7ක් එක දිගටම මම ව්‍යායාම කරනවා. දැන් ඒක මගේ ජීවිතේ වෙලා. ජිම් එකේ අය පවා කියන්නේ අපිටත් ඔයා වගේ වෙන්න ඕනේ කියලා. එහෙම කියද්දී මට මම කරපු කැපකිරීම් ගැන නිහතමානී සතුටක් දැනෙනවා. ඒ වගේම මම Pilates ඉගෙන ගත්තා. ලබන සතියේ එහි සහතිකය මට ලැබෙනවා. විශේෂම කාරණය තමයි මම ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තා. Pilates සහ ජිම් එකකට යන්න බැරි අයට ඔන්ලයින් ඔස්සේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් හෝම් වර්කවුට් සහ මීල් ප්ලෑන් එක දෙනවා. මගේ Vindy Wenqulanbergh ෆේස්‌බුක් ගිණුම හරහා සම්බන්ධ වෙලා තොරතුරු ලබා ගන්න පුළුවන්.
ලංකාවේ අපේ සහෝදර කලා ශිල්පීන්, ශිල්පිනියන් මෙහෙ ආවම මම ඒ අයව මුණගැහෙන්න යනවා. පරණ මතකයන් අවදි කරමින් කතාබහ කරලා එනවා. කලාවෙන් සමුගන්න වුණු එක ගැන දුකක් නැහැ කියන්න බැහැ. මොකද අවුරුදු ගණනාවක් ඉතාම සතුටින් හිටිය ක්ෂේත්රයක්. ඒ ගෙවුණු කාලයේ සුන්දර මතකයන් තවමත් මා ළඟ තියෙනවා. ඒ නිසා ඒ දේවල් මඟ හැරුණු එක ගැන පොඩි දුකකුත් තියෙනවා. මම ලංකාවට ආවම සමහර වැඩසටහන්වලට සහභාගි වෙනවා. අපේ ජීවිතවලදී අපිට කරන්න සිද්ධ වෙන දේවල් එක්ක සමහර කැපකිරීම් කරන්න වෙනවා. මම මෙහෙට ආවෙත් මගේ පවුල් ජිවිතේ වෙනුවෙන්.
මම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. මගේ මහත්තයා ලක්මාල් ජයසුන්දර. අපිට පුතෙක් ඉන්නවා. එයාගේ නම ආචි ඉවෝ ජයසුන්දර. මහත්තයා මෙහෙ කාර් බිස්නස් එකක් කරන්නේ. අපි තුන් දෙනා තමයි ඔස්ට්‍රේලියාවේ ජිවත් වෙන්නේ. මගේ මල්ලි ඉන්නෙ ලංකාවේ. අවුරුදු 5කින් විතර අපිට ලංකාවට එන්න බැරි වුණා. ලබන අවුරුද්දෙ ලංකාවට ඇවිත් යන්න හිතාගෙන ඉන්නවා.
ඔස්ට්‍රේලියාව ඇතුළත සිඩ්නි, බ්‍රිස්බන් හෝ මෙල්බර්න්වල ශුට් වෙන නිර්මාණයකට ආරාධනා ලැබුණොත් සහභාගි වෙනවා. මේ වෙද්දීත් ඒ වගේ නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒක අධ්‍යක්ෂණය කරන්නේ සම්පත් ශ්‍රී රෝෂන්. සම්පත් ජීවත් වෙන්නෙත් දැන් ඔස්ට්‍රේලියාවේ. මේ නිර්මාණය රූගත කරන්නෙත් ඔස්ට්‍රේලියාවේ මෙල්බන්වල. මට එහි ලැබුණේ පිරිමියෙක් වගේ හරි හරියට ෆාම් එකක වැඩ කරන ගැහැනු චරිතයක්. මම හිතන්නේ ඒක මට ගැළපෙනම චරිතයක්. ඉතාම ආසාවෙන් ඉන්නවා රූගත කිරීම් පටන් ගන්නකම්.
ඒ වගේම ලංකාවේ කරන හොඳ නිර්මාණයකට වුණත් ඇරයුමක් ලැබුණොත් ඒ ගැන සලකා බලනවා. ඒ කාලේ ගොඩක්ම මට ලැබුණේ එකම රාමුවකට කොටුවුණු චරිත. ඉන් එහාට ගිය හොඳ නිර්මාණයකට ඇරයුමක් ලැබුණොත් ලංකාවට ඇවිත් රඟපාන්න වුණත් කැමැත්තක් තියෙනවා. මට දෙයක් කළ හැකි සාධාරණයක් ඉෂ්ට කළ හැකි නිර්මාණයක් නම් ඒ ගැන හිතනවා. ඒ හැර ඉස්සර වගේ එකම රාමුවක චරිත කරන්න නම් අදහසක් නැහැ.
විශේෂයෙන්ම කියන්න ඕනේ මම කලාවට ආවට පස්සේ මගේ මුල්ම කවරයක් ගියෙත් සිළුමිණ පත්තරේ රසඳුන අතිරේකයේ. ඒ 1999 වසරේ. සුසිල් ගුණරත්නගේ මුහුණු දෙකක් වේදිකා නාට්‍යයේ දී පත්තරෙන් ඇවිත් ගත්ත ජායාරූපයක්. නිළියක් විදිහට ජීවිතේ පළමුවැනි වතාවට කවරයක් ගියේ. ඒ අතීත මතකයන් එක්ක අදත් හරි සතුටින් මම මේ ලිපිය රසඳුනට දෙන්නේ.
තාවමත් මාව මතකයේ තියෙන ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ ඇත්තටම ගොඩක් ස්තුතියි. ගොඩක් අයට මගේ මේ වෙනස් වීම එක්ක අඳුනා ගන්න බැරුව තිබුණේ. අඳුනා ගත්තට පස්සේ හරිම ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතරින් පතර වෙනස් ප්‍රතිචාරත් තියෙනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. තාමත් මාව මතකයේ තියෙන ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම හිස නමා ආචාර කරනවා. ඒ ආදරේ තමයි මට තියෙන ලොකුම නිධානය.