ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ මියුරු හඬකින් සහ නිහතමානී ගතිගුණවලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය මහේෂා සඳමාලියි. රියලිටි වේදිකාවෙන් ඇරඹි ඇගේ ගමන අද වනවිට සම්මානනීය පසුබිම් ගායිකාවක සහ දක්ෂ හඬ උපදේශිකාවක දක්වා දුරක් පැමිණ තිබේ. ඇගේ කලා ජීවිතය සහ පෞද්ගලික තොරතුරු පිළිබඳ ‘හාට්’ අපි සමග කළ කතාබහ මෙසේ පෙළගස්වන්නෙමු.
මුළන්ම රියලිටි වේදිකාවෙන් පසුව ඔබ ගොඩනගාගත් මේ සංගීත ගමන් මග ගැන කතා කරමු…
මගේ ආරම්භය දෙරණ ඩී්‍රම්ස්ටාර් තරගය. එහි තෙවැනි ස්ථානය දිනාගැනීමත් එක්ක මට ක්ෂේත්‍රයට එන්න මාවත විවර වුණා. විශේෂම දේ තමයි මගේම නිර්මාණයක් එළිදක්වන්න කලින් මට අවස්ථාව ලැබුණා ලලිත් රත්නායක මහත්මයාගේ ‘විෂම භාග’ චිත්‍රපටයට පසුබිම් ගායනයෙන් දායක වෙන්න. ඒ ගීතය වෙනුවෙන් මම සෑම සම්මාන උළෙලකම පාහේ නිර්දේශ වුණා වගේම සිග්නීස් සම්මානයෙන් පිදුම් ලැබුවා. අද වනවිට මගේම ගීත රාශියක් මම නිර්මාණය කරලා තියෙනවා. ඉදිරියටත් අලුත් නිර්මාණ රැසක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ගායනයට අමතරව ඔබ අද වනවිට ගුරුවරියක්?
මම පාසල් ගුරුවරියක් නෙවෙයි. නමුත් මම කටහඬ පුහුණු කරන උපදේශිකාවක් ලෙස කටයුතු කරනවා. පසුගිය දවසක මගේ පන්තියක් අතරතුර ‘සඳකඩ පහණක’ ගීතය පුහුණු කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ගොඩක් ජනප්‍රිය වුණා. මම මේ වෘත්තියට ගොඩක් ආදරය කරනවා. කුඩා කාලයේ ඉඳලම මම දන්න දේ තව කෙනෙකුට කියලා දෙන්න මම ආසා කළා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ විශේෂවේදී උපාධිය වගේම ශාස්ත්‍රපති උපාධියත් මම ලබාගත්තේ මේ විෂය පිළිබඳ තියෙන කැපවීම නිසයි.
මහේෂිගේ මේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය?
පවුලෙන් ලැබෙන සහයෝගය අතිමහත්. මගේ අම්මා, තාත්තා, මල්ලි වගේම මගේ සැමියා මගේ ලොකුම ශක්තියයි. මගේ මහත්තයා බොහෝ වෙලාවට ලංකාවෙන් බැහැරව හිටියත් ඔහු මගේ හැම වැඩක් ගැනම නිරන්තර අවධානයෙන් ඉන්නවා. අපේ වගේ ක්ෂේත්‍රයක සැමියා සහ බිරිඳ අතර හොඳ අවබෝධයක් තියෙන්නම ඕනේ. මට ලැබුණු ඒ හොඳ ජීවන සහකරු නිසා මගේ මේ ගමන ගොඩක් පහසු වෙලා තියෙනවා.
මේ ගමනේදී මහේෂිට නතර වෙන්න ඕනේ කියලා හිතුණු තැනුත් ඇති?
ඔව්. මම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉන්නකොට රියලිටි තරගයේ අවසන් අදියරයි මගේ අවසන් වසරේ විභාගයයි දෙකම එකවර ආවා. ඒත් මම ඒ අභියෝගය ජයගත්තා පමණක් නෙවෙයි සංගීත අධ්‍යයන අංශයේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාව බවට පත්වෙන්නත් මට හැකි වුණා. අදටත් මගේ ගායන වෘත්තියයි, ගුරු වෘත්තියයි සමබරව කරගෙන යාම මම දකින්නේ සුන්දර දෙයක් විදිහටයි.
මහේෂිට හොඳ රසික පිරිසක් ඉන්නවා නේද?
‘මගේ මගේම දෝ’ නිර්මාණයට රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර ඇත්තටම පුදුමසහගතයි. ඉතිං මගේ හඬට ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මොකද අද වෙනකම් මගේ ගීතවලට කිසිම නරක ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඒක මට ලොකු සතුටක් වගේම ලොකු නිහතමානී ආඩම්බරයක්.
ඔබේ හෙට දවසේ සැලසුම් මොනවාද?
මගේ මූලිකම බලාපොරොත්තුව මගේ සංගීත පන්තියේ දරුවන්ව ඉදිරි විශාරද විභාග සඳහා හොඳින් සූදානම් කිරීමයි. ලංකාවේ විශාලතම සහ සාර්ථකම සංගීත පන්තිය බවට මගේ පන්තිය පත්කිරීම මගේ සිහිනයක්. ඒ වගේම මගේ මල්ලි නිර්මාණය කරපු ගීත කිහිපයක්ම මේ වසරේදී එළිදක්වන්න නියමිතයි. මගේ නිර්මාණ කටයුතුත් ඒ විදිහටම ගුණාත්මකව ඉදිරියට කරගෙන යාම තමයි මගේ ඉදිරි බලාපොරොත්තු.