පවන්සිරි’ නිසා මගේ ඇත්ත නමත් අමතක වෙලා - හෂාන් රත්නායක

gossiplanka image 2
 වර්තමාන ටෙලි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් නිහතමානී තරුණයකු අපට හමුවිය. ඔහු නමින් හෂාන් රත්නායක. ‘මායාවී‘ ටෙලිනිර්මාණයේ ‘පවන්සිරි‘ ලෙසින් කාගේත් ආදරය දිනා සිටින හෂාන්, තම කලා ජීවිතයේ අලුත් තොරතුරු අප සමග මෙසේ බෙදාගත්තේය.


හෂාන්, මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?

ඇත්තටම 2025 දෙසැම්බර් මාසයේ ඉඳලා මම ටිකක් කාර්යබහුල වුණා. මේ දවස්වල වැඩිපුරම කාලය වැය වෙන්නේ ‘මායාවී‘ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වෙනුවෙන්. ඒ කාර්යබහුලත්වයත් එක්ක සාමාන්‍ය විදියට ජීවිතේ ගෙවෙනවා.

අපි කතා කරමු ‘මායාවී’ නිර්මාණයට සම්බන්ධ වුණු විදිය ගැන?

මම හරිම ආසාවෙන් හිටපු චරිතයක් තමයි ‘පවන්සිරි’ කියන්නේ. සරමක් ෂර්ට් එකක් ඇඳලා ගැමි කොල්ලෙක්ගේ චරිතයක් කරන්න මගේ ලොකු කැමැත්තක් තිබුණා. ඔය අතරේ තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. විශේෂයෙන්ම නිෂ්පාදක ලලිත් වසන්ත මහත්මයා, තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මයා සහ අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා මහත්මයා මතක් කරන්න ඕනේ. මේ තුන්දෙනාගේ තේරීමක් විදියටයි මට පවන්සිරි වෙන්න ලැබුණේ. මුලින් මම හිතුවේ නැහැ මට මේ චරිතය ලැබෙයි කියලා.


දැන් පවන්සිරි කියන්නේ කාගේත් ආදරය දිනාගත් චරිතයක්. මොකද හිතෙන්නේ ඒ ගැන?

දැන් මායාවී විකාශනය වෙන්න පටන් අරන් අවුරුද්දකට වැඩියි. ලැබෙන ප්‍රතිචාර හිතුවටත් වඩා වැඩියි. මගේ නම හෂාන් වුණාට දැන් ගොඩක් අය මට කතා කරන්නේ පවන්සිරි ‘පවන පණ’ කියලා. ඇත්තටම මගේ නම මටත් අමතක වෙලා තියෙන්නේ. ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් ඇතුළත චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් අතරට මෙතරම් සමීප වෙන්න ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. මගේ සහෝදර රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගයත් මෙයට ලොකු හේතුවක්.

ඔබ කලාවට එන්නේ අහම්බෙන්ද?

ඔව්, මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. මම කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ උපාධිධාරියෙක්. මුලින්ම නිරූපණ ශිල්පියෙක් විදියටයි ක්ෂේත්‍රයට ආවේ. 2018 හිරු අවුරුදු කුමරා සහ 2019 සිරස අවුරුදු කුමරා තරගවලින් මම දෙවැනි ස්ථානය දිනා ගත්තා. 2018 වර්ෂයේදී මිස්ටර් යුනයිටඩ් (ඒෂියා) තරගාවලියේ අවසන් රටවල් 10 අතරට ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ ජයග්‍රහණයවලින් පසුව මම මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණා. රංගනයට මුලින්ම පදනම වැටුණේ දෙරණ නාලිකාවේ ‘ධරණි‘ ටෙලිනාට්‍යයේ දේවින්ද කියන චරිතයෙන් තමයි ටෙලි ප්‍රේක්ෂකයා මාව මුලින්ම හඳුනා ගත්තේ.

අද තරුණ රංගන ශිල්පියෙක් විදියට ක්ෂේත්‍රය දකින්නේ කොහොමද?

කලා ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් ඒ ගැන ලොකු ආසාවක් වගේම ගෞරවයක් තියෙන්න ඕනේ. හැමවිටම තමන් කරන නිර්මාණයෙන් ප්‍රේක්ෂකයාට වටිනාකමක් දෙන්න ඕනේ. රංගන ශිල්පියෙක් විදියට ක්ෂේත්‍රයේ පැවැත්ම තියෙන්නේ ප්‍රේක්ෂක ආදරය සහ ගෞරවය මත කියලයි මම විශ්වාස කරන්නේ.

පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා, තාත්තා සහ මල්ලිලා දෙන්නා තමයි මගේ පවුල. මම පවුලේ වැඩිමලා. මම පොඩි කාලේ ඉඳන් හැදුණේ අම්මගේ අක්කා (ලොකු අම්මා) එක්ක. එයා මම කලාවට එනවා දකින්න ගොඩක් ආසාවෙන් හිටියා. පවුලේ හැමෝගෙන්ම මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා.

ක්ෂේත්‍රයට ආපු ගමන ගැන ආපහු හැරිලා බැලුවොත්?

මම ආවේ හෙමින් ගමනක්. මේ ගමන ඇතුළේ මම ඕනෑ තරම් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. සමහර තැන්වල වැටෙන්න ගිය අවස්ථා තිබුණා. ඒත් අපි ආස කරන දේ අත්නොහැර කළොත් අත්දැකීම් එක්ක ඉදිරියට යන්න පුළුවන්. මම හැමදාමත් හෙමින් ගමනක් යන්න කැමැති කෙනෙක්.

ඉදිරි නිර්මාණ ගැනත් මතක් කරමු?

මට අභියෝගයක් වෙන චරිත භාරගන්න මම කැමැතියි. මගේ උපරිමය දෙන්න පුළුවන් චරිතවලට පණ පොවන්න ලොකු ආසාවක් තියෙනවා. දැනටමත් අලුත් නිර්මාණ කිහිපයක් කරලා තියෙනවා, ඒවා ඉදිරියේදී විකාශය වෙයි. ඒ වගේම සිනමාවටත් ආරාධනා ලැබුණා. දැනට සිනමා නිර්මාණ දෙකක වැඩ ආරම්භ කරලා තියෙන්නේ. ටෙලි නාට්‍ය වගේම සිනමාවත් සමබරව කරගෙන යෑමයි මගේ බලාපොරොත්තුව.

gossiplanka image 1
Previous Post Next Post